2. සම්මා සම්බුද්ධ නම් වූ ගුණය
භාග්‍යවතුන්වහන්සේ සියලුම ධර්මයන් අවිපරීත කොට, පරෝපදේශ රහිත ව, තමන්වහන්සේ ම අවබෝධ කළ සේක. අභිඥෙය ධර්ම නම් වූ, විශිෂ්ටඥානයෙන් දතයුතු වූ චතුස්සත්‍ය ධර්මයන්, ලක්ෂණ, රස, පච්චුපට්ඨාන, පදට්ඨාන වශයෙන් නොහොත් අභිඥෙය්ය වශයෙන් අවබෝධ කළ සේක. එසේම පරිඥෙය ධර්ම නම් වූ හාත්පසින් දත යුතු වූ දුක්ඛසත්‍යය ද, අනිත්‍යාදී ලක්ෂණ වශයෙන් පිරිසිඳ දත යුතු ධර්ම ද, පරිඥෙය වශයෙන් අවබෝධ කළ සේක. ප්‍රහාතව්‍ය ධර්ම නම් වූ බැහැර කටයුතු තෘෂ්ණා සඞ්ඛ්‍යාත සමුදයසත්‍යය ප්‍රහාතව්‍ය වශයෙන් අවබෝධ කළ සේක. සාක්ෂාත් කරණීය ධර්ම නම් වූ ප්රත්යක්ෂ වශයෙන් දැක්ක යුතු නිර්වාණ සඞ්ඛ්‍යාත නිරෝධ සත්‍යය සාක්ෂාත් කරණීය වශයෙන් අවබෝධ කළ සේක. භාවිතව්‍ය ධර්ම නම් වූ වැඩිය යුතු වූ මාර්ග සත්‍යය භාවිතව්‍ය වශයෙන් අවබෝධ කළ සේක. එහෙයින් භාග්‍යවතුන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් වන සේක.
තවද, භාග්‍යවතුන්වහන්සේ, චක්ෂුරායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන අධ්‍යාත්මික ආයතනයෝ දුක්ඛ සත්‍යය යයි ද, ඒ ආයතනයන් උපදවීමට මූලකාරණය වූ තෘෂ්ණාව සමුදය සත්‍යය යයි ද, ඒ ආයතන, තණ්හා යන දෙක්හිම නො පැවැත්ම නිරෝධ සත්‍යය යයි ද, නිරෝධය ප්‍රතිවේධ කරණ ප්‍රතිපදාව මාර්ග සත්‍යය යයි ද තමන් වහන්සේම අවබෝධ කළ සේක.
මෙසේ ම රූපාදී වූ බාහිර ආයතන සය ද, චක්ඛුවිඤ්ඤාණාදී විඤ්ඤාණ කාය සය ද, චක්ඛුසම්ඵස්සාදී ඵස්ස සය ද, චක්ඛුසම්ඵස්සජ වෙදනාදී වෙදනා සය ද, රූප සඤ්ඤාදී සඤ්ඤා සය ද, රූපසඤ්චෙතනාදී චෙතනා සය ද, රූපතණ්හාදී තෘෂ්ණා සය ද, රූපවිතර්කාදී විතර්ක සය ද, රූපවිචාරාදී විචාර සය ද, රූපක්ඛන්ධාදී පඤ්චස්කන්ධ ද, දස කසිණ ද, දස අනුස්සති ද, උද්ධුමාතකාදී දස අසුභ ද, කෙසාදී දෙතිස්කුණප ද, චක්ඛුධාතු ආදී අටලොස්ධාතුහු ද, කාම භවාදි නව භව ද, ප්‍රථමධ්‍යානාදී ධ්‍යාන සතර ද, මෙත්තාදී සතර අප්පමඤ්ඤා ද, ආකාසානඤ්චායතනාදී අරූප සමාපත්ති සතර ද, ප්‍රතිලොම වශයෙන් ජරා - මරණාදී වූ ද, අනුලොම වශයෙන් අවිද්‍යාදී වූ ද, පටිච්චසමුප්පාදාඞ්ගයෝ ද, දුක්ඛසත්‍ය යයි ද, ඒ ඒ ධර්මයන්ගේ ඉපැද්මට මූල හේතුව සමුදය සත්‍යය යයි ද, ඒ ඵලයාගේ හා හේතුවගේ ද නොපැවැත්ම නිරෝධ සත්‍යය යයි ද, නිරෝධ ප්‍රතිවේධය කරණ ප්‍රතිපදාව මාර්ග සත්‍යය යයි ද තමන්වහන්සේම අවබෝධ කළ හෙයින් සම්මා සම්බුද්ධ නම් වන සේක.