ධම්ම සවණය
අවික්ෂිප්තව හෙවත් නොයෙක් අරමුණුවල විසිර යා නොදී දහම් අරමුණෙහිම සිත පවත්වා මනාසේ අර්ථ පරික්ෂා කරමින් බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය දේශකයන් කෙරෙහි ගෞරවය උපදවා, ශ්‍රද්ධාවෙන් යුක්තව, චතුස්සත්‍යාවබෝධය කොට මාර්ග ඵල ලැබීම පිණිසද, ධර්මය සිත්හි දරා පිළිවෙත් පුරා සසරින් මිදීමේ අදහසින් ද දහම් අසන්නාවූ කල්හි, ඒ පිළිබඳව උපදනා කුසල් ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ ධම්මසවණ කුසල කර්ම නම් වෙත්.
මේ ධර්මශ්රවණය සෝවාන් වන කෙනෙකුට අවශ්‍යයෙන්ම උපකාර වන ධර්මයකි. පරතෝඝොෂප්රත්යය යනුද එයට නමෙකි. නිවන් දක්නා කෙනෙකුට එම ජාතියේ හා ඊට පූර්ව ජාතිවලත් ඒ පිණිස මුල් උපකාරය ලෙස ධර්මශ්රවණය පිළිගත යුතුයි. දහම් අසා දැන නොගත් පුද්ගලයා සසර දොස් සහ නිවන් ගුණ නො දනී. එහෙයින්ම පිළිවෙත් පිරීමක් වත්, සසරින් මිදීමක්වත් නොවන්නේය. ධර්මය ගැන සැක උපදවමින්, එහි නෛර්ය්යා ණිකත්වය පිළි නොගෙන, නොවුවමනා වාද ඇති කරණ අදහසින් බණ අසන්නවුන් හට පිරිසුදු කුසල් සිත් නූපදී. එවැනි කිලිටි අදහස්වලින් තොරව, අර්ථ නොවැටහෙන්නේ වී නමුත්, ශ්‍රද්ධා වෙන්, ධර්ම ගෞරවය පෙරදරිව, දහම් අසන්නාවූ පුද්ගලයා හට සගමොක් සුව ලබාගැණීමට මේ ධර්මශ්රවණය උපකාර වන්නේය.
පිරිසුදු සිතින්, තමනුත් බහුශ්‍රැතව අනුන්ට ද අර්ථයක් සිදු කරණ අදහසින් නිරවද්‍ය විද්යාශ්රවණය කිරීමද, මේ ධම්ම සවණ කුසලයට ම ඇතුළත් වේ.
ධර්මශ්රවණයෙහි ආනිශංස වශයෙන්, නො අසන ලද ධර්ම විභාගය ඇසීමය, ඇසූ ධර්ම පිරිසුදු කරගැණීමය, බුද්ධාදී අට තැන්හි සැක දුරු කිරීමය, දෘෂ්ටිය සෘජු කිරීමය, ඔහුගේ සිත පැහැ දීමය යන පඤ්ච ධර්ම ලාභය ලැබෙන්නේය.