1. අරහ නම් වූ ගුණය
භාග්‍යවතුන් වහන්සේ
- කෙලෙසුන් කෙරෙන් දුරුව, ආරකව සිටින හෙයින් ද.
- අරී නම් වූ කෙලෙස් සතුරන් නොහොත් පුණ්යාභිසංස්කාරාදී දැවි නැසූ බැවින් ද.
- ප්‍රත්‍යය ආදියට සුදුසු බැවින් ද.
- පව් කිරීම පිළිබඳව රහස් නැති බැවින් ද, අර්හත් නම් වන සේක.
භාග්‍යවතුන්වහන්සේ, අර්හත් මග නුවණින් සවාසනා සියලු කෙලෙසුන් නැති කිරීමෙන් කෙලෙසුන් කෙරෙන් ඉතා දුරස්ථය, ආරකය. එහෙයින් අරහ නම් වන සේක. තවද ප්‍රඥා නමැති ශස්ත්‍රයෙන් රාගාදී වූ සියලු කෙලෙස් සතුරන් නැසූ හෙයින් ද අර්හත් නම් වන සේක. තවද, සංසාරය රථසකක් වැනි ය. අවිද්‍යාව සහ භවතණ්හාව එහි නාභියය. පුණ්යාභිසංස්කාරාදීහු එහි දැවිය. ජරා මරණ එහි නිම්වලල්ලය. ආශ්‍රව සමුදය නමැති අකුරින් විද, තිභව නමැති රථයෙහි යොදන ලදුව අනාදිමත් කාලයක් මුළුල්ලේ පවත්නේය. තථාගතයන් වහන්සේ ඒ සංසාර නමැති චක්‍රයාගේ, පුණ්‍යාභිසංස්කාරාදිය නමැති අර මහබෝමැඩදී, වීර්ය නමැති පාදයෙන් ශීල නමැති පෘථිවියෙහි පිහිටා, ශ්‍රද්ධා නමැති අතින්, කර්මක්ෂයකරඥාන නමැති පොරොව ගෙන කපා දමන ලද හෙයින් ද අර්හත් නම් වන සේක.
තවද, භාග්‍යවතුන්වහන්සේ ගේ පටිච්චසමුප්පාද ධර්මයන් සර්වාකාරයෙන් දැනීම නම් වූ ධර්මස්ථිතිඥානයෙන්, ඒ ඒ ධර්ම තත්ත්වාකාරයෙන් දැන, ඒ ධර්මයන් කෙරෙන් කළකිරී, එහි නො ඇලී, ඒ සියල්ලෙන් මිදී, ඒ සංසාර චක්‍රයාගේ අර නැසූ හෙයින් ද අර්හත් නම් වන සේක.
තවද, භාග්‍යවතුන්වහන්සේ අග්රදක්ෂිණාර්හ වන බැවින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය ආදී සිව් පසයට ද, සෙසු පූජා විශේෂයන්ට ද අර්හ වන හෙයින් අරහ නම් වන සේක.
තවද, භාග්‍යවතුන්වහන්සේ පව් කිරීමෙහි රහස් නැති හෙයින් ද අරහ නම් වන සේක.
මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ ආදී කාරණයෙන් අර්හත් නම් වන සේකැයි යෝගාවචරයා විසින් මෙනෙහි කළ යුතු.