අභිධර්මාර්ථ ප්‍රදීපිකා

3. විජ්ජාචරණ සම්පන්න නම් වූ ගුණය

භාග්‍යවතුන්වහන්සේ විද්‍යායෙන් ද, චරණයෙන් ද, යුක්ත වන බැවින් විජ්ජාචරණසම්පන්න නම් වන සේක.

මෙහි විද්‍යා නම් ත්‍රිවිද්‍යා හෝ අෂ්ටවිද්‍යාවෝ යි.

ත්‍රිවිද්‍යා නම්:-

  1. පුබ්බේනිවාසානුස්සති ඥානය
  2. දිබ්බචක්ඛු ඥානය
  3. ආසවක්ඛයකර ඥානය.

අෂ්ටවිද්‍යා නම්:—

  1. ඉද්ධිවිධ ඥානය,
  2. දිබ්බසොත ඥානය,
  3. පරවිත්තවිජානන ඥානය,
  4. පුබ්බෙනිවාසානුස්සති ඥානය,
  5. දිබ්බචක්ඛු ඥානය,
  6. ආසවක්ඛයකර ඥානය,
  7. විදර්ශනා ඥානය,
  8. මනොමයසෘද්ධි ඥානය.

චරණ නම් පසළොස්විධ වූ චරණ ධර්මයෝ ය. එනම්:—

  1. සීල සංවරය,
  2. ඉන්‍ද්‍රිය සංවරය,
  3. භොජනයෙහි පමණ දන්නා බවය,
  4. ජාගරියානුයෝගය හෙවත් නිදිවර්ජිතයෙහි යෙදීමය.
  5. ශ්‍රද්ධාව,
  6. හිරිය,
  7. ඔත්තප්පය,
  8. බාහුසච්චය,
  9. විරිය,
  10. සතිය,
  11. ප්‍රඥාය,
  12. රූපාවචර ප්‍රථමධ්‍යානය,
  13. ද්විතීයධ්‍යානය,
  14. තෘතීයධ්‍යානය,
  15. චතුර්‍ත්‍ථධ්‍යානය.

භාග්‍යවතුන්වහන්සේ සර්‍වඥතාඥාන නමැති විද්‍යා සම්පත්තියෙන් ලෝකයාගේ අර්‍ත්‍ථානර්‍ත්‍ථ දැන වදාරණ සේක. චරණසම්පත්තිය කරණ කොට ගෙණ මහා කාරුණිකත්ත්‍වයෙන් අනර්‍ත්‍ථය දුරුකොට අර්‍ත්‍ථයෙහි ම යොදවන සේක. එහෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. බුදුන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන හෙයින් ශ්‍රාවකයන් වහන්සේලා ද සුපටිපන්න වෙති.