අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පත්ති දානය

තම චිත්ත සන්තානයෙහි උපන්නාවූ කුසල චේතනාවෝ අන්‍යයන් හා සාධාරණ කොට දීමේදී හෙවත් පින් පැමිණවීමේදී ඒ පිළිබඳව උපදනා කුසල් ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ පත්තිදාන කුසල කර්ම නම් වෙත්. දාන, සීල, භාවනාදි යම් පුණ්‍ය කර්මයක් කොට එම පුණ්‍යක්‍රියාව නැවත සිහි කරමින් පින් අනුමෝදන් වන්නට කැමැත්තෙන් සිටින පුද්ගලයන් හට පිරිසුදු සිතින් කරුණාධ්‍යාශයෙන් එම පින් පැමිණවීමෙන් තමාගේ පුණ්‍ය කර්ම ශක්තියද මහත් වන්නේ ය, මිය පරලොව ගිය ඤාතීන් නොයෙක් තැන්හි ඉපිද පින් අනුමෝදන් වන්නට බලවත් ආසාවෙන් සිටින හෙයින් මේ පුණ්‍ය කර්මය බොහෝ සෙයින් චාරිත්‍ර ධර්මයක් වශයෙන්ද පුරුදු කරණු ලැබේ. අතීතයෙහි කරනලද්දාවූ කුසල කර්මයක් අනුමෝදන් කරවීමේදී ඒ කුසල කර්මය සිද්ධ කළ සැටි නුවණින් සිහි කරමින්ම අනුමෝදන් කළ යුතුයි. එවිට පින් ගන්නාවූ තැනැත්තාටද එබඳු කුසල් සිත්ම පහළවීමෙන් තමන් විසින් කරගන්නාලද කුසලකර්මයක් මෙන් වැටහී කුසල චේතනා පහළ වන්නේය. පුණ්‍ය බලය දැන පත්ති දානය හෙවත් පින් දීම කරණ කල්හි ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් උපදී.

මේ කුසලය දානමය කුසල කර්මයට ඇතුළත් වන්නේය. යම් කිසි දෙවියෙක් හෝ පරදත්තූපජීවි පුද්ගලයෙක් හෝ උදෙසා පින්දීමක් වේද, එය උද්දිස්සක පත්ති දානය නම් වේ. මෙය දිට්ඨ ධම්ම වේද්‍ය කර්මයක් වශයෙන් ඔවුන් අනුමෝදන් වීමෙන් සැප සම්පත් සාදා ගන්නේය. සාමාන්‍ය යෙන් හැමටම සාධාරණ වශයෙන් පින්දීම අනුද්දිස්සක පත්ති දානය නම් වෙත්.