අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සීලය

කාය වාග් දුශ්චරිතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නහුගේ හෝ, ඒ පිළිබඳව උපදනා ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චෙතනාතොමෝ සීලමය කුසල කර්මය නම් වේ.

සීලන අර්ථයෙන් හෙවත් කුසල කර්මාදීන්ට විසිර යාමට ඉඩ නොදීම නම් වූ සමාධානාර්ථය හෝ කුසල ධර්මයන් ප්‍රතිෂ්ඨා වශයෙන් දැරීම නම් වූ උපධාරණාර්ථය හෝ ඇති මේ සීලය, චෙතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අව්‍යතික්‍රම සීල යයි චතුර්විධ වේ.

එයින්, සප්තවිධ කාය වාග් දුශ්චරිතාදියෙන් වැළකෙන්නහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නහුගේ හෝ, එ පිළිබඳව ඇතිවන චෙතනාව, චෙතනා සීල නම් වේ.

එබන්දෙකුගේ එවේලෙහි සිත්හි යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසික තුන චෛතසික සීල නම් වේ.

ප්‍රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යන පංචවිධ සංවරයෝ සංවර සීල නම් වේ.

සමාදන් වූ සීලය කයින් හෝ වචනයෙන් හෝ නොබිඳ රැක ගැණීම අව්‍යතික්‍රම සීල නම් වේ.

මේ සීලය චාරිත්‍ර සීලය, වාරිත්‍ර සීලය වශයෙන් ද විවිධ වේ.

මේ දෙය කළයුතු යයි බුදුන් වහන්සේ විසින් පණවා වදාළ ශික්‍ෂා පදයන් ශ්‍රද්ධාවෙන් හා වීර්‍ය්‍යයෙන්ද රැකීම චාරිත්‍ර සීල නම් වේ.

මේ දේ නොකළයුතු යයි බුදුන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කරණ ලද හෙවත් වළක්වනලද දෙය ශ්‍රද්ධාවෙන්ම වළක්වා ගැණීම වාරිත්‍ර සීල නම් වේ.

තවද, හීන සීල, මධ්‍යම සීල, ප්‍රණීත සීල යයි ද ත්‍රිවිධ වේ.

හීන වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාදියෙන් යුක්තව, කීර්ති ප්‍රශංසා ආදිය පිණිස හෝ, අත්තුක්කංසන පරවම්භනාදියෙන් කිලිටිව හෝ භවභොග සම්පත් සඳහා හෝ රක්නා සීලය හීන සීල නම් වේ.

මධ්‍යම වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාදියෙන් යුක්තව පුණ්‍යඵල ලැබීම පිණිස හෝ, අත්තුක්කංසන පරවම්භනාදීයෙන් නොකිළිටිව තමාගේම විමොක්‍ෂය පිණිස රක්නා සීලය මධ්‍යම සීල නම් වේ.

ප්‍රණීත වූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාදියෙන් යුක්තව, ආර්‍ය්‍ය භාවය අපෙක්‍ෂාකොට හෝ මාර්ගඵල සුඛය පිණිස හෝ, සියළු සත්ත්වයන්ගේ විමොක්‍ෂය පිණිස පාරමිතා වශයෙන් හෝ රක්නා සීලය ප්‍රණීත සීල නම් වේ.

තවද, භික්‍ෂු සීල, භික්‍ෂුණී සීල, අනුපසම්පන්න සීල, ගහට්ඨ සීල යයි ද චතුර්විධ වේ.

භික්‍ෂූන් උදෙසා පණවා වදාළ යම්නාක් ශික්‍ෂාපද වේද එය භික්‍ෂු සීල නම් වේ.

භික්ෂුණීන් උදෙසා පණවා වදාළ ශික්ෂා පද භික්ෂුණී ශීල නම් වේ. සාමණෙර, සාමණේරින්ගේ දස සීලය අනුපසම්පන්න සීල

නම් වේ.

උපාසක උපාසිකාවන්ට නිත්‍ය සීල වශයෙන් පණවා වදාළ පංච ශික්ෂාපද ද, උපොසථාඞ්ග සීල වශයෙන් පණවා වදාළ අෂ්ට ශික්ෂාපද ද, උත්සාහ ඇතියවුන් විසින් රැක්කයුතු දස ශික්ෂාපද ද ගහට්ඨ සීල නම් වේ.

තවද, පාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, පච්චය සන්නිශ්‍රිත සීලය යයි ද චතුර්විධ වේ.

ප්‍රාතිමෝක්ෂයෙහි වදාළ ශික්ෂාපද ව්‍යතික්‍රම නොකොට රැකගැනීමාදිය හෙවත්, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්තව, ආචාර ගොචර සම්පන්නව, ස්වල්ප වරදෙහි පවා භය දක්නා සුලුව වාසය කරන්නේ යයි ශික්ෂා පදයන් සමාදන්ව නොකඩ කොට රැකීම ප්‍රාතිමෝක්ෂ සංවර සීල නම් වේ.

චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය මන යන ෂට්ඉන්ද්‍රියන් සංවර කරගැනීම හෙවත් සදොරින් රූපාදී අරමුණු ඇතුල් වීමේදී සිහියෙන් යුක්තව ඉන්ද්‍රියයන් රැකගැනීම ඉන්ද්‍රිය සංවර සීල නම් වේ.

ආජීවය හේතුකොටගෙන පණවා වදාළ පාරාජිකාය, සංඝාදිසේසය, ථුල්ලච්චය, පාවිත්තිය, පාටිදෙසනීය, දුක්කටාය යන සවැදෑරුම් ශික්ෂාපදයන් කඩ නොකොට කුහන, ලපන, නේමිත්ති කතා, නිප්පෙසිකතා, ලාභෙනලාභං නිජිගිංසනතාදී පාප ධර්මයන්ගේ වශයෙන් ද පවත්නාවූ මිච්ඡාජීවයෙන් වැළකීම ආජීව පාරිශුද්ධි සීලය නම් වේ.

ප්‍රත්‍යවෙක්ෂා කොට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය යන සිව්පසය පරිභොග කිරීම ප්‍රත්‍යසන්නිශ්‍රිත සීල නම් වේ.

භික්ෂු සීල, භික්ෂුණී සීලයන්ගේ සමාදානය කර්මවාක්‍යයෙන් සිද්ධ වේ. පාරාජිකා වීමෙන් මෙහි සීල භෙදය වේ. සිල් බිඳුනු කල භික්ෂු භාවය හෝ භික්ෂුණී භාවය හෝ නොහැර සිටින්නේ දුශ්ශීලයා යි. පාරාජිකා නොව සෙසු ශික්ෂාපද කඩ කිරීමෙන් සංවර භෙදය වූ කල එයට සුදුසු ප්‍රතිකර්මකොට නැවත ශීලයෙහි නොපිහිටා සිටින්නේ ද, දැන දැනම ශික්ෂාපද කඩ කරන්නේද, හෙතෙම අලජ්ජි නම් වේ.

අනුපසම්පන්නයාගේ හා ගහට්ඨයාගේද සීල භෙදයෙන් වන දුශ්ශීල භාවය හා අලජ්ජි භාවයත් මෙලෙසින්ම දතයුතුයි.

සීලයෙහි ආනිශංස වශයෙන්, මහත්වූ භෝගස්කන්ධ ලැබීමද කල්‍යාණ කීර්ති ශබ්දය නැගීමද, ක්ෂත්‍රියාදී පිරිස් කරා විසාරදව එළඹීමද, අසම්මූඪව කාලක්‍රියා කිරීමද, මරණින් මතු දෙව්ලොව ඉපදීම ද සිද්ධවන්නේ ය.