වෙය්‍යාවච්චය
තුනුරුවන්, මව්පියන්, වැඩිහිටියන්, ආචාර්ය්ය උපාධ්‍යායයන් සමණ බමුණන් ආදී ගරු කටයුතු උතුමන්ට ද, ආගන්තුග, ගමික, අද්ධික ගිලන් මහල්ලන් ආදී සත්කාර කළයුතු අනිකුත් සත්ත්ව යන්ට ද, කරුණාධ්‍යාශයෙන්, පිරිසුදු සිතින්, ලාභ ප්‍රයෝජනාදිය නොතකා ඉතා ආදරයෙන් වත් පිළිවෙත් කිරීම, උපකාර කිරීම, සත්කාර සම්මාන කිරීම යනාදී යහපත් කටයුතු කරන්න වුන් හට, ඒ පිළිබඳව උපදනා කුසල් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ වෙය්‍යාවච්ච කුසල කර්ම නම් වෙත්. මේ කුසල කර්මය ද අනුසස් දැන, කර්මඵල අදහා කරන්නාවූ කල්හි ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත් ද, පුරුද්දක් වශයෙන් හෝ, අනුන් කරණු දැක හෝ, අනුසස් නොදැන හෝ කරන කල්හි ඤාණ විප්‍රයුක්ත සිත් ද පහළ වෙත්. මේ කුසලය ද චාරිත්‍ර සීලයක් වන බැවින් සීලමය කුසල කර්මයන්ටම ඇතුළත් වේ. අනුන්ගේ පිංකම්හි දී අනුබල දීම වශයෙන් සහාය වීම ද වෙය්යාවච්චයටම ඇතුළත් කළ යුතුයි.