අභිධර්මාර්ථ ප්‍රදීපිකා

9. භගවා නම් වූ ගුණය

භාග්‍යවතුන් වහන්සේ ශ්‍රෙෂ්ඨ බැවින් ද, උත්තම බැවින් ද, ගෞරවයෙන් යුක්ත බැවින් ද භගවත් නම් වන සේක. මේ භගවත් යන නාමය ගුණ නෙමිත්තක වශයෙන් හෙවත් ගුණය නිමිති කොට ලත් නාමයකි.

තව ද, ඒ තිලෝගුරු වූ බුදුරජාණන් වහන්සේ ඓශ්වර්‍ය්‍යාදී භේද ඇති භග ධර්‍ම ඇති හෙයින් ද, පන්ත සේනාසනාදිය භජනය කළ හෙයින් ද, අර්ථ, ධර්‍ම, විමුක්ති රස භාග ඇති හෙයින් ද, ලෞකික ලෝකෝත්තර ධර්‍ම විභාග කළ හෙයින් ද, රාගාදිය භේද කළ හෙයින් ද, භාග්‍ය ඇති හෙයින් ද, කාය භාවනාදී අනේක භාවනා ක්‍රමයෙන් වඩන ලද සිත් ඇති හෙයින් ද, භවයෙහි අන්තයට ගිය හෙයින් ද, භගවත් නම් වන සේක. තවද:-

  1. ලෞකික ලෝකෝත්තර සැප නිපදවන දාන, සීලාදී පාරමී භාවයට පැමිණි කුසල් ඇති හෙයින් භාග්‍ය ඇත්තේනුයි භගවත් නම් වන සේක.
  2. අනේකවිධ වූ ක්ලේශයන් බින්දේනුයි භගවත් නම් වන සේක. රාග, දෝෂ, මෝහ, නිත්‍යමනස්කාර, සුඛ මනස්කාර, ආත්ම මනස්කාර යනාදී ක්ලේශයෝ ද,

අහිරික - අනෝත්තප්පය; කෝධ - උපනාහ; මක්ඛ - පලාස; ඉස්සා - මච්ඡරිය; මායා - සාඨෙය්‍ය; ථම්භ - සාරම්භ; මාන - අතිමාන; මද - පමාද; තණ්හා - අවිජ්ජා යනාදී ක්ලේශයෝ ද,

ලෝභ අකුසල මූල, ද්වේෂ අකුසල මූල, මෝහ අකුසල මූල, කාය දුශ්චරිත, වාග් දුශ්චරිත, මනෝ දුශ්චරිත, තණ්හා සංක්ලේශ, දිට්ඨි සංක්ලේශ, මාන සංක්ලේශ, රාගමල, ද්වේෂ මල, මෝහමල, රාගවිෂම, ද්වේෂවිෂම, මෝහවිෂම, කාම සංඥා, භවසංඥා, විභවසංඥා, කාම විතර්‍ක, ව්‍යාපාදවිතර්‍ක, විහිංසාවිතර්‍ක, තෘෂ්ණා ප්‍රපඤ්ච, දිට්ඨි ප්‍රපඤ්ච, මාන ප්‍රපඤ්ච යනාදී ක්ලේශයෝ ද,

නිත්‍යසංඥා, සුඛසංඥා, ආත්මසංඥා, සුභසංඥා යන චතුර්විධ විපරිත ධර්‍මයෝය, කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන චතුරාශ්‍රවයෝ ය, අභිධ්‍යා, ව්‍යාපාද, සීලබ්බතපරාමාස ඉදංසච්චාභිනිවෙස යන චතුර්විධ ග්‍රන්‍ථ ද, කාමාදී චතු- රොඝ ද, කාමාදී චතුර්යෝග ද, ඡන්‍දාදී සතර අගතිහු ද, චීවරාදි සිව්පස පිළිබඳ සතරවිධ තෘෂ්ණාවෝ ද; කාම දිට්ඨි, සීලබ්බත, අත්තවාද යන සතර උපාදානයෝය යන ක්ලේශ ධර්‍මයෝ ද.

බුද්ධ, ධම්ම, සඞ්ඝ, ශික්‍ෂා පිළිබඳ සැකය හා සබ්රම්සරුන් කෙරෙහි කිපීම් සඞ්ඛ්‍යාත පඤ්ච චේතෝඛීලයන් ද; කාමයෙහි අවීතරාග, කායයෙහි අවීතරාග, රූපයෙහි අවීතරාග, බඩපුරා කා නිදි සුව විඳීමය. දෙව්සිරි පතා බඹසර විසීම් සඞ්ඛ්‍යාත වූ පඤ්ච විනිබන්‍ධයෝ ද; කාමච්ඡන්‍දාදි පඤ්චනීවරණ ධර්‍මයෝ ද, රූපාභිනන්‍දනාදී පඤ්ච අභිනන්‍දන යන ක්ලේශධර්‍මයෝ ද,

කොධ, මක්ඛ, ඉස්සා, සාඨෙය්‍ය, පාපිච්ඡතා, සන්‍දිට්ඨි පරාමාස යන ෂට්විවාද මූලයෝ ය, රූපතෘෂ්ණාදී ෂට් තෘෂ්ණාවෝ ය යන ක්ලේශ ධර්‍මයෝ ද,

කාමරාග, භවරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, අවිජ්ජා යන සප්ත අනුශය ධර්‍මයෝ ද,

මිච්ඡාදිට්ඨි ආදී අට්ඨමිච්ඡත්තයෝ ද,

තණ්හා, පරියෙසන, ලාභ, විනිච්ඡය, ඡන්‍දරාග, අජ්ඣොසාන, පරිග්ගහ, මච්ඡරිය, ආරක්ඛාධිකරණ යන නව තෘෂ්ණා මූලකයෝ ද,

දස අකුසලයන් හා දස කර්‍මපථයෝ ද,

දෙසැට මිථ්‍යාදෘෂ්ටිහු ය.

අෂ්ටශත තෘෂ්ණා විචරිතයෝ ය යනාදි ඉතා බලවත් නොවූ දරථ ක්ලේශයෝ ද, ඉතා බලවත් වූ පරිදාහ ක්ලේශයෝ ද, සියදහස් ගණන් බින්දේහුයි භගවත් නම් වන සේක.

තවද, පස්මරුන් අතුරෙන්, සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් අනුත්පාද වශයෙන් ක්ලේශමාරයා ද, සමුදය ප්‍රහාණ පරිඥා වශයෙන් ස්කන්ධ මාරයා ද, අප්‍රවෘත්ත කරණ වශයෙන් අභිසංස්කාර මාරයා ද. බලනැසීම් වශයෙන් දෙවපුත්ත මාරයා ද, එසේම මෘත්‍යු මාරයා ද, බින්දේනුයි භගවත් නම් වන සේක.

තවද, භග්න කළ රාග, දොෂ, මෝහ ඇති හෙයින් ද, ආශ්‍රව නැති හෙයින් ද, සියලු පව් බිඳලූ හෙයින් ද භගවත් නම් වන සේක.

මෙහි “භාග්‍යය ඇත්තේ භගවා” යයි කී කල්හි බුදුන්වහන්සේගේ රූපකාය සම්පත්තිය ද, සාමාන්‍ය මහාජනයා විසින් බුහුමන් කරණු ලබන බව ද, ක්‍ෂත්‍රියාදී ගෘහස්ථයන් විසින් එළඹිය යුතු බව ද, එළඹි ගෘහස්ථයන්ගේ කායපීඩා දුරු කිරීමෙහි පොහොසත් බව ද, තමන් කරා එළඹියනට ලෞකික සැප දීමෙහි සමත් බව ද ප්‍රකාශ වේ.

“භග්න ක්ලේශ ඇත්තේ භගවා” යයි කී කල්හි බුදුන්වහන්සේගේ ධර්‍මකාය සම්පත්තිය ද, පරීක්‍ෂක ලෝකයා විසින් බුහුමන් කරණු ලබන බව ද, තාපසාදී ප්‍රව්‍රජිතයන් විසින් එළඹිය යුතු බව ද, එළඹි පැවිද්දන්ගේ චිත්තපීඩා දුරු කිරීමෙහි පොහොසත් බව ද, තමන් කරා එළඹියනට ලෝකෝත්තර සැප දීමෙහි සමත් බව ද ප්‍රකාශ වේ.

  1. භගධර්‍මයන්ගෙන් යුක්ත වූ හෙයින් ද භගවත් නම් වන සේක. භගධර්‍ම නම් ඓශ්වර්‍ය්‍ය, ධර්‍ම, යශස්, ශ්‍රී, කාම, ප්‍රයත්න යන ෂට් ධර්‍මයෝ ය.

ස්වකීය චිත්තයෙහි පරම ඊශ්වරත්‍වය ඇති හෙයින් ද, ලෞකික වූ අණිම, ලඝීම, මහිමාදි ඓශ්වර්‍ය්‍ය හෝ සර්‍වාකාරයෙන් පරිපූර්‍ණව ඇති හෙයින් ද භගවත් නම් වන සේක. මෙහි අණිම නම් කායයාගේ අණු බව, කුඩා බව හෝ ලඝු බවයි. ලඝීම නම් සැහැල්ලු බවයි. මහිම නම් ආකාශයෙහි පදසා ගමනාදීන්හි මහත්ත්‍වයයි. පත්ති නම් ඒ මහිමයෙන් ඉෂ්ට දේශයට පැමිණීමයි. පාකම්ම නම් අධිෂ්ඨානාදී වශයෙන් ඊප්සිත නිෂ්පාදනයයි. ඊසතා යනු තමා වසඟ බව හෝ ඊශ්වර බවයි. යත්‍ථකාමාවසායිතා යනු අහසින් යන්නහුගේ හෝ අන් කිසිවක් කරන්නහුගේ හෝ යම් කිසිතැනෙක නිමාවට පැමිණීමය. මේ අෂ්ටවිධ වූ ලෞකිකයයි සම්මත ඓශ්වර්‍ය්‍යය භාග්‍යවතුන් වහන්සේගේ ඍද්ධිවිධඥානයෙහි ඇතුළත් වේ. මෙසේ ශාසනික වූ හෝ බාහිර වූ හෝ භග සඞ්ඛ්‍යාත ඓශ්වර්‍ය්‍යය ඇති හෙයින් භගවත් නම් වන සේක.

ධර්‍ම නම් ලොකොත්තර ධර්‍මයි.

යශස් නම් විද්‍යමාන ගුණය කරණ කොට ගෙන ලත් තුන්ලෝ පතළා වූ ඉතා පිරිසුදු වූ කීර්තියයි.

ශ්‍රී නම් රූපකාය දැකීමෙහි ව්‍යාවෘත වූ සත්ත්‍වයන්ගේ මනනුවන් පිණවීමෙහි සමත් වූ සර්‍වාකාරයෙන් ම සම්පූර්‍ණ වූ සියළු අඞ්ගප්‍රත්‍යඞ්ග ගත ශෝභාවය.

කාම නම් සිතූපැතූ ආත්මහිත හෝ පරහිත හෝ සියල්ල සිදුවන බැවින් ඉෂ්ටසිද්ධි සඞ්ඛ්‍යාත කාමයයි.

ප්‍රයත්න නම් සියලු ලෝකයාගේ ගෞරවය ලැබීමට හේතු වූ සම්‍යක් ව්‍යායාම සඞ්ඛ්‍යාත උත්සාහයයි.

මෙකී ෂට් භග ධර්‍ම ඇති හෙයින් භගවත් නම් වන සේක.

4. සියලු ධර්‍මයන් කුසලත්‍රිකාදී භේදයෙන් බෙදා දැක්වූ හෙයින් ද භගවත් නම් වන සේක.

භාග්‍යවතුන් වහන්සේ කුසලාදී ධර්‍මයන් ස්කන්‍ධ, ආයතන, ධාතු, සත්‍යය, ඉන්‍ද්‍රියය, පටිච්චසමුප්පාදාදී භේදයෙන් බෙදූ සේක. දුක්ඛසත්‍යය, පීඩන, සඞ්ඛත, සන්තාප, විපරිණාම යන අර්‍ත්‍ථ වශයෙන් ද, සමුදයාර්‍ය්‍ය සත්‍යය, ආයුහන, නිදාන, සංයෝග, පළිබෝධ යන අර්‍ත්‍ථ වශයෙන් ද, නිරොධාර්‍ය්‍ය සත්‍යය, නිස්සරණ, විවේක, අසඞ්ඛත, අමත යන අර්ථ වශයෙන් ද; මාර්ග සත්‍යය, නියාණික, හේතු, දස්සන, ආධිපතෙය්‍ය යන අර්ථ වශයෙන් ද බෙදා විවෘත කොට වදාළ හෙයින් ද භගවා නම් වන සේක.

  1. දිව්‍යවිහරණ, බ්‍රහ්මවිහරණ, ආර්‍ය්‍යවිහරණ යන ත්‍රිවිධ විහරණයන් භජනය කළ හෙයින් ද භගවත් නම් වන සේක, දිව්‍යවිහරණය නම් ධ්‍යානයයි. බ්‍රහ්මවිහරණ නම් මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සතරය. ආර්‍ය්‍යවිහරණ නම් ඵලසමාපත්තියයි.

එසේම කායවිවෙක, චිත්තවිවෙක, උපධිවිවෙක යන ත්‍රිවිධ විවේකයන් භජනය කළ හෙයින් ද භගවත් නම් වන සේක. කායවිවේකය නම් කාමයන් කෙරෙන් වෙන්වූ කාය ඇති බවය. චිත්තවිවේකය නම් ප්‍රථම ධ්‍යානාදී වශයෙන් නීවරණාදීන් කෙරෙන් මිදුනු සිත් ඇති බවය. උපධිවිවේකය නම් ස්කන්‍ධාදී උපධීන් කෙරෙන් වෙන්වීමය.

එසේම සුඤ්ඤත, අප්පණිහිත, අනිමිත්ත යන ත්‍රිවිධ විමෝක්‍ෂයන් භජනය කළ සේක්නුයි භගවත් නම් වන සේක.

අන්‍යවූ ද ලෞකික-ලොකොත්තර උත්තරී මනුෂ්‍යධර්‍ම භජනය කළ හෙයින් ද භගවත් නම් වන සේක.

  1. භවත්‍රයෙහි වමාළ තෘෂ්ණා ගමන් ඇති හෙයින් ද භගවත් නම් වන සේක.

භාග්‍යවතුන්වහන්සේ මෙසේ මේ මේ කාරණයෙන් අර්‍හත් නම් වන සේක. සම්මාසම්බුද්ධ නම් වන සේක. විජ්ජාචරණසම්පන්න නම් වන සේක, සුගත නම් වන සේක, ලොකවිදූ නම් වන සේක, අනුත්තරපුරිසදම්ම- සාරථී නම් වන සේක, සත්‍ථාදෙවමනුස්සානං නම් වන සේක, බුද්ධ නම් වන සේක, භගවා නම් වන සේක යනාදී වශයෙන් බුදුගුණ සිහි කරණ කල්හි, යෝගාවචරයාගේ සිත රාග, ද්වේෂ, මොහාදියෙන් නො පෙළෙයි. සිත ඍජුවෙයි. කාමච්ඡන්‍දාදී නීවරණ ධර්‍මයන් විෂ්කම්භනය වෙත්. විතර්‍ක විචාරයෝ බුදුගුණයටම නැඹුරුව සිටිති. බුදුගුණ විතර්‍කනය කරත්ම, විචාරණය කරත්ම උපචාර ධ්‍යානය ගෙන දෙන බලවත් ප්‍රීතිය උපදී. සිත ප්‍රීතිමත් බැවින්, ප්‍රීතිය ආසන්න කොට ඇති පස්සද්ධියෙන් කාය චිත්ත දරථ සංසිඳෙයි. දරථ සංසිඳීමෙන් කායික වූ ද, චෛතසිකවූ ද සුවය උපදී. සුඛිතවීමෙන් සිත බුදුගුණ අරමුණු කොට ම සමාධිමත් වෙයි. මෙසේ පිළිවෙලින් පැවත එක් ඇසිල්ලෙහි ධ්‍යානාඞ්ග පහළ වෙත්. බුදුගුණ අරමුණු කොට ඇති මේ ධ්‍යානය උපචාර ප්‍රාප්ත ම වේ. අර්‍පණාවට නො පැමිණේ. බුදුගුණයන්ගේ ගැඹුරු බැවින් ද, නානාවිධ වූ බුදුගුණ සිහිකිරීමේ අදහස් පහළ වන බැවින් ද අර්‍පණා ප්‍රාප්ත නොවන බව දත යුතු.