අත්තා හවෙ ජිතං සෙය්‍යො යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පොසස්ස නිච්චං සඤ්ඤතචාරිනො.
ආත්මය තෙම දිනන ලද්දේ (හෙවත් සිත් සතන්හි උපන් කෙලෙසුන් දිනීම් වශයෙන් තමා දිනන ලද්දේ) ඒකාන්තයෙන් උතුමි. යම් මේ සෙසු සත්ත්‍ව සමූහයෙක් (දු කෙළෙම් ආදියෙන්) යමක්හු විසින් දිනන ලද ද, (ඒ දිනීම් උතුම් නො වේ). කවර හෙයින යත්: තමා දමනය කළ, සතතයෙන් කයින් වචසින් සංයත වූ පැවැතුම් ඇති පුරුෂයාගේ දිනීම නො දිනුවා නො කට හැකි ද, එහෙයිනි.
නෙව දෙවො න ගන්‍ධබ්බො න මාරො සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා තථාරූපස්ස ජන්තුනො.
එ බඳු පුද්ගලයාගේ කෙලෙස් දිනීම දෙවියෙක් ද නොදිනුවා කට හැකි නො වන්නේ ය. (තිම්බරූ නරදාදී) ගන්‍ධර්‍වයෙක් ද නොදිනුවා කට හැකි නො වන්නේ ය. මහබඹුහු හා මර තෙමේ ද නොදිනුවා කට හැකි නො වන්නේ ය.
අත්තාහවෙ ජිතං මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි අනර්ථපුච්ඡක නම් බ්‍රාහ්මණයා නිමිති කරගෙන දේශනා කරනලදි.
ඒ බමුණු තෙමේ, කෙසේද සම්මාසම්බුදුන්වහන්සේ අර්ථයක්ම දන්නාසේක්ද, නැතහොත් අනර්ථයක්ම දන්නා සේක්දැයි කියා විමසා බලන්නෙමියි සිතා උන්වහන්සේ ළඟට පැමිණ මෙසේ ඇසීය. ස්වාමීනි, ඔබවහන්සේ අර්ථයක්ම දන්නෙහිද, අනර්ථයක් නොදන්නා සේක්දැයි ඇසීය. බ්‍රාහ්මණය, මම අර්ථයත් අනර්ථයත් යන දෙකම දන්නෙමි. එසේනම් මට අනර්ථය නම් කුමක්දැයි කියා දෙනු මැනවි. ඉන්පසු බුදුරජාණන්වහන්සේ මේ ගාථාව වදාළහ:
හිරු නැග එන තුරුම
නිදියාම මැලි ගතිය ද
රළු පරළු වීම ද
වැඩෙහි නිසි ලෙස නොයෙදුම
අනුන් අඹුන් සොයන
මෙබදු ගති ඇතිවිට
පිරිහීම නිතැතින්ම සිදු වේ
ඒ ඇසූ බමුණා සාධුකාර දුන්නේය. ගණාචාර්යවරයාණනි, ඉතා මැනවි. ජ්‍යෙෂ්ඨ පුරුෂයාණනි, ඔබ අර්ථය මෙන්ම අනර්ථයද දන්නෙහිය. බමුණ, මෙසේ අර්ථානර්ථ දන්නා මට සමාන කෙනෙක් නැත. ඉන්පසු ඔහුගේ අදහස් විමසා බලා, බමුණ, ඔබ කිනම් කර්මාන්තයක් කොට ජීවත් වන්නෙහිදැයි ඇසූහ. එසේ විචාරා, භවත්ගෞතමයන්වහන්ස, දූකෙළියෙනියි කීකල, කිම ඔබ එයින් දිනන්නේද, පරදින්නෙහිදැයි ඇසූහ. ජයත් ලැබෙයි පරාජයත් ලැබෙයියයි කී කල්හි, බ්‍රාහ්මණය, ඒ අයුරින් අනුන් පරදවා ලබන ජය එතරම් වැදගත් නොවෙයි. උතුම් වන්නේද නොවෙයි, යමෙක් තම සන්තානයෙහි පවත්නා කෙලෙස් පරදවා තමන් දිනන්නේද, ඔහුගේ ජයග්‍රහණය ශ්‍රේෂ්ඨ නොවෙයි. ඔහුගේ ජයග්‍රහණය කිසිවකු විසිනුත් පරාජය කළ නොහැකියයි අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළ සේක.
අන් අය පරදවා
ලබන දිනුමට වැඩියෙන්
කෙලෙස් නසා ලබන ජය
උතුම් වේ එබඳු පුගුලා
නිතර සන්සුන් ලෙසින් හැසිරේ
දෙවියන් බඹුන් ගදඹුන්
මරුන් හෝ කිසිවෙකුටත්
ඔහුගේ දිනුම කිසිවිට
පරාජය කළ හැකි නොවේ
එහි භවෙ යනු නිපාත මාත්‍රයකි. ජිතං යනු ලිංග විපර්යාසයකි. තමන්ගේ කෙලෙස් පරදවා ලබන ජයෙන් ජයක් ලැබීම උතුම් යන අර්ථයයි. යා චායං ඉතරා පජා යනු යම් ඒ අවශේෂ මිනිස්සු සූදුවෙන්, ධනය පැහැරගැනීමෙන්, යුද්ධයෙන්, බලය මැඩපැවැත්වීමෙන් යන කරුණුවලින් පැරදවූවත්, එසේ දිනන්නාගේ ජයග්‍රහණය උතුම් නොවෙයි යන අර්ථයි. ඒ දිනීම කුමක් නිසා උතුම් නොවේද? එය උතුම් දිනුමක් නොවන හෙයිනි. යම් හෙයකින් අත්තදන්තස්ස -පෙ- තථාරූපස්ස ජන්තුනෝ යන්න කියනලදි. එහෙයින් කෙලෙසුන් නැසීම සඳහා තමා දමනය කරගත් පුද්ගලයා ඒ තමා දමනය කර ගැනීමේදී කාය සුචරිතාදියෙන් නිච්චං සඤ්ඤත චාරිනො මේ ආදි කාය සංයමය ආදියෙන් යුක්ත වූ පුද්ගලයාගේ ඒ ලබා තිබෙන ජයග්‍රහණය දෙවියෙකු විසින් හෝ ගන්ධර්වයෙකු, මාරයෙකු බඹෙකු විසින් හෝ නැගී සිට මම මොහු ලබා ඇති ජය පරාජයක් කරන්නෙමියි හෝ මාර්ග භාවනා මගින් ප්‍රහීණ කළ කෙලෙස් නැවත උපදවන්නෙමියි කියා හෝ ගැටෙමින් වෑයම් කරමින් යම්සේ ධනාදියෙන් පැරදුණු නැහුණු එකෙක් ඒ පරාජය පරාජයක් කරන්නේද, එසේ පරාජය කිරීමට නොහැකි වේ යන අර්ථයි. දේශනා කෙළවර බොහෝ අය සෝවාන් ඵලාදියට පැමිණියාහුය.