අභිධර්මාර්ථ ප්‍රදීපිකා

1. බුද්ධානුස්සතිය

බුද්ධානුස්සතිය වඩනු කැමති යෝගාවචරතෙම අචල ශ්‍රද්ධායෙන් යුක්තව යට දක්වන ලද පරිදි සුදුසු සේනාසනයක විවේකව හිඳ “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්ම සාරථී සත්‍ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති” යනාදී වශයෙන් බුදු ගුණ සිහි කළ යුතු යි. මෙයින් ප්‍රධාන වශයෙන් බුදුගුණ නවයක් ප්‍රකාශ වේ. ඒ නවය නම්:-

  1. සො භගවා ඉතිපි අරහං - ඒ භාග්‍යවතුන්වහන්සේ මේ මේ කාරණයෙන් අර්හත් නම් වන සේක.
  2. ඉතිපි සම්මාසම්බුද්ධො - මේ මේ කාරණයෙන් සම්‍යක්සම්බුද්ධ නම් වන සේක.
  3. ඉතිපි විජ්ජාචරණ සම්පන්නො - මේ මේ කාරණයෙන් විද්‍යාචරණසම්පන්න නම් වන සේක.
  4. ඉතිපි සුගතො - මේ මේ කාරණයෙන් සුගත නම් වන සේක.
  5. ඉතිපි ලොකවිදූ - මේ මේ කාරණයෙන් ලොකවිදූ නම් වන සේක.
  6. ඉතිපි අනුත්තරො පුරිසදම්මසාරථී - මේ මේ කාරණයෙන් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.
  7. ඉතිපි සත්‍ථා දෙමනුස්සානං - මේ මේ කාරණයෙන් දෙව් - මිනිසුන්ට ශාස්තෘ නම් වන සේක.
  8. ඉතිපි බුද්ධො - මේ මේ කාරණයෙන් බුද්ධ නම් වන සේක.
  9. ඉතිපි භගවා - මේ මේ කාරණයෙන් භගවත් නම් වන සේක.

මෙසේ මේ නවවිධ බුද්ධ ගුණයන් නම් වශයෙන් ඉගෙන නැවත විස්තර වශයෙන් ද දත යුතු.