සහස්සමපි චෙ වාචා අනත්‍ථපදසංහිතා
එකං අත්‍ථපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති.
(ආකාශවර්‍ණනාදි) අනර්‍ත්‍ථපදයෙන් යුත් (අවැඩ කොටසින් යුත්) තෙපුල්හු දහසක් නුමුදු උතුම් නො වෙති. යම් (පංචස්කන්‍ධාදි වූ) එක් අර්‍ත්‍ථපදයකුදු අසා පුගුල් තෙම (කෙලෙස් සංහිඳීමෙන්) සන්හිඳේ ද, එසේ වූ (නිර්‍වාණ ප්‍රතිසංයුක්ත වූ, ස්කන්‍ධාදිය ප්‍රකාශ කරන) අර්‍ත්‍ථසාධක එක් පදය පවා උතුමි.
සහස්සමපි චෙ ගාථා අනත්‍ථපදසංහිතා
එකං ගාථාපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති.
අනර්‍ත්‍ථපදයෙන් යුත් ගාථා දහසක් වූ නමුදු ඔහු උතුම් නො වෙති. යම් එක් ගාථාපදයකුදු අසා පුගුල් තෙම (කෙලෙස් සංහිඳී-මෙන්) සංහිඳේ ද, එසේ වූ එක් ගාථාපදය ම උතුමි.
යො චෙ ගාථාසතං භාසෙ අනත්‍ථපදසංහිතං
එකං ධම්මපදං සෙය්‍යො යං සුත්‍වා උපසම්මති.
යමෙක් ඉදින් අනර්‍ත්‍ථපදයෙන් යුක්ත වූ ගාථා සීයක් කීයේ නමුදු ඔහු උතුම් නොවෙති. යමක් අසා පුගුල් තෙම කෙලෙස් සංහිඳීමෙන් සන්හිඳේ ද, එසේ වූ එක් ධර්‍මපදය ම උතුමි.
යො සහස්සං සහස්සෙන සඞ්ගාමෙ මානුසෙ ජිනෙ
එකඤ්ච ජෙය්‍ය අත්තානං ස වෙ සඞ්ගාමජුත්තමො.
යමෙක් දහසෙකින් ගණන ලද දහසක් මිනිසුන් (දශලක්‍ෂයක් මිනිසුන්) එක ම යුද්ධයෙහි දිනුයේ නමුදු (උත්තම යෝධ නම් නො වේ.) වැලි යමෙක් එක ම තමා කෙලෙස් දිනීමෙන් දිනුයේ ද, හේ ඒකාන්තයෙන් යුද්ධයෙහි දිනුවවුන්හට උත්තම යෝධ නම් වේ.
අත්තා හවෙ ජිතං සෙය්‍යො යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පොසස්ස නිච්චං සඤ්ඤතචාරිනො.
ආත්මය තෙම දිනන ලද්දේ (හෙවත් සිත් සතන්හි උපන් කෙලෙසුන් දිනීම් වශයෙන් තමා දිනන ලද්දේ) ඒකාන්තයෙන් උතුමි. යම් මේ සෙසු සත්ත්‍ව සමූහයෙක් (දු කෙළෙම් ආදියෙන්) යමක්හු විසින් දිනන ලද ද, (ඒ දිනීම් උතුම් නො වේ). කවර හෙයින යත්: තමා දමනය කළ, සතතයෙන් කයින් වචසින් සංයත වූ පැවැතුම් ඇති පුරුෂයාගේ දිනීම නො දිනුවා නො කට හැකි ද, එහෙයිනි.
නෙව දෙවො න ගන්‍ධබ්බො න මාරො සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා තථාරූපස්ස ජන්තුනො.
එ බඳු පුද්ගලයාගේ කෙලෙස් දිනීම දෙවියෙක් ද නොදිනුවා කට හැකි නො වන්නේ ය. (තිම්බරූ නරදාදී) ගන්‍ධර්‍වයෙක් ද නොදිනුවා කට හැකි නො වන්නේ ය. මහබඹුහු හා මර තෙමේ ද නොදිනුවා කට හැකි නො වන්නේ ය.
මාසෙ මාසෙ සහස්සෙන යො යජෙථ සතං සමං
එකඤ්ච භාවිතත්තානං මුහුත්තමපි පූජයෙ
සා යෙව පූජනා සෙය්‍යා, යඤ්චෙ වස්සසතං හුතං.
මසක් මසක් පාසා දහසක් වියදම් කිරීමෙන් හවුරුදු සියයක් මුළුල්ලෙහි යමෙක් ලොවී මහාජනයාට දන් දුන්නේ වේ ද, යමෙක් වනාහි ශීලාදිගුණ වශයෙන් වඩන ලද සිතැති එක ම ආර්‍ය්‍යයක්හු අසිල්ලකුදු (බත් කෙණෙස්සක් හඹු සරලුවක් පෙරන්කඩයක් පමණ වූ ද කඩ-පොල්ලක් දීමෙන් හෝ) පිදූයේ වේ ද, ඉදින් හවුරුදු සියයක් මුළුල්ලෙහි දෙන ලද යම් දානයෙක් ඇත් ද, එයට වඩා ඇසිල්ලෙක ද ආර්‍ය්‍යයනට කරණ ලද ප්‍රත්‍යයපූජාව ම උත්තම යි.
යො ච වස්සසතං ජන්තු අග්ගිං පරිචරෙ වනෙ
එකඤ්ච භාවිතත්තානං මුහුත්තමපි පූජයෙ
සා යෙව පූජනා සෙය්‍යා යඤ්චෙ වස්සසතං හුතං.
යම් පුරුෂයෙක් වෙනෙහි වැස (වෙනෙහිදි) ඉදින් හවුරුදු සියක් මුළුල්ලෙහි (කිරිබත් ගිතෙල් මී සකුරු ඉසීමෙන් සිදුහතු සුන්සාල් හීතණ ආදී යාග ද්‍රව්‍ය ගින්නෙහි බහා) වහ්නිපූජාව කෙළේ වේ ද, යම් පුරුෂයෙක් වනාහි (ශීලාදි ගුණ වශයෙන්) වඩන ලද සිත් ඇති එක් ආර්‍ය්‍යපුද්ගලයක්හු ඇසිල්ලකුදු (අහාරාදියෙන්) පිදූයේ වේ ද, හවුරුදු සියයක් මුළුල්ලෙහි කරණ ලද යම් වහ්නිපූජාවට වඩා ඇසිල්ලෙක ද ආර්‍ය්‍යයනට කරණ ලද ඒ ප්‍රත්‍යයපූජාව ම උත්තම යි.
යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලොකෙ
සංවච්ඡරං යජෙථ පුඤ්ඤපෙක්ඛො
සබ්බම්පි තං න චතුභාගමෙති
අභිවාදනා උජ්ජුගතෙසු සෙය්‍යා.
මේ සත්ලොවෙහි පින්කිරීමෙහි අපේක්‍ෂා ඇති පුරුෂ තෙම (මඟුල් දවස් ආදියෙහි දිය යුතු) කිසි යම් කුඩා දානවස්තුවක් හෝ (කම්පල අදහා සකස් කොට සරහා දෙන ලද අමුතු මහ දනක් හෝ) හවුරුද්දක් මුළුල්ලෙහි (මුළු සක්වළැ ලොවී මහජනයාහට නිරතුරු) දුන්නේ ද, ඒ සියලු දානය ම (ආර්‍ය්‍යයන් කෙරෙහි පහන් සිතින් කය නමා වඳනාහුගේ එක් වටෙක පැවැති කුශලචේතනාව) සතර භාගයක් කළ කල එයින් එක් භාගයකුදු නො අගනේ ය. එ හෙයින් (කයවඞ්කාදි රහිත හෙයින්) ඍජු බවට පැමිණි ආර්‍ය්‍යයනට කය නමා කළ වන්‍දනාව ම උත්තම යි.
අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති ආයු වණ්ණො සුඛං බලං.
සිල්වතුන් එක්වන් වඳනා සුලු වූ, සතතයෙන් ගුණවෘද්ධයන් පුදන සුලු වූ පුද්ගලයාහට ආයුෂය, ශරීරවර්‍ණය, කායිකචෛතසික සුඛය, කායබල ඥානබල යන මේ සතර ගුණයෝ වඩනාහු ය.
යො ච වස්සසතං ජීවෙ දුස්සීලො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො සීලවන්තස්ස ඣායිනො.
දුශ්ශීල වූ, (උපචාරසමාධි අර්‍පණාසමාධියෙන්) සමාහිත නොවූ, යම් පුඟුලෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වන්නේ ද, ඔහුගේ ජීවත් වීමට වඩා සිල්වත් වූ, ශමථවිදර්‍ශනාභාවනායෙහි යෙදුනහුගේ එක් දවසකුදු ජීවත් වීම උතුමි.
යො ච වස්සසතං ජීවෙ දුප්පඤ්ඤො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො පඤ්ඤවන්තස්ස ඣායිනො.
(ශමථවිදර්‍ශනාප්‍රඥාය) මාර්‍ගඵලප්‍රඥාය යන ලෞකික ලෝකෝත්තර ප්‍රඥායෙන් යුක්ත නොවන හෙයින්) ප්‍රඥා නැත්තාවූ, (උපචාරසමාධි අර්‍පණාසමාධියෙන්) සමාහිත නොවූ, යම් පුද්ගලයකු ඉදින් හවුරුදු සියයක් ජීවත් වූ නමුදු, ඔහුගේ ජීවත් වීමට වඩා ශමථවිදර්‍ශනාප්‍රඥායෙන් ද මාර්‍ගඵලප්‍රඥායෙන් ද යුක්ත වූ, ශමථවිදර්‍ශනාභාවනායෙහි නියුක්ත වූවහුගේ එක් දවසකුදු ජීවත් වීම උතුමි.
යො ච වස්සසතං ජීවෙ කුසීතො හීනවීරියො
එකාහං ජීවිතං සෙය්‍යො විරියමාරභතො දළ්හං.
කුසීත වූ (වත් පිළිවෙත් කිරීමෙහි හැදෑරීම් පිරුවීම්හි මැලි වූ), කායික චෛතසික වීර්‍ය්‍ය නැති, යම් පුඟුලෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වූයේ නමුදු, ඔහුගේ ජීවත් වීමට වඩා දැඩි කොට කායික චෛතසික වීර්‍ය්‍යය වඩන භික්‍ෂුහුගේ එක් දවසෙක ජීවත් වීම උතුමි.
යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං
එකාහං ජීවිතං සෙය්‍යො පස්සතො උදයව්‍යයං.
(පංචස්කන්‍ධයන්ගේ) උදයව්‍යයය නොදක්නා වූ (හෙවත් ‘අවිජ්ජාසමුදයා රූපසමුදයෝ’ යන ආදීන් පස්විසි අයුරින් පංචස්කන්‍ධයන්ගේ උදයය ද ‘අවිජ්ජා නිරෝධා රූපනිරෝධො’ යන ආදීන් පස්විසි අයුරින් පංචස්කන්‍ධයන්ගේ ව්‍යයය ද නොදක්නාවූ) යම් පුඟුලෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වූයේ නමුදු (ඔහුගේ ජීවත් වීමට වඩා) පංචස්කන්‍ධයන්ගේ උදයව්‍යයය නුවණැසින් දක්නාහුගේ එක් දවසෙක ජීවත් වීම උතුමි.
යො ච වස්සසතං ජීවෙ අපස්සං අමතං පදං
එකාහං ජීවිතං සෙය්‍යො පස්සතො අමතං පදං.
මරණරහිත පදය (හෙවත් අමෘත මහානිර්‍වාණය) නොදක්නාවූ යම් පුද්ගලයෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වූයේ නමුදු (ඔහුගේ ජීවත් වීමට වඩා) අමා මහනිවන නුවණැසින් දක්නා පුගුලාගේ එක් දවසෙක ජීවත් වීම උතුමි.
යො ච වස්සසතං ජීවෙ, අපස්සං ධම්මමුත්තමං
එකාහං ජීවිතං සෙය්‍යො පස්සතො ධම්මමුත්තමං.
උතුම් (නව ලොවුතුරා) දහම් නුවණැසින් නොදක්නා යමෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වූයේ නමුදු, (ඔහුගේ ජීවත් වීමට වඩා) උතුම් (නව ලොවුතුරා) දහම් නුවණැසින් දක්නාහුගේ එක් දවසක් ජීවත් වීම උතුමි.