අභිධර්මාර්ථ ප්‍රදීපිකා

7. සත්‍ථා දෙවමනුස්සානං නම් වූ ගුණය

භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන්ට, දිට්ඨධම්මික හෙවත් මෙලොව අර්ථය පිණිස ද, සම්පරායික හෙවත් පරලොවින් වන අර්ථය පිණිස ද, පරමත්‍ථ හෙවත් නිර්‍වාණ ප්‍රතිලාභය පිණිස ද අනුශාසනා කරන හෙයින් සත්‍ථා දෙවමනුස්සානං නම් වන සේක. බුදුන්වහන්සේ භව්‍ය පුද්ගලයන් වූ දෙව්මිනිසුන්ට පමණක් නොව තිරිසන් සත්ත්‍වයන්ට ද මතුඅත්බැවෙක්හි මාර්ග ප්‍රතිලාභය පිණිස දහම් දෙසූ සේක. බුදුරජාණන් වහන්සේ ගග්ගරා නම් පොකුණුතෙර චම්පා නගර වාසීන්ට දහම් දෙසන කල්හි උන්වහන්සේගේ ස්වරයෙහි නිමිත්ත ගෙන සිටි එක්තරා මැඩියෙකුගේ හිස නොදැනුවත්වම ගොපලුවෙකුගේ දඬු කෙළවර ඇනී කලුරිය කෙළෙන්, ඒ ධර්‍මස්වරයෙහි ගත් ප්‍රසාදයෙන් තව්තිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනෙක මණ්ඩුක දෙවපුත්ත නමින් ඉපිද තම දෙව් සැපතට හේතුව බලා විමනත් සමඟ අවුත් බුදුන් වැඳ බණ අසා සෝවාන් වූයේය. මේ ආදී කරුණු හේතු කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ සත්‍ථාදෙවමනුස්සානං වන සේක.