ධම්ම දෙසනා
ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා ආදියක් නොතකා, පිරිසුදු සිතින් හා කරුණාධ්යාසයෙන් යුක්තව, මනාකොට ධර්මය ඉගෙණ සසරින් එතරවන්නට උපකාර වන්නාවූ ධර්ම මාර්ගය නිවැරැදි ලෙස ශ්‍රද්ධාවෙන් අන්‍යයන් හට දෙසනා කරන්නාවූ කල්හි උපදනා කුසල් ජවන් සිත්හි සම්ප්‍රයුත්ත චේතනාවෝ ධම්මදෙසනා කුසල කර්ම නම් වෙත්.
ධර්මදේශනය, ධර්ම දානයක් වන නමුත්, නන් අරමුණෙහි සිත යා නොදී දහම් අරමුණෙහිම සිත යොමුකොට පවත්නා බැවින් භාවනාමය කුසල කර්මයට ඇතුළත් කරණු ලැබේ. ධර්මය පත් පොත්හි ලියා අන්‍යයන්ගේ දැනගැනීම පිණිස පළකරවන කල්හි මෙය කාය කර්මයක් ද වන්නේය. පර්‍ය්‍යාප්ති ශාසනය රැකගැනීමට අතිශයින් උපකාර වන මේ පුණ්‍ය කර්මය, ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර මහා කුසල් සිතකින්ම සිද්ධවිය යුතුයි. එමෙන්ම දහම් දෙසීමේදී, නො දැනුවත් කමින් හෝ අසන්නන් නොමග යවන්නට හැකි වන අන්දමින් ධර්මාර්ථ වරදවා කියා දීමේදීද පිරිසුදු ධර්මයට නොගැලපෙන වෛතුල්‍ය මතාදීන් හා සම්මිශ්‍රණය කොට දේශනා කිරීමෙන්ද ධර්මයට හානියක්, අන්තරාවක් විය හැකි බැවින් සාවද්‍ය දේශනයක් වන්නට ද අවකාශ තිබේ. එබැවින් පැරණි ධර්ම දේශකයෝ ථෙරවාද දහම මනා කොට ඉගෙණ, පත පොතට විරුද්ධ අර්ථයන් ප්‍රකාශ කරන්නේ වී නමුත්, එය තම මතය හෝ අසුවල් ගුරු මතය යයි පැවසීමෙන් ධර්ම ගෞරවය නොකෙලෙසා දහම් දෙසූහ.
තවද දහම් දෙසන්නාවූ කල්හි, ශ්‍රවණය කරන්නාවූ පුද්ගල යන්ගේ ධර්ම ඥානයත්, ශ්‍රද්ධා භක්තියත් වැඩීමට උපකාරවන පරිද්දෙන් දහම් දෙසිය යුතුය.