5. ලෝකවිදූ නම් වූ ගුණය
භාග්‍යවතුන්වහන්සේ සර්වප්රකාරයෙන් ම ලෝකය දන්නා හෙයින් ලෝකවිදූ නම් වන සේක. බුදුරජාණන් වහන්සේ පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත වූ මේ ලෝකය ස්වභාව වශයෙන් හෙවත් දුක් වශයෙන් දන්නා සේක. ඒ දුකට හේතුව හෙවත් දුක්ඛසමුදය තෘෂ්ණාව යයි ද දන්නා සේක. දුක් ස්වභාවයාගේ නිරුද්ධවීම හෙවත් දුක්ඛනිරෝධය ද දන්නා සේක. ආර්‍ය්‍ය මාර්ගය දුක්ඛ නිරෝධයාගේ උපාය වශයෙන් ද දන්නා සේක.
තවද, භාග්‍යවතුන් වහන්සේ සංස්කාර ලෝක, සත්ත්ව ලෝක, අවකාශ ලෝක යන ත්‍රිවිධ ලෝකය ම දන්නා හෙයින් ද ලෝකවිදූ නම් වන සේක.
ප්‍රත්‍යයයෙන් හටගන්නාවූ ද, ඉන්ද්රියබද්ධ, අනින්‍ද්‍රියබද්ධ වූ සියලු ස්කන්ධයෝ සංස්කාර ලෝක නම් වේ.
ඉන්ද්රියබද්ධ ස්කන්ධයන්ගේ සමූහය ද, සන්තානය ද සත්ත්ව ලෝක නම් වේ.
අනින්‍ද්‍රියබද්ධ රූපාදීන්ගේ සමූහය ද, සන්තානය ද අවකාශ ලොක නම් වේ.
ප්‍රත්‍යයයෙන් පවත්නා සියලු සත්ත්වයෝ ය. නාම - රූප ය, ත්රිවේදනා ය, සතර ආහාරයෝ ය, පඤ්චඋපාදාන ස්කන්ධයෝ ය, අධ්‍යාත්මික ආයතන සය ය, විඥානස්ථිති සත ය, අෂ්ටලොක ධර්මය, නවසත්ත්‍වාවාසය දසආයතනය, දොළොස් ආයතනය, අටළොස් ධාතුහු ය යන මේ සියල්ලම සංස්කාර ලොක නම් වෙති, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්රිලක්ෂණයෙන් යුක්තවූ මේ සංස්කාරයන් දත් හෙයින් ලොකවිදූ නම් වන සේක.
තවද, භාග්‍යවතුන්වහන්සේ සියලු සත්ත්වයන්ගේ ආශය, අනුශය, චරිත, අධිමුක්ති දන්නා හෙයින් ද ලොකවිදූ නම් වන සේක.
පුරුදු කළ පරිදි සිත යම් තැනක හොවී නම් එය ඔහුහට ආශය නම්. ශාශ්වත, උච්ඡේද දෘෂ්ටීහු, වට්ටය ආශ්‍රය කළ පෘථග්ජනයන් ගේ ආශය වේ. අනුලෝම ක්ෂාන්තිය හා යථාභූතඥානය ද විවට්ටය ඇසුරු කළ ශුද්ධ පුද්ගලයන්ගේ ආශය වේ.
මාර්ගඥානයෙන් ප්‍රහීණ නොකළ හෙයින් නිදාසිටින්නාක් මෙන් පවත්නාවූ ද, සුදුසු කරුණක් එළඹි කල්හි නැගී එන්නාවූ රාගාදී සප්ත ක්ලේශයෝ අනුශය නම් වෙත්.
චරිත නම් රාගාදී ෂට්විධ චරිතයන් හා සුචරිත දුශ්චරිත ආදියය.
අධිමුක්තිය නම් හීනාධිමුක්තිය, ප්‍රණීතාධිමුක්තිය යන විධ වූ අධ්‍යාශයයි.
තවද, භාග්‍යවතුන් වහන්සේ අප්පරජක්ඛ, මහාරජක්ඛ තික්ඛින්ද්රිය, ස්වාකාර, ද්වාකාර, සුවිඤ්ඤාපය, දුවිඤ්ඤාපය භව්‍ය, අභව්‍ය සත්ත්වයන් ද දන්නා හෙයින් ලොකවිදූ නම් වන සේක.
උත්සන්න නොවූ රාගාදී කෙලෙස් ඇති පුද්ගලයෝ අප්පරජක්ඛයෝ යි.
උත්සන්නවූ රාගාදී කෙලෙස් ඇත්තෝ මහාරජක්ඛ- යෝය.
තීක්ෂ්ණ වූ ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇති පුද්ගලයෝ තික්- ඛින්ද්රියයෝ යි.
මෘදුවූ ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් ඇති පුද්ගලයෝ මුදින්ද්රියෝ ය.
සුන්දර වූ ආකාර ඇති හෙවත් කල්‍යාණ ප්‍රකෘති ඇති සත්හු ස්වාකාරයෝ ය.
අයහපත් ආකාර ඇති, නරක ප්‍රතිපත්ති ඇති පුද්ගලයෝ ද්වාකාරයෝ යි.
පහසුවෙන් ධර්මය අවබෝධ කරවිය හැකි පුද්ගලයෝ සුවිඤ්ඤාප නම් වෙත්.
පහසුවෙන් ධර්මය හැඟවිය නොහැකි පුද්ගලයෝ දුවිඤ්ඤාපයෝ යි.
කර්මාවරණ, විපාකාවරණ, ක්ලේශාවරණ නැති පුද්ගලයෝ භව්‍ය පුද්ගලයෝ යි.
මෙහි කර්මාවරණ නම් ආනන්තරිය කර්මයෙන් ආවරණය වීමය. විපාකාවරණ නම් අභේතුක, ද්විභේතුක ප්රතිසන්ධි ඇතිවීමය. ක්ලේශාවරණ නම් නියත මිථ්‍යාදෘෂ්ටියයි.
භාග්‍යවතුන් වහන්සේ සත්ත්වලෝකය මෙන් ම අවකාශලෝකය ද දන්නා හෙයින් ලෝකවිදූ නම් වන සේක. එක්තිස් තලයකින් සමන්විත වූ සක්වලවල් අනන්තය. ඒ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක.
මේ ආදී කාරණයෙන් භාග්‍යවතුන් වහන්සේ ලෝකවිදූ නම් වන සේක.