අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මිථ්‍යාදෘෂ්ටි අකුසල කර්ම

වරදවා ගන්නා ලබ්ධියට මිථ්‍යාදෘෂ්ටිය යයි කියනු ලැබේ. මෙසේ වරදවා ගන්නා ලද දෘෂ්ටි ඇති කල්හි උපදනා ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චෙතනාව මිථ්‍යාදෘෂ්ටි අකුසල කර්ම නම් වේ. මේ කර්මයට ද අඞ්ග දෙකක් සම්පූර්ණ විය යුතු. එනම්.

  1. වැරදි ලබ්ධිය ඇති බවය
  2. එය එසේ ගැන්මය.

බුද්ධ දේශනායෙහි මිථ්‍යාදෘෂ්ටිහු දෙසැටක් (62) දක්වා ඇත. සංක්ෂේපයෙන් එය මෙසේයි:-

  1. චතුර්විධ ශාස්වත වාදය - හෙවත් තමා ද ලෝකයද සදාකාලික යයි ගැනීම.
    1. ඇතැම් කෙනෙක් ධ්‍යාන සමාපත්ති ලබා එයින් පූර්වේනිවාසානුස්සති ඤාණය උපදවා නොයෙක් ලක්ෂ ගණන් ජාති සිහි කොට ආත්මය ද, ලෝකයද ශාස්වතය, වඳය, නිෂ්ඵලය, පර්වත කූටයක් මෙන්ද, ඉන්ද්‍රබිලයක් මෙන්ද නිශ්චලව සිටියේය. ඒ ආත්ම නිශ්‍රිතවූ සත්ත්වයෝ භවයෙන් භවයට ධාවනය කරන්නා හු ය යනාදී වශයෙන් ගන්නා ශාස්වත දෘෂ්ටියෙක.
  2. ඇතැම් කෙනෙක් එසේ පෙරවිසූ කඳ පිළිවෙල සිහිකොට සංවට්ට විවට්ට කල්පාදීන්ගේ වශයෙන් සංවට්ට විවට්ට කල්ප දසය දක්වා බලා ආත්මයද ලොකයද, නිත්‍යය, නිෂ්ඵලය, භවයෙන් භවයට යන්නාවූ සත්ත්වයෝ ශාස්වත වස්තුවක් මෙනැයි ආත්මය ගන්නා ශාස්වත දෘෂ්ටියෙක.
  3. ඇතැම් කෙනෙක් එසේ පෙර විසූ කඳ පිළිවෙල සිහිකොට සංවට්ට විවට්ට කල්ප සතළිසක් (40) පමණ බලා ආත්මයද, ලෝකයද ශාස්වතය, නිෂ්ඵලය, ආත්ම නිශ්‍රිතවූ සත්ත්වයෝ භවයෙන් භවයට යන්නාහු ශාස්වත වස්තූන් මෙන් නිරන්තරයෙන් ආත්මය ඇත්තේම යයි ගන්නා ශාස්වත දෘෂ්ටියෙක.
  4. ඇතැම් කෙනෙක් තමාගේ තර්ක ඥානයෙන් විමසා තමාගේ වැටහීම අනුව ආත්මයද, ලෝකයද, ශාස්වතය, වඳය, පර්වතකූටයක් ඉන්ද්‍රබිලයක් මෙන් නිශ්චලව සිටියේය. භවයෙන් භවයට යන්නාවූ ආත්ම නිශ්‍රිත වූ ඒ සත්ත්වයෝ ශාස්වත වස්තුවක් හා සමවූ සේම වෙතියි ගන්නා ශාස්වත දෘෂ්ටියෙක.

2 චතුර්විධ එකච්ච ශාස්වත වාදය— හෙවත් කොටසක් ශාස්වත වශයෙන් ද, කොටසක් අශාස්වත වශයෙන්ද ආත්මය ද, ලෝකයද ගැනීම.

  1. කල්ප විනාශවන කල්හි බොහෝ සත්ත්වයෝ ආභස්සර නම් බඹලොව ඉපිද ඉතා දීර්ඝ කාලයක් එහි වැස, නැවත ලොව හටගන්නා කල්හි එයින් එක්තරා කෙනෙක් ආභස්සර බඹලොවින් චුතව, හිස්වූ බඹ විමනෙක් හි පහළ වෙයි. හෙතෙම හුදකලාව බොහෝ කලක් එම විමනෙහි වැස, අන්සත්ත්වයෝ ද මේ අත් බැවට එන්නාහු නම් ඉතා යෙහෙකැයි තෘෂ්ණා දිට්ඨි වශයෙන් අන් සත්ත්වයන් ගේ ඊම කැමැති වෙයි. එකල්හි ආයු හෝ කුසලය ක්ෂය වීමෙන් අන් සත්ත්වයන්ද ආභස්සර බඹ ලොවින් චුතව එහි පහළ වෙත්. එයින් පළමු උපන් බ්‍රහ්ම තෙමේ මම බ්‍රහ්මයෙමි. මහා බ්‍රහ්මයෙමි, සියල්ල මැඩ පවත්වා සිටින්නාවූ ජ්‍යෙෂ්ඨ වෙමි. සියල්ල දක්නෙමි, ලොවට ඉසුරු වෙමි ලොව මවන් නෙක් වෙමි, ක්ෂත්‍රියාදින්ගේ වශයෙන් ලොව බෙදන්නෙක් වෙමි යනාදිවශයෙන් ලබ්ධි ගන්තේය. හෙතෙම බොහෝ ආයුෂ ඇත්තෙක් වෙයි. අන්‍යයෝ මන්ද යුෂ්ක වෙති. පසු කලෙක එයින් කෙනෙක් බඹලොවින් චුතව මිනිසත් බව ලබා ධ්‍යාන උපදවා පෙර විසූ කඳ පිළිවෙල සිහිකොට ඒ මහා බ්‍රහ්මයා දැක හෙතෙම මහා බ්‍රහ්මයාය, අනුන් මැඩ පවත්නේය. සියල්ල මවන්නේය. හෙතෙම නිත්‍යය, ඒකාන්තය ශාස්වතය, එහිම සිටියේය. ඔහු විසින් නිර්මිත අපි වනාහි අනිත්‍ය වම්හ. ඒකාන්ත නොවම්හ. මන්දායුෂ්ක වම්හ. චුතවන්නාවූ ස්වභාවය ඇත්තෝ වම්හ යි ගන්නා එකච්ච සස්සත ඒකච්ච අසස්සත වාද ඇත්තෙක.

(6) ඛිඩ්ඩාපදූසිකා නම් වූ ක්‍රීඩායෙහි සිත් ඇලුනු දේව නිකායෙක් ඇත. බොහෝ කලක් හාස්‍ය ක්‍රීඩා රතිධර්මයට පැමිණි ඇතැම් දෙවි කෙනෙක් සිහි මුළාවීමෙන් ඒ දේවනිකායෙන් චුතව මිනිසත් බවට පැමිණ භාවනා කොට ධ්‍යාන උපදවා පූර්වනිවාසය සිහිකොට, ඒ දේව නිකාය දැක, එහි සිහිමුළා නොවූ දෙවියෝ චුතනොවෙත්, නිත්‍යය හ. ඒකාන්තයහ. ශාස්වතයහ. ක්‍රීඩායෙන් ක්ලාන්ත වූ අපි ඒ දේව නිකායෙන් චුතවූවෝ අනිත්‍යවම්හ ස්ථිර නොවම්හ. මන්දායුෂ්කවම්හ. චුතවන ස්වභාව ඇතියම්හ යනාදි වශයෙන් ගන්නා ඒකච්චශාස්වත ඒකච්ච අශාස්වත වාද ඇත්තෙක.

(7) මනොපදූසිකා නම්වූ ක්‍රොධ සිතින් ඔවුන්නොවුන් බලන් නාවූ දේවනිකායෙක් ඇත. ඔව්හු බොහෝ කලක් ඔවුන්නොවුන් කෙරෙහි ක්‍රොධ සිතින් බලමින් සිත් දූෂ්‍ය කරගනිත්. ඇතැම් දෙවියෝ එයින් ක්ලාන්ත වී ඒ දේව නිකායෙන් චුතව මිනිසත් බව ලැබ, භාවනා කොට ධ්‍යාන උපදවා පෙරවිසූ ආත්ම භාවය සිහි කොට, චිත්ත දූෂණය නොකරන්නාවූ දෙවියෝ, ඉතා දීර්ඝ කාලයක් ඔවුනොවුන් ක්‍රොධ සිතින් නොබලන්නාහු ක්ලාන්ත නොවූවාහු ඒ දිව්‍ය නිකායෙන් චුත නොවෙත්, නිත්‍යයහ, ස්ථිරයහ, ශාස්වතයහ, සිත් දූෂණය කොට ක්ලාන්ත වූ අපි ඒ දේව නිකායෙන් චුත වූයෙමු. අනිත්‍යවම්හ. ස්ථිරනොවම්හ. මන්දායුෂ්කවූවෝ වම්හ. මෙසේ කොටසක් ශාස්වත වශයෙන්ද, කොටසක් අශාස්වත වශයෙන්ද ගන්නා වාද ඇත්තෙක.

    1. ඇතැම් කෙනෙක් තර්කකොට තමාගේ වැටහීම් මාත්‍ර යෙන් විමසා ලබ්ධි ගෙන චක්ඛු, සොත, ඝාණ, ජිව්හා කාය යන මේ ආත්මය අනිත්‍යය වෙයි. අස්ථිර වෙයි, අසාස්වත වෙයි, සිත, මනස, විඤ්ඤාණය යන නම්වලින් හැඳින්වෙන ආත්මය නිත්‍යය වෙයි. ස්ථිර වෙයි, ශාස්වත වෙයි. මෙසේ කොටසක් නිත්‍ය වශයෙන් ද කොටසක් අනිත්‍ය වශයෙන්ද ආත්මයත් ලෝකයත් පණවත්.
  1. චතුර්විධ අන්තානන්තික වාදය-හෙවත් ලෝකය කෙළවරක් ඇතැයි කියා හෝ නැතැයි කියා හෝ පැවති දෘෂ්ටි සතර.
    1. ඇතැම් කෙනෙක් භාවනා කොට ප්‍රතිභාග නිමිත්ත උපදවා එය සක්වල කෙළවර දක්වා නොවඩා, ඒ කසිණාලෝකය, ලෝකය යයි දෘෂ්ටි ගෙන අන්ත සංඥාව ඇතිව වසමින් මේ ලෝකය කෙළවරක් ඇත්තේය, හාත්පසින් වටය, යයි මෙසේ අන්තානන්තික වාදය පණවත්.
    2. ඇතැම් කෙනෙක් මෙසේ භාවනා කොට කසිණ ප්‍රතිභාග නිමිත්ත සක්වල කෙළවර තෙක් වඩා අනන්ත සංඥා ඇතිව මේ ලෝකය අනන්තය කෙළවරක් නැත්තේ යයි අන්තානන්තික වාදය පණවත්.
    3. ඇතැම් කෙනෙක් භාවනානුයෝගීව ප්‍රතිභාග නිමිත්ත උඩින් සහ යටින් නොවඩා සරසින් පමණක් වඩා උඩින් හා යටින් අනන්ත සංඥා ඇතිව මේ ලෝකය කෙළවරක් ඇත්තේ ද වේ. කෙළවරක් නැත්තේ ද වේ යයි මෙසේ අන්තානන්තික වාදය පණවත්.
    4. ඇතැම් කෙනෙක් ස්වකීය තර්කයෙන් විමසා තීරණය කොට මේ ලෝකය කෙළවරක් ඇත්තේත් නොවේ. කෙළවරක් නැත්තේත් නොවේ යයි මෙසේ අන්තානන්තිකවාදය පණවත්.
  2. චතුර්විධ අමරා වික්ෂේපවාදය—හෙවත් නොමැරෙන්නාවූ, කෙළවරක් නැත්තාවූ දෘෂ්ටි වචනයෙන් දමා ගසන්නා වූ, නොහොත් දිය පිට මතු වීමෙන් හා ගිලීමෙන් ඔබ මොබ දිවන්නාවූ අමරා නම් මත්ස්‍ය ජාතිය අල්වා ගත නොහැකිවාක් මෙන්, අල්වාගත නොහැකි වචනයෙන් දමා ගසන්නාවූ වාද සතරෙකි.

(13) ඇතැම් කෙනෙක් මේ කුසල කර්මය යයි ද මේ අකුසල කර්මය යයි ද තත් වූ පරිද්දෙන් නොදත් හෙයින් මෙය, ‘කුසලය’ මෙය අකුසලය යයි මම ප්‍රකාශ කෙළේ නම් මට ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ පටිඝය හෝ වන්නේය. එසේ වූයේ නම් එය මට බොරුවක් වන්නේය. එයින් දුක් වන්නේය. සගමොක් දෙකට ද අන්තරාය වන්නේය. මෙසේ ඔහු මුසාවාද භීතියෙන් එයට පිළිකුල් කිරීමෙන් මේ කුසලය මේ අකුසලය යයි ප්‍රකාශ නොකොට ඒ ඒ තන්හි ඔහු අමරාවික්ෂේපයට පැමිණේ. ආත්මය හා ලෝකය ශාස්වත දැයි ඇසූ කල්හි එසේ නොවේය කියා වචනයෙන් දමාගසයි. ශාස්වතයෙන් අන්‍ය වූ ඒකච්ච සස්සත වාදය දැයි ඇසූ කල්හි මට ඒ අන් පරිද්දෙකින් නොවේ යයි වචන දමා ගසයි. උච්ඡෙදවාදයත් නොවේ යයි වික්ෂේප කෙරෙත්. සත්ත්ව තෙම මරණින් මතු නොවන්නේත් නොවේ දැයි කියූ තර්ක වාදයත් ප්‍රතික්ෂේප කොට දමාගසයි. මෙය පළමුවන අමරා වික්ෂේපය නම්.

(14) ඇතැම් කෙනෙක් මේ කුසලය මේ අකුසලය යයි තත් වූ පරිද්දෙන් නො දත් හෙයින් මෙය කුසලය මෙය අකුසලය යයි ප්‍රකාශ කෙළේ නම් එයින් මට ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ පටිඝයක් හෝ වෙයි. එයින් උපාදානය වෙයි. එහෙයින් ම දුක්වන්නේය. සගමොක් දෙකට ද අන්තරාය වන්නේය යි මෙසේ උපාදාන භීතියෙන්, උපාදානයට පිළිකුල් කිරීමෙන් මෙය කුසල්ය මෙය අකුසල් යයි නොකියා එසේ දැයි ඇසූ කල මට එසේ නොවෙයි කියා ද එපරිද්දෙන් දැයි ඇසූ කල මට එසේත් නොවේ යයි කියාද අන් පරිද්දෙකින් දැයි ඇසූ කල එසේත් නොවේ යයි කියා ද නැතැයි දැයි ඇසූ කල්හි නැත කියාත් නොවෙයි කියාද නැත්තේත් නොවේ දැයි ඇසූ කල්හි මට නැත්තේ නොවන්නේත් නොවෙයි කියා ද මෙසේ කෙළවරක් නැති වික්ෂේපයට පැමිණෙයි. මෙය ද එක් අමරා වික්ෂේපයෙකි.

(15) ඇතැම් කෙනෙක් මෙය කුසලය මෙය අකුසලය යයි තත්වූ පරිද්දෙන් නොදත් හෙයින් මෙය කුසලය මෙය අකුසලය යයි ඉදින් ප්‍රකාශ කෙළේ වී නම් තියුණු නුවණ ඇති පණ්ඩිත ජනයා විසින් ඒ පිළිබඳව ප්‍රශ්න කෙළේ නම් මට පීඩා වන්නේය. එයින් සගමොක් දෙකට අන්තරාය වන්නේ යයි අනුයෝග භීතියෙන් ලජ්ජායෙන් කුසලා කුසලයන් ප්‍රකාශ නොකරන්නේය. ප්‍රශ්න ඇසූ කල්හි මෙසේත් මට නැත්තේය. එසේත් මට නැත්තේය. අන් පරිද්දෙනුත් මට නැත්තේය. මට නැත්තේත් නොවේ ය. නැත්තේ නොවන්නේත් නොවේය යනාදි වචනයෙන් දමා ගැසී මෙන් අමරා වික්ෂේපයට පැමිණෙත්.

(16) ඇතැම් කෙනෙක් මඳවූ නුවණ ඇති හෙයින් මූඪ වෙයි. හෙතෙම පරලොවක් ඇත්තේ දැයි විචාළෙහි නම්, පරලොව ඇතැයි මට අදහස් වී නම් පරලොවක් ඇතැයි මෙසේ තට ප්‍රකාශ කරන්නෙමි. මට එසේත් නොවෙයි එපරිද්දෙනුත් නොවෙයි, අන් පරිද්දෙනුත් නොවෙයි. මට නැත්තේත් නොවෙයි, නැත්තේ නොවන්නේත් නොවෙයි. කියා ද එසේම ඕපපාතික සත්ත්වයන් පිළිබඳව ද කුසලා කුසල කර්මයන්ගේ ඵලය හා අනුසස් පිළිබඳවද ඒ පිළිවෙලින්ම අමරා වික්ෂේප වාද ඇත්තෝ වෙත්.

  1. අධිච්ච සමුප්පන්න වාද දෙක—හෙවත් නිෂ්කාරණයේ උපදවා ගත් වාද දෙක.

(17) ඇතැම් කෙනෙක් රූපස්කන්ධ මාත්‍රයෙන් අසංඥසත්ත්ව යෙහි මහා කල්ප පන්සියයක් වැස එයින් චුතව මිනිසත් බැව් ලබා පසු කලෙක ධ්‍යාන වඩා පෙර විසූ අසංඥසත්ත්වය දැක, මම පෙර නුවූයෙමි, ඒ මම පෙර නොවී දැන් සත්ත්ව ස්වභාවය පිණිස පැමිණියෙමි යි ආත්මයත් ලෝකයත් නිකරුණේ උපන්නක් යයි පණවත්.

(18) ඇතැම් කෙනෙක් ස්වකීය තර්ක වාදයෙන් විමසා තමාගේ වැටහීමට අනුව ආත්මය ද, ලෝකයද නිෂ්කාරණයේ උපන්නේ යයි ලබ්ධි ගනී.

6. සොළොස් ප්‍රකාර සංඥාවාදය

(19) ඇතැම් කෙනෙක් කසිණ රූපය ඇත්තේ ආත්මය වේ. මරණින් මතු නිත්‍ය කසිණ රූපයෙහි පැවැති සංඥාව යයි ගෙන හෝ රූපය ආත්මය වේ යයි කියා හෝ එහි පැවැති සංඥාව, සංඥාව යයි කියා ද පණවත්. මරණින් මතු නිත්‍යය යන සංඥාව ඇත්තාහු එය පණවත්.

(20) අරූප සමාපත්තියෙහි නිමිත්ත ආත්මය යයි ගෙන හෝ සමාපත්ති සංඥාව සංඥාව යයි ගෙන හෝ තර්ක මාත්‍රයකින්ම හෝ අරූපය ආත්මය වේ යයි එහි පැවැති සංඥාව, සංඥාව යයි පණවත්.

  1. රූප ඇත්තේ ද, රූප නැත්තේ ද ආත්මය වෙයි.
  2. රූප නැත්තේත් අරූපනැත්තේත් ආත්මය වෙයි.
  3. අන්ත ඇත්තක් වූයේ ආත්මය වෙයි.
  4. අන්ත නැත්තක් වූයේ ආත්මය වෙයි.
  5. අන්ත ඇත්තක් වූයේ ද අන්ත නැත්තක් වූයේ ද ආත්මය වෙයි.
  6. අන්ත ඇත්තක් නුවූයේද, අන්ත නැත්තක් නුවූයේද ආත්මය වෙයි.
  7. ධ්‍යාන සමාපන්නකයාගේ වශයෙන් ඒකත්ව සංඥා ඇත්තේ ආත්මය වෙයි.
  8. අසමාපන්නකයා ගේ වශයෙන් නානත්ව සංඥා ඇත්තේ ආත්මය වෙයි.
  9. පරිත්ත කසිණ වශයෙන් පරිත්තසංඥා ඇත්තේ ආත්මය වෙයි.
  10. විපුල කසිණ වශයෙන් අප්‍රමාණ සංඥා ඇත්තේ ආත්මය වෙයි.
  11. චතුර්ථධ්‍යාන භූමියෙහි ඉපදීම් වශයෙන් ඒකාන්ත සැප ඇත්තේ ආත්මය වෙයි.
  12. නරකයෙහි උත්පත්ති වශයෙන් ඒකාන්ත දුක් ඇත්තේ ආත්මය වෙයි.
  13. මිනිස්ලොව ඉපදීම් වශයෙන් සුවදුක්, ඇත්තේ ආත්මය වෙයි.
  14. වේහප්ඵලයෙහි උපදනාහු දැක සුවදුක් නැත්තේ ආත්මය වෙයි. මෙසේ මරණින් මතු නිත්‍ය සංඥා ඇත්තේ යයි ආත්මය පණවත්.
7. අටවැදෑරුම් අසඤ්ඤීවාදය
  1. රූප ඇත්තේ ආත්මය වේ. මරණින් මතු නිත්‍ය සංඥා නැත්තේ යයි පණවත්.
  2. රූප නැත්තේ ආත්මය වේ.
  3. රූප ඇත්තේ ද, අරූප ඇත්තේ ද ආත්මය වේ.
  4. රූප නැත්තේ ද, අරූප නැත්තේ ද ආත්මය වේ.
  5. අන්තවත් වූයේ ආත්මය වේ.
  6. අනන්තවත් වූයේ ආත්මය වේ.
  7. අන්තවත් වූයේද, අනන්තවත් වූයේද ආත්මය වේ.
  8. අන්තවත් නුවූයේද, අනන්තවත් නුවූයේද ආත්මය වේ. මරණින් මතු නිත්‍ය සංඥා නැත්තේ යයි පණවත්.
8. අට වැදෑරුම් නේවසංඥානාසංඥාවාදය ඇති ආත්මය.
  1. රූප ඇත්තේ ආත්මය වෙයි. මරණින් මතු නිත්‍යය නේවසංඥා නාසංඥා ඇත්තේ යයි පණවත්.
  2. රූප නැත්තේ ද ආත්මය වෙයි.
  3. රූප ඇත්තේ ද රූප නැත්තේ ද ආත්මය වෙයි.
  4. රූප නැත්තේ ද අරූප නැත්තේ ද ආත්මය වෙයි.
  5. අන්ත ඇත්තේ ආත්මය වෙයි.
  6. අන්ත නැත්තේ ආත්මය වෙයි.
  7. අන්ත ඇත්තක් වූයේද, අන්ත නැත්තක් වූයේ ද ආත්මය වෙයි.
  8. අන්තවත් නුවූයේද, අනන්තවත් නුවූයේ ද ආත්මය වෙයි. මරණින් මතු නිත්‍යය. නේවසංඥානාසංඥා ඇත්තේ යයි පණවත්.
9. සප්තවිධ උච්ඡේදවාදය

(51) මේ ආත්මය, රූප ඇත්තක් වූයේ, පෘථිවි ආදි සතර මහා භූතයන් නිසා පවත්නේ, මව් පිය දෙදෙනාගෙන් උපන්නේ මරණින් මතු සිඳීමද, වැනසීමද භවවිගමනය හෙවත් මරණින් මතු නොවන්නේ යයි ද පණවත්.

(52) ඇතැම් කෙනෙක් මේ ආත්මය ඇත්තේය. මෙපමණකින් නොසිදුනේය. අන්‍ය වූ දිව්‍ය ආත්මභාවයක් ඇත්තේය. එය රූප ඇත්තාවූ, කාමාවචරවූ, කබලිංකාරහාරය බුදින්නාවූ ආත්මයකි. ඒ ආත්මය මරණින් මතු සිඳීම ද, වැනසීම ද, මරණින් මතු නොවීමද වේ යයි පණවත්.

(53) ඇතැම් කෙනෙක් ඒ ආත්මය ද ඇත්තේමය. එපමණකින් ආත්මය නොසිදුනේ වේ. ධ්‍යාන සිතින් පහළවූ අඞ්ග ප්‍රත්‍යඞ්ගයන්ගෙන් හා ඉන්ද්‍රියයන් ගෙන්ද සම්පූර්ණ වූ දිව්‍ය ආත්මයක් ඇත්තේ ය. ඒ ආත්මය මරණින් මතු සිඳීමද, වැනසීම ද, නොවීමද වේ යයි පණවත්.

(54) ඇතැම් කෙනෙක් ඒ ආත්මය ද ඇත්තේමය. එපමණකින් ආත්මය නොසිදෙන්නේය. රූපසංඥාවන්ගේ ඉක්මවීම් ආදියෙන් ආකාසානඤ්චායතන තලයට පැමිණියාවූ අන්‍ය ආත්මයක් ද ඇත්තේ ය. ඒ ආත්මය මරණින් මතු සිඳීමද, වැනසීමද, මරණින් මතු නොවීමද වේ යයි පණවත්.

(55) ඇතැම් කෙනෙක්, ඒ ආත්මය ද ඇත්තේමය. එපමණකින් ආත්මය නොසිදෙන්නේය. ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවූ අන්‍ය ආත්මයක් ද ඇත්තේය. ඒ ආත්මය ද, මරණින් මතු සිඳීමද වැනසීමද මරණින් මතු නොවීමද වේ යයි පණවත්.

(56) ඇතැම් කෙනෙක් ඒ ආත්මය ද ඇත්තේමය. එපමණකින් ආත්මය නො සිදෙන්නේය. විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන තලයට පැමිණියාවූ අන්‍ය වූ ආත්මයක් ද ඇත්තේය. ඒ ආත්මය ද, මරණින් මතු සිඳීමද වැනසීමද, මරණින් මතු නොවීමද වේ යයි පණවත්.

(57) ඇතැම් කෙනෙක් ඒ ආත්මයද ඇත්තේමය. එපමණ කින් ආත්මය නොසිදෙන්නේය. ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන තලයට පැමිණියාවූ අන්‍ය වූ ආත්මයක් ද ඇත්තේය. ඒ ආත්මය ද මරණින් මතු සිඳීමද, වැනසීමද, මරණින් මතු නොවීමද වේ යයි පණවත්.

10. පඤ්චවිධ දිට්ඨධම්ම නිබ්බාණ වාදය

(58) ඇතැම් කෙනෙක්, මේ ආත්මය, පස්කම් කොටසින් මනාව පිහිටා සමඟම හැසිරෙයි. මෙපමණකින් ම මේ ආත්මය උතුම් දිට්ඨධම්ම නිබ්බාණයට පැමිණියේ වේ යයි මෙසේ විද්‍යමාන සත්ත්වයා සම්බන්ධවම දිට්ඨධම්ම නිබ්බාණය පණවත්.

(59) ඇතැම් කෙනෙක් මේ ආත්මයද ඇත්තේමය. ඒ ආත්මය මෙපමණකින්ම දිට්ඨධම්ම නිබ්බාණයට පැමිණියේ නො වෙයි. පඤ්චකාමය අනිත්‍යය, දුකය, එහෙයින් ශෝකයද වැලපීමද කායික දුක්ඛයද මානසික දුක්ඛයද, උපායාසයද උපදිත්. ඉදින් මේ ආත්මය කාමයන් ගෙන් වෙන්ව ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ඒ ආත්මය දිට්ඨධම්ම නිබ්බාණයට පැමිණියේ වේ යයි පණවත්.

(60) ඇතැම් කෙනෙක් ඒ ආත්මය ද ඇත්තේමය. මෙපමණ කින් එය දිට්ඨ ධම්ම නිබ්බාණයට පැමිණියේ නොවෙයි. විතක්ක විචාර යන ඖදාරික අඞ්ග දෙකින් යුක්ත හෙයින් ප්‍රථමධ්‍යානය ඖදාරිකව වැටහේ. ඉදින් විතක්ක විචාරයන් රහිතවූ ද්විතීය ධ්‍යානයට පැමිණ වෙසේ ද, ඒ ආත්මය දිට්ඨ ධම්ම නිබ්බාණයට පැමිණියේ වේ යයි පණවත්.

(61) ඇතැම් කෙනෙක් ඒ ආත්මය ද ඇත්තේමය. මෙපමණ කින් ඒ ආත්මය දිට්ඨධම්ම නිබ්බාණයට පැමිණියේ නොවෙයි. ඒ ද්විතීය ධ්‍යානය පීති නම් වූ ඖදාරික අඞ්ගයෙන් යුක්ත හෙයින් ඖදාරිකය. ඉදින් ප්‍රීති විරාගය හේතු කොට ගෙන තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේ ද, ඒ ආත්මය දිට්ඨධම්ම නිබ්බාණයට පැමිණියේ වේ යයි පණවත්.

(62) ඇතැම් කෙනෙක් ඒ ආත්මයද ඇත්තේමය. මෙපමණකින් ඒ ආත්මය දිට්ඨධම්ම නිබ්බාණයට පැමිණියේ නොවෙයිඒ තෘතියධ්‍යානය සැපය ඇති හෙයින් ඖදාරිකය. මේ ආත්මය සුඛය ප්‍රහාණය කිරීමෙන් චතුර්ධ්‍යානයට පැමිණ වෙසේ ද එපමණකින් ඒ ආත්මය දිට්ඨ ධම්ම නිබ්බාණයට පැමිණියේ වේ යයි පණවත්.

තවද නියත මිථ්‍යාදෘෂ්ටිය, අනියත මිථ්‍යාදෘෂ්ටිය, වශයෙන් මිථ්‍යාදෘෂ්ටිය දෙවැදෑරුම් වේ. එයින් නියත මිථ්‍යාදෘෂ්ටිය කර්ම පථයක් වන්නේය.

නියතමිථ්‍යාදෘෂ්ටිය ත්‍රිවිධාකාර වේ. එනම්:—

  1. මේ ලෝකය හා සත්ත්වයෝත් අහේතුකව හටගනිත්ය යන අහේතුක දෘෂ්ටිය ද,
  2. කුසල කර්මයෙහි කුසල විපාකයෙකුත්, අකුසල කර්මයෙහි අකුසල විපාකයෙකුත් නැතැයි යනාදී වශයෙන් ගන්නාවූ නාස්තික දෘෂ්ටිය ද,
  3. මරණින් මත්තෙහි ඉපදීමෙක් නැත. බුද්ධාදි උතුමන් කෙරෙහි පැවැත්විය යුතු සිරිත් විරිත් ආදීවූ ක්‍රියාවක් නැතැයි යනාදී වශයෙන් ගන්නාවූ අකිරිය දෘෂ්ටිය ද වේ.

මේ හැර සක්කායදෘෂ්ටි ආදීවූ අවශේෂ දෘෂ්ටීහු මිථ්‍යා දෘෂ්ටි කර්ම නම් වෙත්.

නියත මිථ්‍යාදෘෂ්ටි ගත් පුද්ගල තෙමේ මරණින් මතු එකාන්තයෙන්ම නිරය ගතවී කල්ප විනාශයේදී වැනසෙන්නාවූ කෙළ ලක්ෂයක් සක්වළවල් වලින් පිට සක්වළෙක්හි ඉපිද අති දීර්ඝ කාලයක් දුක් විඳින්නේය.

තවද පස්කම් සැප අනුභව කිරීමෙහි දොසක් නැත යනාදී වශයෙන් ද, යහපත් රූප දැකීම මඞ්ගල්‍යයෙක, අයහපත් රූප දැකීම අවමඞ්ගල්‍යයෙක, ගමන් යාමේදී යහපත් අරමුණු ඉදිරියට සම්භවීම මඞ්ගල්‍යයෙක, අයහපත් අරමුණු සම්භවීම අවමඞ්ගල්‍යයෙක යනාදී දිට්ඨ මඞ්ගල්‍යයක් හෝ, යහපත් ශබ්ද ඇසීම මඞ්ගල්‍යයෙක, අයහපත් ශබ්ද ඇසීම අවමඞ්ගල්‍යයෙක, යනාදී වශයෙන් ගන්නා සුත මඞ්ගල්‍යයක් හෝ, යහපත් සුවඳ, මල්, වස්ත්‍රාදිය පැළඳීම, කිරි ගිතෙල් ආදිය අනුභව කිරීම මඞ්ගල්‍යයෙක යනාදී වශයෙන් ගන්නා මුත මඞ්ගල්‍යයක් හෝ, යහපත් වාහනාදියෙන් ගමන් කිරීම සුභ යයි යනාදි වශයෙන් ගන්නා විඤ්ඤාත මඞ්ගල්‍යයෙක් හෝ කර්ම විපාකයෙන් තොරව යහපත් නැකැත්, මුහුර්තාදිය නිසා හෝ යහපත් ග්‍රහ දශාදිය නිසා හෝ සුභ ඵල ලැබෙන්නේ යයි ගැණීමද, බලි, බිලි, ග්‍රහ හෝම ග්‍රහ ශාන්ති ආදියෙන් යහපත් විපාක ලැබෙන්නේ යයි ද, යනාදී වශයෙන් ඇදහීම මිථ්‍යා දෘෂ්ටියට ඇතුළත් වේ.

මිථ්‍යාදෘෂ්ටි අකුසල කර්මයද අභිද්ධ්‍යාව මෙන් ලෝභමූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතරෙහිම ලැබෙන්නේය.

මේ දස අකුසල කර්මපථයන් අතුරෙන් පාණාතිපාත, ඵරුසා වාචා සහ ව්‍යාපාද යන අකුසලයෝ තුන්දෙනා, ද්වේෂ මූලික සිතින්ම උපදනාහුය. විකල්ප වශයෙන් මෝහ සමුට්ඨාන ද්වේෂ මූල සිතින්ද උපදිත්. නව ආඝාත වස්තුන් හේතු කොට ගෙණ ප්‍රාණඝාතය, ඵරුෂ වචන කීම, ව්‍යාපාදය යන අකුසල කර්මයන් කරන්නේ වීනම් ඒ අකුසලය ද්වේෂ මූල සිතින්ම හටගන්නේය. මෝහය හේතු කොටගෙණ ආදිනව නොදැන ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් කරන්නේවීනම් ඒ අකුසලය මෝහ සමුට්ඨාන ද්වේෂමූලික සිතින් වන්නේය.

මෙසේ කාම මිථ්‍යාචාරය, අභිද්ධ්‍යාව සහ මිථ්‍යාදෘෂ්ටිය යන අකුසල කර්ම තුන ලෝභමූලික සිතින් හෝ මෝහ පච්චය ලෝභ මූල සිතින් හෝ හටගන්නා බව දතයුතුයි.

අදින්නාදාන, මුසාවාද, පිසුණාවාචා, සම්ඵප්පලාප යන අකුසල් සතර ද ලෝභමූල සිතකින් හෝ ද්වේෂමූල සිතකින් හෝ සිදු වන්නාහ. විකල්පයෙන් පළමු කී පරිදි මෝහ පච්චය ලෝභමූල සිතින් ද, මෝහ පච්චය ද්වේෂ මූල සිතින්ද සිදුවන්නාහ.