අභිධර්මාර්ථ ප්‍රදීපිකා

භාවනා

කුසල ධර්මයන්ගේ වැඩීම හෙවත් දියුණුව පිණිස සිත යහපත් අරමුණෙක්හි වැඩීම, නැතහොත්, නන් අරමුණෙහි විසිර යා නොදී එක් අරමුණෙක්හි සිත නැවත නැවත ඉපදවීම් වශයෙන් බැඳ තැබීම භාවනා නම් වේ. සමසතලිස් කමහටන් වශයෙන් හෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් හෝ යහපත් අරමුණක් නිමිතිකොටගෙන සමාධිය හෙවත් චිත්තේකග්ගතාවය පිණිස නැවත නැවත වැඩීමේදී උපදනා කාමාවචර ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චෙතනාව භාවනාමය කුසල කර්මය නම් වේ.

ලෞකික භාවනා, ලොකොත්තර භාවනා ය යි භාවනා දෙකෙකි.

ලෞකික සීල, සමාධි, ප්‍රඥාවන්ගේ ඉපදවීම ද ඒ සීල, සමාධි ප්‍රඥාවන්ගෙන් තම චිත්ත සන්තානය පුරුදුකිරීම් වශයෙන් වැඩීම ද ලෞකික භාවනා නම් වේ.

ලොකොත්තර සීල, සමාධි, ප්‍රඥාවන්ගේ ඉපදවීමද ඒ සීල, සමාධි, ප්‍රඥාවන්ගෙන් තම චිත්ත සන්තානය පුරුදුකිරීම් වශයෙන් වැඩීම ද ලෝකෝත්තර භාවනා නම් වේ.

තවද මේ භාවනාව චිත්ත භාවනා, ප්‍රඥා භාවනා යයි ද්විධ වේ.

දසකසිණ, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ආහා රෙ පටික්කුල සඤ්ඤා, චතුධාතුවවත්ථානය, සතර ආරුප්‍යයෝය යන සතලිස් (40) කර්මස්ථාන අතුරෙන් යම් කිසි කමටහනක් අරමුණු කොටගෙණ, ලෞකික සමාධිය හෙවත් චිත්තෙකග්ගතාවය පිණිස සිත වැඩීම චිත්ත භාවනා නම් වේ. සමාධියට විරුද්ධ වූ කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් විතක්ක විචාරාදී ධ්‍යානාඞ්ගයන් ගේ වැඩීමෙන් තදඞ්ග විෂ්කම්භණ වශයෙන් ප්‍රහීණ කිරීම මේ භාවනාවේ අදහස වේ. නීවරණ ධර්මයන් සංහිදවන අර්ථයෙන් සමථ භාවනා යයි ද කියනු ලැබේ.

මේ භාවනායෙන් ලබන සමාධිය, උපචාර සමාධිය, අර්පණා සමාධිය යයි දෙවැදෑරුම් වේ. අර්පණා සමාධිය නම් ප්‍රථමධ්‍යානාදී රූපාවචර අරූපාවචර සිත්හි ඇතිවන බලවත් ඒකග්ගතාවයයි. අර්පණා ජවන් උපදනා චිත්ත වීථින්හි ගොත්‍රභූ චිත්තය දක්වා හටගන්නාවූ කාමාවචර කුසල ජවන් සිත්හි සම්ප්‍රයුක්ත ඒකග්ගතා වය උපචාර සමාධිය නම් වේ. භාවනා කිරීමට තැත් කළ තැන් පටන් එම අරමුණෙහිම සිත වඩනා කල්හි අර්පණාප්‍රාප්තියට පළමු පහළ වන්නාවූ ගොත්‍රභූ චිත්තය දක්වා ඇති කාමාවචර කුසල් ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ භාවනාමය කුසල කර්ම නම් වෙත්.

චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධය පිණිස නැතහොත් විශිෂ්ට ඤාණය පිණිස පඤ්චස්කන්ධාදි ධර්මයන් විවිධාකාරයෙන්, අනිත්‍ය, දුක්ඛ අනාත්මාදි වශයෙන් විදර්ශනා කොට වැඩීම ප්‍රඥා භාවනා නම් වේ. මෙයට විදර්ශනා භාවනා යයි ද කියනු ලැබේ.

සමථ භාවනා හේතුකොටගෙණ රූපාවචර අරූපාවචර ධ්‍යාන යෝ ද, පඤ්චාභිඥා ද ලැබෙත්.

සමථ විපස්සනා භාවනා හේතුකොටගෙණ සෝවාන් ආදී ලෝකෝත්තර මාර්ගඵල යන්ට පැමිණිය හැකිවෙත්.

සුපරිසුද්ධ ශීලයෙහි පිහිටා දසවිධ පලිබෝධයන්ගෙන් දුරුව, චරිතානුකූල වූ කර්මස්ථානයක් ලබාගෙණ, සමාධි වැඩීමට අයෝග්‍ය ස්ථාන හැර යොග්‍ය ස්ථානයකට එළඹ, භාවනා විධි නොපිරිහෙලා, භාවනා කරන්නාවූ යොගාවචරයා හට සමාධිය ලැබෙන්නේය.

සීලයෙහි පිහිටා වඩා ගන්නා ලද සමාධිය ඇතිව විදර්ශනා ප්‍රඥා වඩන්නාහට ම ආර්‍ය්‍ය මාර්ගඵල ලැබෙන බව දතයුතුයි.

තවද, ධර්ම විනය ඉගෙණිමෙහිදී ද, නිරවද්‍ය ශිල්ප ශාස්ත්‍රාදිය ප්‍රගුණ කිරීමෙහිදී ද, භාවනාමය කුසල චේතනාවෝ හටගනිත්.