යො ච වස්සසතං ජීවෙ කුසීතො හීනවීරියො
එකාහං ජීවිතං සෙය්‍යො විරියමාරභතො දළ්හං.
කුසීත වූ (වත් පිළිවෙත් කිරීමෙහි හැදෑරීම් පිරුවීම්හි මැලි වූ), කායික චෛතසික වීර්‍ය්‍ය නැති, යම් පුඟුලෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වූයේ නමුදු, ඔහුගේ ජීවත් වීමට වඩා දැඩි කොට කායික චෛතසික වීර්‍ය්‍යය වඩන භික්‍ෂුහුගේ එක් දවසෙක ජීවත් වීම උතුමි.
යො ච වස්සතං ජීවෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි සප්පදාසක නම් තෙරුන් උදෙසා දේශනා කරනලදි.
සැවැත්නුවර එක් කුලපුත්‍රයෙක් බුදුන්නේ බණ අසා පැවිදිවී උපසම්පදාවක් ලබා, පසු කලක සසුනෙහි කලකිරී මා වැනි කුලපුත්‍රයෙකුට ගිහිවීම සුදුසු නොවෙයි. පැවිද්දේ සිටම මිය යෑම යෙහෙකැයි සිතා තමන් මියයන උපායක් සොයමින් හැසිරෙයි. ඉන්පසු දිනක උදෑසනම වැළඳූ භික්‍ෂූහු විහාරයට ගොස් ගිනිශාලාවේ සර්පයකු දැක ඌ එක් කළයකට දමා කළය වසාගෙන විහාරයෙන් පිටත්වූහ. කළකිරුණු භික්‍ෂුවත් වළඳා එනවිට ඒ භික්‍ෂූන් දැක ඇවැත්නි මේ කුමක්දැයි අසා ඇවත්නි මේ සර්පයෙකියි කීකල්හි ඔය කරන්ට යන්නේ කුමක්දැයි අසා මූ ඈත තැනකට දමන්නෙමුයි කීහ. ඔවුන්ගේ කථාව ඇසූ භික්‍ෂුව මේ සර්පයා ලවා දෂ්ට කරවාගෙන මැරෙන්නෙමියි එය ඉල්වාගෙන එක් තැනක හිඳගෙන ඒ සර්පයා ලවා තමන් දෂ්ටකරවාගන්ට වෑයම් කෙළේය. සර්පයා දෂ්ට කිරීමට නොකැමතිවිය. හෙතෙම කළය ඇතුළට අත දමා අත එහාට මෙහාට කාල් ගෑවේය. සර්පයාගේ කටඇර ඇඟිල්ල දැම්මේය. එහෙත් සර්පයා දෂ්ට කෙළේම නැත. හෙතෙම මූ විෂඝෝර සර්පයෙක් නොවේයයි ඌ හැරදමා විහාරයට ගියේය.
ඉන්පසු භික්‍ෂූහු, ඇවැත්නි, සර්පයා වීසි කෙළෙහිදැයි ඇසූහ. ඇවැත්නි, ඌ විෂඝෝර සර්පයෙක් නොවෙයි. නෑ ඇවැත්නි ඌ විෂඝොරයෙකි. පෙණය පුප්පා සූ සූ ගා ඌ පිම්බේය.
අපි ඌ අල්ලාගත්තේ ඉතා අමාරුවෙනි. ඔබ මෙසේ කියන්නේ කුමක් නිසාදැයි ඇසූහ. ඇවැත්නි, මම ඌ ලවා දෂ්ටකරවාගන්ට වෑයම් කළත් උගේ කටට ඇඟිල්ල දැමුවත් දෂ්ටකරවාගන්ට නොහැකිවිය. ඒ ඇසූ භික්‍ෂූහු නිහඬවූහ.
පසුව දිනක හිසරැවුල් බාන කරනවෑමියෙක් දැලිපිහි දෙකතුනක් රැගෙන විහාරයට ගොස් එකක් බිම තියා අනිකෙන් භික්‍ෂූන්ගේ හිස බායි. ඒ භික්‍ෂුව බිම තිබූ කඩකැත්ත රැගෙන මේකෙන් ගෙන සිඳගෙන මැරෙන්නෙමියි, එක් ගසකට බෙල්ල තබා කඩකැති තලය උගුරුදණ්ඩේ තබා, සිට, උපසම්පදා මාලකයේ පටන් තමන්ගේ සීලය ගැන කල්පනාකර එය නිර්මල සඳමඬලක් මෙන්ද, සුදෝසුදු මැණිකක් මෙන් ද පිරිසිදු බව දුටුවේය. එසේ තමන්ගේ නිර්මල සීලය බලය ඔහුගේ මුළුසිරුර පුරා සිහිය පැතිර ගියේය. හෙතෙම ප්‍රීතිය විෂ්කම්භනය (යටපත්කොට) කොට විදර්ශනා වඩා සිව්පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණ, දැළිපිහියක් රැගෙන විහාරය මැදට පැමිණියේය.
ඉන්පසු භික්‍ෂූහු ඇවැත්නි, කොහි ගියෙහිදැයි ඇසූහ. මේ දැළිපිහියෙන් උගුරුදණ්ඩ කපාගෙන මැරෙන්නෙමියි ගියෙමි. ඇවැත්නි, ඉතින් නොමැරුණේ ඇයි? මම දැන් පිහියකින් දිවි තොරකර ගැනීමට අපොහොසත් වෙමි. මම මේ පිහියෙන් ගළනාලය සිඳගන්නෙමියි නුවණ නමැති පිහියෙන් සියලු කෙලෙස් සිඳදැමීමියි කීහ. භික්‍ෂූහු මේ අය අභූතයෙන් නැති ගුණයක් කියන්නේ යයි භාග්‍යවතුන්වහන්සේට ඒ බව දැන්වූහ. භාග්‍යවතුන්වහන්සේ ඔවුන්ගේ වචන අසා,
මහණෙනි, රහතන්වහන්සේලා වනාහි සියතින් ජීවිතය තොරකර නොගනිති. ස්වාමීනි, ඔබවහන්සේ මොහු රහත්යයි කියනසේක්ද? මොහු රහත් වීමට උපනිශ්‍රයසම්පත් ඇත්තෙක් නම් සසුනෙහි කලකිරුණේ ඇයි? මොහුට රහත් වීමට ඇති හේතුසම්පත් මොනවාද? කුමක් නිසා ඒ සර්පයා මොහු දෂ්ට නොකෙළේද?
මහණෙනි, ඒ සර්පයා ආත්මභාව තුනකට පෙර මොහුගේ දාසයෙකි. හෙතෙම තම ස්වාමියාගේ ශරීරය දෂ්ටකරන්ට උත්සාහ නොකෙළේය. මෙසේ ශාස්තෘන්වහන්සේ එක් කරුණක් පමණක් දැන්වූහ. එතැන් පටන් ඒ භික්‍ෂුව සප්පදාස නමින් ප්‍රකට විය.
කාශ්‍යප බුදුන් කාලයෙහි එක් කුලපුත්‍රයෙක් ශාස්තෘන්වහන්සේගෙන් බණ අසා උපන් සංවේගයෙන් පැවිදිවී උපසම්පදාවත් ලබා පසු කාලයක සසුනෙහි කලකිරීම ඇතිවී තමන්ගේ එක් යහළු භික්‍ෂුවකට ඒබව දැන්නුවේය. ඒ භික්‍ෂුව මොහුට නිතර ගිහිබවේ ආදීනව කියා දුන්නේය. ඒ අසා ඔහු සසුනෙහි කැමැත්ත ඇතිවී පෙර කලකිරී සිටි කාලයෙහි කිලිටිවී තිබුණු ශ්‍රමණ පරිස්කාර එක් ගල්පොකුණක ඉවුරේ තබා පිරිසිදුකරමින් සිටියේය. ඔහුගේ සහායකයාත් ළඟම වාඩිවී සිටියේය. ඉන්පසු ඔහුට කථාකොට, යහළුවාණනි, මම සිවුරු හැරීමට සිතූ කාලයෙහි මේ පිරිකර ඔබට දීමට සිතා සිටියෙමියි කීය. යහළුවා මෙසේ සිතීය. මොහු පැවිදිවී සිටියත් ගිහිවුවත් මට කමක් නැත. ඔහුගේ පිරිකර ගැනීම යෙහෙකි. එතැන් පටන් ඔහු, ඇවැත්නි, අපේ මේ ජීවිතයෙන් පලක් නැත. අපි කබලක් රැගෙන අනුන්ගේ ගෙවල්වලට පිඬුසිඟා යන්නෙමු. පුතුන් අඹුවන් සමග අල්ලාපසල්ලාප කරමු ආදිය කියමින් ගිහිභාවයෙහි ගුණ කීවේය. හෙතෙම ඔහුගේ කථා අසා නැවතත් කලකිරී, මොහු මම කලකිරුණු බව කීකල පළමුව ගිහිබවේ ආදීනව කියා දැන් නිතර එහි ගුණ කියයි. ඒ කුමක් නිසාදැයි සිතා, මේ ශ්‍රමණපරිෂ්කාර කෙරෙහි ලෝභයෙන් බව දැන, තමන්ම තමන්ගේ සිත නවත්වා ගත්තේය.
මෙසේ කසුප් බුදුන් සමයෙහි එක් භික්‍ෂුවකගේ සිත කලකිරවූ හෙයින් දැනුත් අනභිරතිය උපන්නේය. එකල විසිදහසක් අවුරුදු මහණදම් පිරූ නිසා ඔහුට මේ අත්බවෙහි රහත්වීමට එම කරුණු උපනිශ්‍රයවූයේයයි මේ කරුණ ඒ භික්‍ෂූහු බුදුරදුන්ගෙන් දැන නැවතත් මෙසේ විචාළහ. ස්වාමීනි, මොහු දැලිපිහිතලය ගළනාලයේ තබාගෙන සිටියදීම රහත්බවට පැමිණියේය. මෙතරම් සුළු වේලාවකින් රහත්මග ලැබිය හැකිද? එසේය මහණෙනි, පටන්ගන්නා ලද වීර්යය ඇති භික්‍ෂුවට පයක් ඔසවා එය බිම ත බන කාලය අතරතුර පය බිම තැබීමට පෙර රහත්මග උපදියි. කුසීත පුද්ගලයාට වනාහි අවුරුදු සියයක්වුවද ජීවත්වුවත් ඊට වඩා ආරද්ධවිරිය ඇත්තාගේ ක්ෂණමාත්‍ර ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
කුසීතව වෑයමක් නැති සියක් වසරක් සිටියත්
දැඩි වීරියෙන් යුතු එක දිනය වැදගත් වේ.
එහි කුසීතො යනු කාමවිතර්කාදි තුන්වැදෑරුම් විතර්කයන්ගෙන් කාලය ගෙවන පුද්ගලයායි. හීනවිරියො යනු උත්සාහයක් නැති පුද්ගලයායි. විරියමාරභතො දළ්හං යනු දෙයාකාර ධ්‍යානයන් උපදවා ගැනීමට සමත් වීර්යයෙන් ආරම්භ කරන පුද්ගලයාය. සෙස්ස පෙරසේමය. දේශනාවසානයේ බොහෝ අය සෝවාන්ඵලාදියට පැමිණියාහුය.