අභිධර්මාර්ථ ප්‍රදීපිකා

4. සුගත නම් වූ ගුණය

භාග්‍යවතුන්වහන්සේ:-

  1. සෝභන ගමන් ඇති බැවින් ද,
  2. සුන්‍දර තැනට ගිය බැවින් ද,
  3. මනා කොට ගිය බැවින් ද,
  4. මනා තෙපුල් ඇති බැවින් ද සුගත නම් වන සේක.

භාග්‍යවතුන්වහන්සේ ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත වූ ගමනින් නිවනට පිවිසි සේක. ඒ ගමන ඉතා සෝභන බැවින් ද, පිරිසුදු බැවින් ද, නිරවද්‍ය බැවින් ද, ශෝභන ගමන යයි කියනු ලැබේ. එහෙයින් සුගත නම් වන සේක.

තවද, භාග්‍යවතුන්වහන්සේ නිර්‍වාණ සඞ්ඛ්‍යාත සුන්දර තැනට ගිය බැවින් ද සුගත නම් වන සේක.

බුදුන්වහන්සේ නිර්‍වාණ සඞ්ඛ්‍යාත සුන්දර තැනට මනා කොට ගිය සේක. සෝවාන් ආදී සතර මාර්‍ගයෙන් ප්‍රහීණ ක්ලේශයන් කරා පෙරලා නොගිය සේක. දීපංකර පාද මූලයේ සිට බෝමැඩදී බුද්ධත්ත්‍වය ලබන තෙක් සමත්‍රිංසත් පාරමී සඞ්ඛ්‍යාත සම්‍යක් ප්‍රතිපත්තියෙන් ලෝක සත්ත්‍වයා හට හිතසුව එළවමින්, ශාශ්වත-උච්ඡේද වශයෙන් හෝ කාමසුඛල්ලිකානුයෝග, අත්තකිලමථානුයෝග වශයෙන් හෝ අන්ත දෙකට නොපැමිණ ගිය හෙයින් සුගත නම් වන සේක. භාග්‍යවතුන්වහන්සේ යුතුතන්හි යුතුවූ ම තෙපුල් තෙපලන හෙයින් සුගත නම් වන සේක.

යම් වචනයක් අසත්‍ය ද, අනර්‍ත්‍ථයෙන් යුක්ත ද, අනුනට අප්‍රියය ද, එබඳු වචන නො වදාරණ සේක.

යම් වචනයක් සත්‍යය ද, අර්‍ත්‍ථයෙන් යුක්ත ද, අනුනට අප්‍රිය ය ද එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක.

යම් වචනයක් අසත්‍යය ද, අනර්‍ත්‍ථයෙන් යුක්ත ද, අනුනට ප්‍රිය වේද, එබඳු වචන නො වදාරණ සේක.

යම් වචනයක් සත්‍යය ද, අර්‍ත්‍ථයෙන් යුක්ත ද, අනුනට ප්‍රිය වේද, එබඳු වචන කීමෙහි කාලය දන්නා සේක.

මෙසේ මනා තෙපුල් ඇති හෙයින් භාග්‍යවතුන්වහන්සේ සුගත නම් වන සේක.