අභිධර්මාර්ථ ප්‍රදීපිකා

6. අනුත්තරො පුරිසදම්මසාරථී නම් වූ ගුණය

භාග්‍යවතුන් වහන්සේ, ශීල ගුණයෙන් ද, සමාධි ගුණයෙන් ද, ප්‍රඥා ගුණයෙන් ද, විමුක්ති ගුණයෙන් ද, විමුක්ති ඥානදර්ශන ගුණයෙන් ද යනාදී සියලු ගුණයෙන් තමන් වහන්සේට වඩා විශිෂ්ටතරවූ කිසිවකු නැති හෙයින් අනුත්තර නම් වන සේක. එසේම එම ගුණයෙන් තමන් වහන්සේ හා සමයක්හු නැති හෙයින් අසම සේක. අසම වූ අතීත බුදුවරයන් වහන්සේ හා සම වූ බැවින් අසමසම නම් වන සේක. තමන්වහන්සේගේ රූපය බඳු ප්‍රතිමා නොකට හැකි බැවින් අප්‍රතිම නම් වන සේක. බුදුන්වහන්සේ වදාළ ධර්‍මය එසේ නොවේයයි පෙරළා ප්‍රතිපක්‍ෂ විය හැකි පුද්ගලයෙකු නැති හෙයින් අප්‍රතිභාග නම් වන සේක. නුඹවහන්සේ නොව මම බුදු යයි කියා සිටිය හැකි ප්‍රතිපක්‍ෂ පුද්ගලයෙකු නැති හෙයින් අප්‍රති- පුද්ගල නම් වන සේක. මෙසේ අපාද වූ හෝ, ද්වීපාද වූ හෝ චතුප්පාද වූ හෝ බහුප්පාද වූ හෝ, රූපී වූ හෝ, අරූපී වූ හෝ, සඤ්ඤී වූ හෝ, අසඤ්ඤී වූ හෝ, නේවසඤ්ඤානාසඤ්ඤී වූ හෝ යම් පමණ සත්ත්‍වකෙනෙක් වෙත් ද භාග්‍යවතුන්වහන්සේ ඒ සියලු සත්ත්‍වයනට අග්‍ර වන හෙයින් ද අනුත්තර නම් වන සේක.

පුරුෂදම්‍යයන් හෙවත් දමනය කටයුතු පුරුෂයන් දමනය කිරීමෙහි, හික්මවීමෙහි සමත් හෙයින් භාග්‍යවතුන් වහන්සේ පුරිසදම්මසාරථී නම් වන සේක. මෙයින් නො දැමුණාවූ ද, දමනය කටයුතු වූ ද තිරිසන් වූ හෝ මනුෂ්‍යවූ හෝ පුරුෂ පුද්ගලයන් දමනය කිරීම, ප්‍රකාශ වේ. හිමවත වසන අපලාල නම් නාරජුය, නාගදිවයින වසන චූලෝදර මහෝදර නාරජුය. හෙළදිව වසන අග්ගිසිඛ ධූමසිඛ නාරජවරුය, ධනපාල හස්තිරාජයාය යන තිරිසන් පුද්ගලයන් දමනය කොට සරණ ශීලයෙහි පිහිටුවා වදාළ සේක. එසේම සච්චක නිගණ්ඨය, අම්බට්ඨ මානවකය, පොක්කරසාති, සොණදණ්ඩ, කූටදත්ත බ්‍රාහ්මණයෝය යනාදී මනුෂ්‍ය පුරුෂයන් ද, ආලවක සුචිරොම, ඛරරොම යක්‍ෂයෝය, සක්දෙව්රජය, බකබ්‍රහ්මය යනාදී අමනුෂ්‍ය පුරුෂයෝ ද, උපායයෙන් දමනය කළ සේක. ඒ දමනය කිරීමත් සියුම් ක්‍රමයෙන් ද, පරුෂ ක්‍රමයෙන් ද, සියුම් වූ ද පරුෂ වූ ද ක්‍රමයෙන් ද කළ සේක.

භාග්‍යවතුන් වහන්සේ අනුත්තර නම් වූ ගුණයෙන් හා පුරිසදම්මසාරථි ගුණයෙන් ද යුක්ත හෙයින් අනුත්තරො පුරිසදම්මසාරථි නම් වන සේක.