දානය
දානය යනු වස්තු පරිත්‍යාගයයි. වස්තු පරිත්‍යාග කරණ කල්හි උපදනා කාමාවචර කුසල් ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චෙතනාව දානමය කුසල කර්මය නම් වේ.
ස්වහස්තයෙන් දන්දෙන කල්හි දානමය කුසල කර්මය කායද්වාර යෙහි පැවැති කාය කර්මයක් වන්නේය. මෙසේ දන් දෙවයි විධාන කළ කල්හි දානමය කුසල කර්මය වාග්ද්වාරයෙහි පවත්නා වාග් කර්මයක් වන්නේය. මම දන් දෙමියි සිතිවිලි මාත්‍රයක් උපදවන කල්හි මනො කර්මයක් වන්නේය.
සිතූ පරිදි දන් දෙන්නාවූ කල්හි උපදනා අර්ථසාධක ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ දානමය කුසල කර්ම පථ නම් වන් නාහ. දානමය කුසල කර්මයාගේ ඉෂ්ටවිපාක වශයෙන් කාම සුගති ප්රතිසන්ධිය හා ප්රවෘත්ති විපාක ද ගෙණ දෙන්නේය. අර්ථ සාධක නොවන්නාවූ දානමය කුසල කර්මයෝ අහේතුක කුසල විපාක මාත්‍රයක් ම ගෙණ දෙන්නාහ.
මේ දානය ගුණවතුන්හට පූජා පිණිසද අනුන්ට අනුග්‍රහ පිණිසද දෙන කල්හි කුසල කර්මයක් වන්නේය.
තවද, පූර්ව චේතනා, මුඤ්චන චේතනා, අපර චේතනා යයි දානමය කුසල චේතනාවෝ ත්‍රිවිධාකාර වෙත්.
දන්දීම පිණිස වස්තු සම්පාදනය කරණ කල්හි ඇති වන චේතනාව පූර්ව චේතනා නම් වේ. තමා සතු වස්තුව දන් දෙන්නාවූ කල්හි ඇතිවන චේතනාව මුඤ්චන චේතනා නම් වේ. දන්දීමෙන් පසුව ඒ ගැන සිහි කරන්නාවූ කල්හි උපදනා චේතනා අපර චේතනා නම් වේ.
දානමය කුසල කර්ම පථය සිද්ධ කරන්නාවූ මුඤ්චන චේතනා වන් පිරිවරාගත් පූර්වාපර කුසල චිත්තයන්ගේ පිරිසුදුවීමෙන් කුසල කර්මයද බලවත් වේ. පූර්වාපර චේතනා දුර්වල වේ නම් කුසල කර්ම විපාකද දුර්වල වන්නේය.
තවද මේ කුසල කර්මය හීන, මධ්‍යම, ප්‍රණීත, වශයෙන් ත්‍රිවිධා කාර වේ.
හීන වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංස ආදියෙන් දන් දෙන කල්හිද කීර්ති ප්‍රශංසා ලැබීම පිණිස හෝ අත්තුක්කංසන පරවම්භනාදි යෙන් කිලිටි සිතින් හෝ කාමාතෘෂ්ණාවෙන් භව භෝග සම්පත් ප්රාර්ථනාකොට ගෙණ හෝ දන් දෙන්නාවූ කල්හි එම දානමය කුසල කර්මය හීන කුසල කර්මයක් වන්නේය.
මධ්‍යමවූ ඡන්ද, චිත්ත, විරිය, වීමංස ආදියෙන් දන් දෙන කල්හිද, පුණ්‍ය ඵල ලැබීම පිණිස හෝ අත්තුක්කංසන පරවම්භනාදියෙන් නොකිලිටි සිතින් හෝ ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් හෝ තමන්ගේම විමොක්ෂය පිණිස හෝ දන් දෙන කල්හි එම දානමය කුසල කර්මය මධ්‍යම කුසල කර්මයක් වන්නේය.
ප්‍රණීතවූ ඡන්ද, චිත්ත, විරිය, වීමංස ආදියෙන් දන් දෙන කල්හිද ආර්‍ය්‍ය භාවය පිණිස හෝ මාර්ග ඵල සුඛය පිණිස හෝ සියළු සත්ත්වයන්ගේ විමොක්ෂය පිණිස පාරමී ධර්මයක් වශයෙන් හෝ දන් දෙන්නාවූ කල්හි එම කුසලය ප්‍රණීත කුසල කර්මයක් වේ.
තවද, මේ දානය, දායක සුද්ධියෙන් ද, ප්‍රතිග්‍රාහක සුද්ධියෙන් ද, දාන ද්‍රව්‍ය සුද්ධියෙන් ද යුක්තවූයේ නම් මහත්ඵල මහානිසංස ගෙණ දෙන්නේය.
දන් දෙන්නාවූ දායක තෙමේ දාන දාසය, දාන සභායය, දානපති යයි තුන්වැදෑරුම් වේ.
යමෙක් මධුර වූ වස්තුව තෙමේ අනුභවකොට අමධුර වස්තුව දන් දෙන්නේවීනම් හෙතෙමේ දාන දාස නම් වේ.
යමෙක් තමා අනුභව කරණ මධුර වූ හෝ අමධුර වූ හෝ වස්තුව අනුන්ට දන් දේ ද, හෙතෙමේ දානසභාය නම් වේ.
තෙමේ අමධුර වස්තුව අනුභව කොට අනුන්ට මධුර වස්තුවෙන් සංග්‍රහ කෙරේ ද හෙතෙම දානපති නම් වේ. මේ ආදී ලක්ෂණයන් ගෙන් දායකයා අඳුනා ගත හැකි වේ.
තවද, කාලදානය, අසත්පුරුෂ දානය, සත්පුරුෂ දානය යයි ද ත්‍රිවිධ වේ.
කර්මඵල අදහා ආගන්තුග, ගමික, ගිලන් ආදීන්හට දෙන්නේ ද, දුර්භික්ෂයේදී දන් දේද, සිල්වතුන් හට ප්‍රථම ශස්‍ය ඵල අග්‍රදාන වශයෙන් දන් දේද, මෙය කාලදාන නම් වේ.
දන් දෙන්නාවූ කල්හි සකස් නොකොට දේද, අනුන් ලවා දෙවාද, ආදර නොකොට දේද, එය අසත්පුරුෂදාන නම් වේ.
යමෙක් සකස් කොට දේද, ප්‍රතිග්‍රාහකයන් පරීක්ෂාකොට ගෞරවයෙන් දේද, ස්වහස්තයෙන්ම දේද, නිරන්තරයෙන් දේද, කර්මඵල අදහා දේද, එය සත්පුරුෂ දාන නම් වන්නේය.
තවද, දාන වස්තු වශයෙන් මද්‍ය දානය, සමජ්ජ දානය, ස්ත්‍රී දානය, වෘෂභ දානය, චිත්රකර්මාන්ත දානය, සත්ත්වයන් දූෂ්‍ය කරවීමට උපකාර වන හෙයින් නොදිය යුතුයි.
තවද, දාන විසුද්ධීහු සිව්වැදෑරුම් වෙත්.
දායක තෙමේ කල්‍යාණ පුරුෂයෙක්ව, පාපීවූ ප්‍රතිග්‍රාහකයෙකුට දන් දේ නම් ඒ දානය මහත්ඵල වන්නේ දායකයාගේ පිරිසුදු බැවිනි. ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් නොවේ. වෙස්සන්තර මහරජු පාපීවූ ඡූජක නම් බමුණාහට දන්දී මහ පොළොව පවා කම්පා කරවීය.
දායකතෙමේ අධර්මිෂ්ඨව සිට සිල්වත්වූ ධර්මිෂ්ඨ කල්‍යාණ පුරුෂයෙකු හට දන් දුන්නේවීනම් ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් දානය මහත්ඵල මහානිශංස වේ. දායකයාගේ වශයෙන් නොවේ.
දායක ප්‍රතිග්‍රාහක දෙදෙනාම අධර්මිෂ්ඨ වූ, පාප ධර්මයෙහි පිහිටියාහු වෙත්ද, ඒ දානය දෙන්නවුන්ගේ වශයෙන් ද ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන්ද මහත්ඵල නොවන්නේය.
දායක ප්‍රතිග්‍රාහක දෙදෙනාම ධාර්මික වූ සිල්වත් කල්‍යාණ පුරුෂයන් වේද, ඒ දානය දායකයාගේ වශයෙන්ද, ප්‍රතිග්‍රාහකයාගේ වශයෙන් ද සුද්ධ වේ.
තවද ප්‍රතිග්‍රාහකයාගේ ගුණය පමණට දානානිශංස ද මහත් වේ.
සරණ සීලයෙහි නොපිහිටි ගුණවත් නොවූ අපමණ සත්ත්වයන්ට දෙන ලද මහා දානය තිසරණ පිහිටි එක් පුද්ගලයෙකු හට දුන්නාවූ දානයෙහි සොළොස්වන කලාවෙන් කලාවක් නො අගනේය.
තිසරණ පිහිටියන් සියක් දෙනාහට දුන් දානය සෝවාන් එක් පුද්ගලයෙක් හට දුන් දානය හා සම නොවන්නේ ය.
සෝවාන් වූ එක්සිය දෙනෙකු හට දුන් දානය, සකෘදාගාමි එක් පුද්ගලයෙක් හට දුන් දානයට සම නොවන්නේය.
සෙදගැමි සියයක් දෙනා හට දුන් දානය එක් අනාගාමි පුද්ගලයෙක් හට දුන් දනට සම නොවන්නේය.
අනාගැමි සියයක් දෙනාහට දුන් දානය එක් රහත් පුද්ගලයෙකු හට දුන් දානයට සම නොවන්නේ ය.
රහත් සියක්නමකට දුන් දානය එක් පසේබුදු කෙනෙකුන් වහන්සේ නමකට දුන් දනට සම නොවන්නේය.
පසේ බුදුන් සියක්දෙනා වහන්සේට දුන් දානය සම්මා සම්බුදුන් වහන්සේ නමකට දුන් දනින් සොළොස් කලාවෙන් කලාවක් පමණවත් නො අගනේය.
ලොව්තුරා බුදුන් වහන්සේට දුන් දනට වඩා බුදු පාමොක් මහ සඟනට දුන් දානය මහත්ඵල මහානිසංස වන්නේය.
ඒ දානයට වඩා තුනුරුවන් පිහිටි තැන සංඝාරාමයක් කරවීම අගනේය.
එයටත් වඩා තුනුරුවන්ගේ සරණ ගත් කුසල ඵලය මහත් වේ.
එයට වඩා සරණ සීලයෙහි පිහිටා පඤ්චසීල සමාදානයෙහි කුසල ඵලය මහත් වේ.
එයටත් වඩා මොහොතක් මෛත්‍රී භාවනා කළහොත් එහි ඵලය මහත් වේ.
මේ හැමටම වඩා අසුරුසැණක් පමණ කල් විදර්ශනා භාවනා කිරීම මහත්ඵල වන්නේය.
එසේ හෙයින් විදර්ශනා වඩා මාර්ගඵල ප්‍රාප්ත වූ උත්තමයන් පිදීම මහානිසංස බැවින් බුද්ධ ධම්ම, සඞ්ඝ, යන තුනුරුවන් ප්‍රතිෂ්ඨාධාර කොට දන් දීම යහපති.
ප්‍රසන්න සිතින්, ශුද්ධකොට දන් දෙන්නාවූ පුද්ගල තෙමේ බොහෝදෙනා හට ප්‍රිය වන්නේය. සජ්ජන සමාගම ලබන්නේය. ඔහුගේ කීර්තිය දස දිසාවෙහි පැතිරෙන්නේය. ගෘහස්ථ ධර්මයෙන් පහ නොව මනා සැප විඳින්නේය. මේ ආත්මභාවයෙන් මත්තෙහි දිව්‍යලෝකයන්හි ඉපිද අපමණ දිව්‍ය සම්පත් විඳින්නේය. මේ දන් දීමෙහි පංචානිසංසය නම් වේ.