අභිවාදනසීලිස්ස නිච්චං වද්ධාපචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති ආයු වණ්ණො සුඛං බලං.
සිල්වතුන් එක්වන් වඳනා සුලු වූ, සතතයෙන් ගුණවෘද්ධයන් පුදන සුලු වූ පුද්ගලයාහට ආයුෂය, ශරීරවර්‍ණය, කායිකචෛතසික සුඛය, කායබල ඥානබල යන මේ සතර ගුණයෝ වඩනාහු ය.
අභිවාදන සීලිස්ස ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දීඝලම්බික නුවර සමීපයෙහි ආරණ්‍යකුටියක වාසයකරන කාලයෙහි දීඝායුකුමරා නිමිති කරගෙන දේශනා කරනලදි.
දීඝලම්බික නුවර වැසි බමුණෝ දෙදෙනෙක් ශාසනයෙන් බැහැර පැවිදිවී සතළිස්අටවසක් තපස්චර්යා කළහ. එයින් එකෙක් මෙයින් මගේ කුලපරපුර නැසේයයි තමා කළ තපස් (තාපසාරාමය) විකුණා ගවයන් සියයක්ද කහවණු සියයක්ද භාර්යාවකද ලබාගෙන පවුල රැකගෙන සිටියේය. ඉන්පසු ඔහුගේ භාර්යාව දරුවකු වැදුවාය. අනිත් බමුණා වෙනත් ප්‍රදේශයකට ගොස් නැවතත් ඒ නගරයට පැමිණියේය.
ගිහි බවට පත් බමුණා යහළුවා ආ බව දැනගෙන අඹුදරුවනුත් කැටුව ඔහු දැකීම සඳහා පැමිණියේය. එහි ගොස් පුතා මවු අතට දී තෙමේ පළමුව වැන්දේය. මව පුතා පියා අතට දී වැන්දාය. තවුසා දීර්ඝායුෂ ලැබේවායි කීය. පුතා ලවා වැන්දවු කල්හි තුෂ්ණිම්භූත විය. ස්වාමීනි, අප වඳින විට දීර්ඝායුෂ ලැබේවායි කියා මේ පුතා වන්දවන කල නිහඬවූයේ ඇයිදැයි ඇසීය. බ්‍රාහ්මණය මොහුට එක් අනතුරක් ඇත. ස්වාමීනි, මොහු කෙතේ කල් ජීවත් වන්නෙහිද? බ්‍රාහ්මණය සතියක් පමණි. ඒ අනතුරු වළක්වන ක්‍රමයක් ඇද්ද ස්වාමීනි. මම නම් එය වළකාලන ක්‍රමයක් නොදනිමි. ශ්‍රමණගෞතමයෝ එය දනිති. එහි ගොස් විචාරව. ස්වාමීනි, එහි යෑමෙන් මගේ තපසට හානියක් වේදෝයි භයවෙමි. පුතාට ස්නේහයක් ඇත්නම් තපස ගැන නොසිතා උන්වහන්සේ ළඟට ගොස් අසා බලවයි කීය.
ඔහු බුදුන් ළඟට ගොස් තෙමේ පළමුව වැන්දේය. බුදුරජාණන්වහන්සේ දීර්ඝායුෂ ලැබේවායි වදාළහ. භාර්යාව වඳින විටද ඈට එසේම පැවසූහ. පුතා වන්දවන විට නිහඬවූහ. බමුණා පෙර පරිද්දෙන්ම බුදුරදුන්ගෙන් ඊට හේතුව විචාළේය. ශාස්තෘන්වහන්සේ පෙර පරිදිම ප්‍රකාශ කළහ. ඒ බමුණා සර්වඥතාඥානය ගැන නොදැන තමන්ගේ මන්ත්‍ර සර්වඥතාඥානය හා සමග සංසන්දන කෙළේය. උපද්‍රවය වළකාගන්නා උපායක් නොදත්තේය. බමුණා බුදුරදුන්ගෙන්, ස්වාමීනි, මේ උවදුර වළක්වා ගතහැකි උපායක් ඇද්දැයි විචාළේය.
බ්‍රාහ්මණය, විය හැකිය. කුමක් විය හැකිද ස්වාමීනි. ඉදින් ඔබ තමන්ගේ ගෙදොර මණ්ඩපයක් කරවා එහි මැද පුටුවක් හදවා ඒ වටා ආසන අටක් හෝ සොළසක් පනවා ඒ අසුන්වල මගේ ශ්‍රාවකයන් වඩා හිඳුවා සතියක් නිරන්තරව පිරිත් කියවන්ට හැකිනම් ඒ පිළිවෙතින් මොහුගේ අනතුර වැළකී යන්නේයයි වදාළහ. භවත් ගෞතමයන් වහන්ස, මට මණ්ඩපාදිය කරවන්ට පුළුවන, එහෙත් ඔබවහන්සේගේ ශ්‍රාවකයන් ලබාගන්නේ කෙසේද? ඔබ ඒ හරිය සූදානම් කළ පසු මම මගේ ශ්‍රාවකයන් එවන්නෙමි.
හෙතෙම භවත්ගෞතමයන් වහන්ස, මැනවැයි කියා තමන්ගේ ගෙදොර සියලු වැඩ නිමවා බුදුන් සමීපයට ගියෙය්. ශාස්තෘහු භික්ෂූන් එහි යැවූහ. උන්වහන්සේලා එහි ගොස් ආසනවල වැඩහුන්හ. දරුවාත් පීඨිකාවේ හින්දවූහ. භික්ෂූහු රෑදාවල් හතක් අතරක් නොතබා පිරිත් දේශනා කළහ. සත්වෙනි දින සවස ශාස්තෘන්වහන්සේ එහි වැඩමවූහ. උන්වහන්සේ එහි වැඩමවූ පසු මුළු සක්වළ දෙවියෝද රැස්වූහ. එක් අවරුද්ධක නම් යක්‍ෂයෙක් දොළොස් වසරක් වෛශ්‍රවණ රජුන්ට සේවය කොට ඔහු ළඟින් මෙයින් සත්වෙනි දිනයේ මේ ළදරුවා ගැනීමට ලැබෙන්නේයයි වරයක්ද ලබා ගත්තේය. එහෙයින් ඔහුද අවුත් සිටියේය.
ශාස්තෘන්වහන්සේ එහි වැඩමවූ පසු මහානුභාව සම්පන්න දෙවියන් එහි පැමිණි නිසා, අල්පේශාක්‍ය දෙවියෝ පසුපසටවී අවකාශයක් ලැබුණේ දොළොස් යොදුනක් ඈතිනි. අවරුද්ධකත් එතරම්ම පිටුපසට ගියේය. ශාස්තෘන්වහන්සේත් මුළු රෑ පුරා පිරිත් කළහ. සතිය ඉක්මෙන විට අවරුද්ධකට දරුවා නොලැබිණි. අටවෙනි දිනයට හිරු පායන විටම දරුවා ගෙනවුත් බුදුන් වැන්දවූහ. බුදුරජාණන්වහන්සේ දීර්ඝායුෂ ලැබේවායි වදාළහ. භවත්ගෞතමයන් වහන්ස, දරුවා කෙතෙක් කල් සිටීදැයි බමුණා ඇසීය. බමුණ, එක්සියවිසි අවුරුද්දක්ය. ඉන්පසු ඔහුට ආයුවර්ධන කුමාර යන නම තැබූහ.
හෙතෙම වැඩී වයසට පැමිණ පන්සීයක් උපාසකවරුන් පිරිවරා ගෙන හැසිරෙයි. දිනක් දම්සභාමණ්ඩපයට රැස්වූ භික්ෂූහු, ඇවැත්නි, බලව් ආයුවර්ධන කුමරා සත්වෙනි දින මරණයට පත්වීමට සිටියේය. දැන් ඔහු වසර එක්සිය විස්සක් ජීවත් වීමේ ශක්තිය ලබා උපාසකවරුන් පන්සීයක් පිරිවරාගෙන ඇවිදයයි. මේ ලෝකයේ, සත්ත්වයන්ට දීර්ඝායු ලබන කරුණුත් ඇතැයි කථා කළහ. බුදුරජාණන්වහන්සේ එතැනට වැඩමවා, මහණෙනි, කිනම් කථාවක් කරමින් සිටියාහුදැයි අසා, එය කී කල්හි, මහණෙනි, ආයුෂලැබීම පමණක් නොවේ. මෙලොව ගුණවතුන් වඳින පුදන සත්ත්වයෝ කරුණු සතරකින් සම්පූර්ණ වෙති. උවදුරුවලින් මිදෙත්. නියම ආයුප්‍රමාණයම සිටිතියි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
නිති සිල්වතුන් වඳිනා
වැඩිහිටියන් පුදනා
ඔහු ආයු රුව සැප බල
යන කරුණෙන් වැඩී යයි
එහි අභිවාදන සීලිස්ස යන නිරන්තරයෙන් සිල්වතුන් වැඳීම පිදීමෙහි ඇලුණු යන අර්ථයයි. වද්ධාපචායිනො යනු ගිහියා, එදා පැවිදිවූ ළදරු සාමණේර නමටත්, පැවිද්දා පැවිද්දෙන් හෝ උපසම්පදාවෙන් තමාට වැඩිමල් අයටත් ගුණෙන් වැඩිහිටියන්ටත් වැඳීම් පිදීම් හෝ කරන්නේ නම්, චත්තාරො ධම්මා වඩ්ඪන්ති යනු ආයු වර්ධනය වේ. යම්තාක් කල් ආයු වැඩේ නම් ඒතාක් කල් අනිත් ගුණද වැඩෙයි. යමෙක් ප්‍රඥාවෙන් ආයුසංවත්තනික කුසලක් කළවිට, විසිපස් වෙනි වියෙහි ඔහුට ජීවිත අනතුරක් ආවත්, යටකී පිනෙන්, අභිවාදනශීලී වන හෙයින් උවදුරු නැතිව ගොස් නියම ආයු ප්‍රමාණයම ජීවත් වෙයි. රූපශ්‍රීය ආදියද ආයුෂය සමගම වැඩිවෙයි. මෙයින් ඉදිරියටද මේ ක්‍රමයමය. අනතුරක් නැත්තාට ආයු වර්ධනයක් නොවේ.
දේශනාවසානයෙහි ආයුවර්ධන කුමරා උපාසකවරුන් පන්සීයක් සමග සෝවාන් ඵලයෙහි පිහිටියේය. අනිත් බොහෝ අයත් සෝවාන් ඵලාදියට පැමිණියාහුය.