පත්තානුමෝදනය
අනුන් විසින් පත්තිදාන වශයෙන් පමුණුවන ලද කුසලය හෙවත් දෙනලද පින අනුමෝදන්වීම පත්තානුමෝදනා නම් වේ. මෙසේ අනුමෝදන් වීමේදී පමුණුවන ලද එම කුසල චේතනා තම සිත් සතන්හි පහළ වීමේදී උපදනා ජවන් සිත්හි සම්ප්රයුක්ත චේතනාවෝ පත්තානුමෝදනා කුසල කර්ම නම් වෙත්. සිහි නුවණින් යුක්තව, පිරිසුදු සිතින් පින්ඵල අදහා පින් අනුමෝදන් වන්නා හට තමන් විසින් සිද්ධ කරගන්නා ලද කුසල කර්මයක් මෙන්ම කුසල් සිදු වන්නේ ය. පුණ්යකර්මය සිද්ධ කරගන්නාවූ අවස්ථාවේදී ඒ පුද්ගලයා හට පහළ වූ කුසල් සිත් තම සිත් සතන්හි පහළවන කල්හිම පත්තානුමෝදනා කර්මය සිද්ධ වන්නේය. යමෙක් පින සිද්ධකරගත් සැටි විස්තර නොකොට පින් අනුමෝදන් වන්නැයි කී පමණින් අනුමෝදන් වන තැනැත්තා ගේ සිතෙහි එම කුසල චේතනා හට ගන්නට නුපුළුවන් බැවින් පත්තානුමෝදනා කුසල කර්මය සම්පූර්ණ නොවන්නේය. මේ පත්තානුමෝදනාවද දානමය කුසල කර්මයට ඇතුළත් වන්නේය.