අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අපචායනය

බුද්ධ, ධම්ම, සඞ්ඝ යන රත්නත්‍රය කෙරෙහි ද, මව්පිය වැඩි හිටියන් කෙරෙහි ද, ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් කෙරෙහි ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි ද, අනිකුත් පිදිය යුත්තන් කෙරෙහිද ලාභ සත්කාරාදිය අපෙක්ෂා නොකොට, කිලිටි නොවූ සිතින්, කරුණාධ්‍යාශයෙන් යුක්තව, දැක හුනස්නෙන් නැගී සිටීමය, ආචාර කිරීම, වන්දනාමානාදිය කිරීම යනාදී යහපත් පැවතුම් ඇතියවුන් හට, ඒ පිළිබඳව උපදනා කුසල් ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනා වෝ අපචායන කුසල කර්ම නම් වෙත්. ශිෂ්ට සම්පන්න දෙමාපියන් වැඩිහිටියන් ඇසුරු කරමින් වන්දනමානනාදී නොයෙක් යහපත් ගති පැවැතුම් පුරුදු කළ කුඩා දරුවන්හට ද, එහි අනුසස් නො දන්නේ වී නමුත් කුසල් සිත්ම පහළ වන්නේය. සිහි නුවණින් යුක්තව අනුසස් මෙනෙහි කරමින් අපචායන කුසල කර්ම සිද්ධ කරන්නාවූ කල්හි ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත් පහළ වෙත්.

මේ අපචායන කුසල කර්මය චාරිත්‍ර සීලයක් වන බැවින් දාන, සීල, භාවනා යන ත්‍රිවිධ කුසල කර්මයන් අතුරෙන් සීලමය කුසල කර්මයට ඇතුළත් වේ.