8-12 දොළොස්වන පටාචාරා තෙරණියගේ වස්තුවයි.

යො චෙ වස්සසතං ජීවෙ අපස්සං උදයව්‍යයං

එකාහං ජීවිතං සෙය්‍යො පස්සතො උදයව්‍යයං.

(පංචස්කන්‍ධයන්ගේ) උදයව්‍යයය නොදක්නා වූ (හෙවත් ‘අවිජ්ජාසමුදයා රූපසමුදයෝ’ යන ආදීන් පස්විසි අයුරින් පංචස්කන්‍ධයන්ගේ උදයය ද ‘අවිජ්ජා නිරෝධා රූපනිරෝධො’ යන ආදීන් පස්විසි අයුරින් පංචස්කන්‍ධයන්ගේ ව්‍යයය ද නොදක්නාවූ) යම් පුඟුලෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වූයේ නමුදු (ඔහුගේ ජීවත් වීමට වඩා) පංචස්කන්‍ධයන්ගේ උදයව්‍යයය නුවණැසින් දක්නාහුගේ එක් දවසෙක ජීවත් වීම උතුමි.

යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි පටාචාරා ස්ථවිරීන් අරභයා දේශනා කරනලදි.

ඕතොමෝ සැවැත්නුවර සතළිස්කෝටියක ධනසම්පතක් ඇති සිටුවරයෙකුගේ අභිරූපී දුවණියකවූවාය. මවුපියෝ ඈ සොළොසැවිරිදි වියේදී සත්මහල් ප්‍රාසාදයක උඩුමහලේ රැකවල් සහිතව ආරක්‍ෂා සහිතව වාසයකරවූශ. මෙසේ තිබියදීත් ඈ තමාගේ එක් සේවකයකු සමග නෝබිනා ආශ්‍ර‍යට වැටුණාය. ඉන්පසු ඇගේ මවුපියෝ සම ජාති කුලවත් එක් කුමාරයකු ගැන කතාබහ කරගෙන විවාහයට දින නියම කරගත්හ. දිනය ළංවූ විට ඈ ඒ තමාගේ සුළුසේවකයාට කථාකොට, මා අසවල් පවුලේ අසවලාට දෙන්නේය. මා පතිකුලයට ගිය පසු මගේ පණිවුඩයක් රැගෙන එන කෙනෙකුට පවා එහි ඇතුළට යෑමට අවසරයක් නොලැබෙයි. ඉතින් ඔබ මා කෙරෙහි ආදරයක් ඇත්නම් දැන්ම මා රැගෙන කොහේ හරි පලායන්නැයි කීවාය. හෙතෙම සොඳුර, යහපති. මම හෙට උදේ පාන්දරම නුවර දොරටුවේ අසවල් තැන සිටින්නෙමි. ඔබ කුමක් හෝ උපායකින් නික්මී එතැනට එන්නැයි කියා දෙවෙනි දිනයේ නියම කරගත් තැනට ගොස් සිටියේය.

ඈ දෙවෙනි දිනයේ කිළුටු ඇඳුම් ඇඳගෙන කෙස් මුදාහැරගෙන විසුරුවාහැර ධාන්‍යකුඩු ඇඟේ තවරාගෙන කළගෙඩියක්ද රැගෙන දාසයන් සමග යන්නියක මෙන් ගෙයින් පිටවී එකී තැනට ගියාය. ඔහු ඈත් සමග ඈත ගමකට ගොස් එහි නැවතී ආරණ්‍යයෙහි කෙතක් හදා සීසා දරකොළ ආදිය ගෙන එයි. අනිත් තැනැත්තිය කළයෙන් දිය ගෙනවුත් සියතින්ම වී කෙටීම් ආහාර පිසීම් ආදිය කරමින් තමන්ගේ පවෙහි විපාක විඳියි. පසුව ඇගේ කුස ගැබක් පිහිටියේය. ඈ පිරිපුන් ගැබ ඇතිව, මෙහි අපට කිසිම උදව් කරන්නෙක් නැත. මවුපියෝ දරුවන්ට මොළොක් හදවත් ඇත්තෝ වෙති. මා ඔවුන් ළඟට පමුණුවන්න, ඔවුන් ළඟදී මගේ දරුවන් ලැබී වියයුතුයයි කියමින් සැමියාගෙන් ඉල්ලාසිටියාය.

හෙතෙම, සොඳුර කුමක් කියන්නෙහිද, මා දුටු හැටියේම ඔබේ මවුපියේ නොයෙක් වධහිංසා කරන්නහුය. ඔබ හා සමග මට නම් එහි යාම අපහසුයයි ප්‍ර‍තික්ෂේප කෙළේය. ඈ නැවත නැවතත් ඉල්ලාසිටි නමුත් යාගත නොහැකිව ඔහු වනයට ගිය කල අසල්වැසියන් අමතා ඉදින් ඔහු අවුත් මා නොදැක කොහේ ගියාදැයි ඇසුවොත් මා තමන්ගේ ගෙදර ගියබව දන්වන්නැයි කියා යන්ටගියාය.

ඒ පුරුෂයාත් ගෙට අවුත් ඈ නොදැක අසල්වැසියන්ගෙන් ඒ පුවත අසා ඈ නවත්වාගන්නෙමියි ලුහුබැඳගොස් හමුවී නානාප්‍ර‍කාරයෙන් ඉල්ලාසිටි නමුත් නවත්වාගත නොහැකිවිය.

ඉන්පසු පිටත්ව යන අතර එක්තැනකදී ඈට විලිරුදාව හටගත්තේය. ඈ එක් ගස් අතරකට ගොස් සැමියාණනි, මට විලිරුජා හටගත්තේයයි කියා බිම නිදාගෙන ඉතාමත් දුකසේ දරුවා වදා අපි අපේ ගෙදරට යන කරුණ මෙහිදීම සිදු වූයේයයි නැවත ආපසු ගෙදර ගොස් වාසය කළහ. පසුකලකදී ඇගේ කුස තවත් ගැබක් පිහිටියේය. ඈ ගැබ මුහුකුරා ගියවිට පෙර පරිද්දෙන්ම සැමියාගෙන් යාච්ඤාකොට එය ඉටු නොවුණු හෙයින් පුතාත් වඩාගෙන පෙර පරිද්දෙන්ම පිටත්ව යනකල සැමියා පිටුපසින් අවුත් නවත්වා ගනු නොහැකිවිය. මෙසේ යන ඔවුන්ට අතරමගදී මහා අකල් වැස්සක් හමුවිය. හාත්පසම විදුලියවැලින් දිලිසෙන්නාක් මෙන්ද මේඝගර්ජනාවලින් අහස බිඳී වැගිරෙන්නාක් වැනි වර්ෂාධාරා නිපාතයෙන් පිරීගියේය. එකෙණෙහිම ඈට විලිරුදාවද ඇතිවිය. ඈ සැමියා අමතා, හිමියනි මට විලිරුදා ඇතිවිය. ඉවසීමත් අපහසුය. නොතෙමෙන තැනක් සොයන්නැයි කීවාය. ඔහු අතේ තිබුණු වෑයත් රැගෙන එහෙමෙහ සොයා යන අතර, එක් තුඹසක් මත වැවී තිබුණු පඳුරු කැලෑවක් දැක එය කපන්ට පටන්ගත්තේය. තුඹසේ සිටි ඝෝරවිෂ සර්පයෙක් ඇවිත් ඔහු දෂ්ටකෙළේය. එකෙණෙහි සිරුර ඇතුළේ ඇතිවූ විෂගිනිජාලාවකින් දැවෙන්නාක් මෙන් වී ශරීරය නිල්පැහැවී එතැනම ඇද වැටුණේය.

අනිත් තැනැත්තිය මහාදුකක් විඳිමින්, ඔහුගේ පැමිණීම බලාසිට ඔහු නොදැකම පුතකු වැදුවාය. දරුවෝ දෙදෙන වැසිවාත වේගය උහුලාගතනොහී මහහඬින් හඬන්නටවූහ. ඈ දරුවන් දෙදෙනාම බඩතුරුලට ගෙන අත්දෙකක් දණිස් දෙකත් පොළොවේ පිහිටුවා දරුවන් රකිමින් මුළු රැයම ගත කළාය. මුළු සිරුර ලේ නැතුව ගියක්මෙන් පඬුපැහැ ගැන්විණි. ඈ එළිවුණු පසු මස්වැදැල්ලක් වැනි දරුවා ඇකයෙන් ගෙන අනික් පුතාගේ ඇඟිල්ලෙන් අල්වාගෙන පුතා එන්න. ඔබේ පියා ගියේ මේ පැත්තටයයි කියා සැමියා ගිය පාරෙන් ගොස් ඔහු තුඹස උඩ මැරී වැටී නිල්වන්ව දරදඬු ගැහී තිබුණු සිරුර දැක මා නිසා මගේ සැමියා පාරේ වැටී මළේයයි හඬමින් විලාපකියමින් එතැනින් පිටත්ව ගියාය.

මුළු රැයමවැසි වැටී තනමත්තක් පමණ දියෙන් පිරුණු අචිරවතී ගඟ දුටු ඈ තම බුද්ධියේ මඳකම නිසා දරුවන් සමග දියට බසිනු නොහැකිව දෙටුපුතා මෙහා ඉවුරෙන් තබා ළදරුපුතා රැගෙන එහා ඉවුරට ගොස් අත්තක් කඩා දමා ඔහු එහි හොවා අනික් පුතා ගෙන එනු පිණිස දියට බැස ගොස් බාලපුතාගේ ඇඬීම නවතාගනු නොහැකිව නැවත නැවතත් නැවතී නැවතී ආපසු බලමන් ගියාය. ඈ නදිය මැදට ගියකල්හි එක් උකුස්සෙක් ඒ බිළිඳා දැක මස්වැදැල්ලකියි යන හැඟීමෙන් අහසින් බැස්සේය. පුතා නිසා එසේ බසින උකුස්සා දුටු ඈ දෑතින් අත්පුඩි ගසා සූ සූ කියා තෙවරක් මහහඬින් කෑගෑවාය. උකුස්සා දුරින් සිටි නිසා ඒ ශබ්දය නොඇසී බිළිඳා ඩැහැගෙන අහසට නැගී ගියේය. එහා ඉවුරෙහි සිටි පුතා මව නදියෙහි මැඳ සිටි දෑතින් මහහඬ නගන නිසා මට හඬගසන්නේයයි සිතා වේගයෙන් වතුරට පැන්නේය. මෙසේ ඇගේ බාලපුතා උකුස්සා ඩැහැගෙන ගියේය. දෙටුපුතා ජලය පැහැරගෙන ගියේය. ඈ මගේ එක පුතෙක් උකුස්සකු විසින් ගන්නාලදි. එකෙක් ජලපහර මගින් ගසාගෙන ගියේය. සැමියා පාරෙහිදී මළේයයි හඬමින් වැලපෙමින් යන්නී සැවැත්නුවර සිට එන එක් පුරුෂයකු හමුවී ඔබ කොහි වසන්නෙක්දැයි ඇසුවාය. මෑණියනි, මම සැවැත්නුවර වසමි. සැවැත්නුවර අසවල් වීථියේ මෙබදු පවුලක් වෙයි. ඒ ගැන ඔබ දන්නෙහිදැයි ඇසුවාය. මෑණියනි, එසේය මම එය දන්නෙමි. ඒ ගැන මගෙන් නොඇසුව මැනවි. වෙන ඕනෑම ඔබ දන්නා දෙයක් ගැන අසන්නැයි ඔහු කීවේය. මට වෙනත් දෙයකින් වැඩක් නැත. ඒ ගැනම අසමියි කීවාය. මෑණියනි, ඔබ මා වළකන දේම අසන්නෙහිය. අද මුළු රෑ පුරා වැසි වැස්ස බව දැක්කෙහිද? දරුව එසේය, දැක්කෙමි. ඒ වැස්ස මටම වැස්ස බව පසුව කියමි. දැන් ඒ සිටුගෙදරටවූ දෙය කියන්නැයි ඉල්ලා සිටියාය.

මෑණියනි, අද රෑ වැස්සෙන් සිටුවරයාත්, සිටුභාර්යාවත්, සිටුපුතාත් යන තිදෙනාම යටකරගෙන ගෙය කඩා වැටුණේය. ඔවුහු අර පෙනෙන එකම දරසෑයේ පිළිස්සෙති. අර දුම මෑණියනි, අර දුම පෙනෙන්නේ ඒ දරසෑයෙනි. ඈ ඒ වේලාවේ ඇඳ සිටි වස්ත්‍ර‍ වැටෙද්දීත් ඒබව නොදත්තාය. උමතුබවට පැමිණ උපන් හැටියෙන්ම හඬමින් විලාප කියමින්,

දරු දෙදෙනා නැසුණා

හිමියා මගදී මැරුණා

මව පියා සහ සොහොයුරු

එකම සෑයක දැවුණා

යනාදිය කියමන් දුවන්ට පටන්ගත්තාය. ඒ දුටු මිනිස්සු කුණුකසල ආදියද පස්ද ගෙන ඇගේ හිස මත දමා කැටකැබිලිතිවලින්ද පහර දුන්හ.

දෙව්රම්වෙහෙරෙහි අටපිරිස් මැද වැඩ හිඳගෙන දහම් දෙසමින් සිටි බුදුරජාණන්වහන්සේ එන්නාවූ ඈ දුටුසේක. ඈ කල්ප ලක්‍ෂයක් පිරූපාරමිතා ඇති අභිනීහාර ලැබූ තැනැත්තියකි.

ඈ වනාහි පියුමතුරාබුදුන්ගේ කාලයෙහි ඒ බුදුන් විසින් එක් විනයධර තෙරණියක් අතින් ගෙන නන්දන වනයෙහි තබන්නාක් මෙන් එතදග්‍ර‍ පාළියෙහි තබනු දැක, මමත් ඔබවහන්සේ වැනි බුදුකෙනකුන්ගේ හමුවෙහි විනයධර තෙරණියන්ගේ අග්‍ර‍ස්ථානය ලබම්වායි ප්‍රාර්ථනා තැබුවාය.

පදුමුත්තර බුදුරජාණන්වහන්සේ අනාගතය බැලිය හැකි නුවණ විහිදුවා ඒ පැතුම සිද්ධ වනබව දැක අනාගතයෙහි ගෞතමනම් බුදුන්ගේ සසුනෙහි මැය පටාචාරී නමින් විනයධර භික්‍ෂුණීන් අතර අග්‍ර‍ස්ථානය ලබන්නීයයි ප්‍ර‍කාශකළහ.

එසේ පැතූපැතුම් ඇති, විවරණත් ලබා ඇති දුරසිට එන්නාවූ ඈ දුටු බුදුරජාණන්වහන්සේ මැයට මාමිස වෙනත් කිසිවෙක් පිහිටවීමට සමත් නොවේයයි සලකා ඈ විහාරයට අභිමුඛව එන්නට සැලැස්වූහ. පිරිස ඈ දුටු හැටියේම මේ පිස්සියට මෙහි එන්නට ඉඩ නොදෙව්යයි කීවාහුය. බුදුරජාණන්වහන්සේ පහව යව්. ඈ නොවළක්වව්යයි කියා, සමීපයට ආකල්හි, නැගණිය සිහිඑළවා ගන්නැයි කීහ. ඈ එකෙණෙහිම බුද්ධානුභාවයෙන් සිහිය ලැබුවාය. එකල ඇඳසිටි වස්ත්‍ර‍ ගැළවී ගොස් ඇති බව දැන හිරිඔතප් ඇතිකරගෙන උත්කුටිකව හිඳගත්තාය. ඉන්පසු එක් පුරුෂයෙක් ඈ වෙත උතුරුසළුවක් විසි කෙළේය. ඈ එය ඇඳගෙන බුදුන් වෙත එළඹ රන්වන් පාදයෙන් පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි, මට පිහිටවන්නැයි කියා, මගේ එක පුතෙක් උකුස්සෙකු පැහැර ගන්නා ලදි. අනිකා වතුරේ ගසාගෙන ගියේය. ස්වාමියා මාර්ගයෙහිදී මළේය. මව පියා සහ සොහොයුරා ගෙට යටවී මැරී එකම දර සෑයක දැවෙන්නෝයයි කීවාය.

බුදුරජාණන්වහන්සේ ඇගේ වචන අසා පටාචාරවනි, අමුත්තක් නොසිතව. ඔබට පිහිටවීමට, සරණ ලබාදීමට සමත් අය ළඟටම පැමිණියේයය වදාළහ. යම් ලෙසකින් ඔබේ එක් පුත්‍රයෙක් උකුස්සකු විසින් ඩැහැ ගත්තේද, අනිත්පුතා ජලයෙහි ගිළී ගියේද, ස්වාමියා මගදී මළේද, මව පියා සහ සොහොයුරා ගෙට යටවී මැරී ගියෝද, මෙසේ මේ සසර ගමනේදී පුත්‍රාදීන් මළ අවස්ථාවල ඇඬූ ඔබගේ දෑසින් වැගුරූ කඳුළු සතරමහා සමුද්‍රයෙහි ජලයට බොහෝ වැඩියයි වදාරා මේ ගාථාවද වදාළහ:

සතර මහා සාගර ජලයට වැඩී

බොහෝ කඳුළු දෑසින් වගුරා ඇත

මිනිසා ශෝකෙන් දුකෙන් පෙළෙනවිට

යහළුව ඔබ ඇයි තව පසුවෙන්නේ

මෙසේ ශාස්තෘන්වහන්සේ අනමතග්ග පර්යාය (කෙළවරක් නැති සසර පිළිබඳ විස්තරය) වදාරන විට ඇගේ ශරීරයෙහිවූ ශෝකය තුනීවී ගියේය. ඉන්පසු ඇගේ ශෝකය තුනීවී ගියබව දැන ශාස්තෘන්වහන්සේ ඈ අමතා පටාචාරාවෙනි, දූදරුවෝ වනාහි පරලොව යන්නාට පිහිටක්, සරණක් ආරක්‍ෂාවක් හෝ ලබාදීමට සමර්ථ නොවෙති. එහෙයින් ඔවුන් සිටියත් නැත්තාක් මෙනි. පණ්ඩිතයන් විසින් කළයුතුව ඇත්තේ සීලයෙන් පිරිසිදුව තමන්ගේ නිර්වාණගාමිණී මග වහවහා පිරිසිදු කරගැනීමයයි වදාරා දහම් දෙසමින් මේ ගාථාද ප්‍ර‍කාශ කළහ:

පුතුන් දූවරුන් පිට නෑයන්

වෙනත් අයෙකුගෙන් හෝ පිහිටක් නැත

මරුවා ඇවිදින් කැඳවන දවසෙදි

කිසිවෙකුනේ පිහිටක් නම් නොලැබේ

නුවණැතියෝ මේ බව වටහාගත්

සීල සමාදි ගුණයෙන් යුතුවෙති

නිවන් ගමන් යන පාරත් දැනගෙන

වහාම එය පිරිසිදු කෙරෙතී

දේශනාවසානයෙහි පටාචාරාව මහපොළොවේ පස් පමණවූ කෙලෙස් දවාලා සෝවාන්ඵලයෙහි පිහිටියාය. අනිත් බොහෝ අයත් සෝවාන්ඵලාදියට පැමිණියාහුය. ඕතොමෝ සෝවාන්ව ශාස්තෘන් වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියාය. ශාස්තෘන්වහන්සේ ඈ භික්‍ෂුණීන් වෙත යවා පැවිදි කළහ. ඈ උපසම්පදාවද ලබා සිඳීගිය ආචාරය නැවත ලැබූ හෙයින් පටාචාරා නමින්ම ප්‍ර‍කටවූවාය.

එක්දිනක් ඈ කළයෙන් වතුර ගෙන පා සෝදන විට ගළාගිය ජලය ටික දුරක් ගොස් සිඳීගියේය. දෙවෙනි වර වත්කළ විට ඊට වඩා දුරක් ගියේය. තුන්වෙනි වර ඊටද වඩා දුරක් ගියේය. ඈ එයම අරමුණු කොටගෙන තුන් වයස ගැන මෙනෙහි කරමින් මා පළමුවෙන් දැමූ වතුර මෙන් මේ සත්ත්වයෝ ප්‍ර‍ථම වියේදීත් මැරෙති. එයින් දුරට ගිය දෙවෙනි වර වත්කළ ජලය මෙන් මැදුම් වියේදීත් මැරෙති. එයිනුත් ඈතට ගිය තෙවෙනි වර වත්කළ ජලය මෙන් පශ්චිම වියෙහිදීත් මැරෙත්මැයි සිතුවාය. බුදුහු ගඳකිළියෙහි හිඳගෙනම ආලෝකයක් පතුරුවා ඈ ළඟ සිට කථා කරන්නාක්මෙන් පටාචාරාව එසේමයි. පංචස්කන්ධයන්ගේ උදාව හා නැසීම නොදන්නාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා ඒ ස්කන්ධයන්ගේ උදයව්‍යය දකින්නාගේ එක් දිනක්, එක මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයයි කියා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:

පස්කඳුන් ඇති නැති

වීම නොදැන සියවසක්

ජීවත්වීමට වඩා

එදැන දවසක් සිටිනු යහපති

එහි අපස්සං උදයව්‍යයං යනු පඤ්චස්කන්ධයන්ගේ විසිපස් ආකාර ලක්‍ෂණයන් අනුව ඉපදීමත් නැතිවීමත් නොදක්නා පුද්ගලයායි. පස්සතො උදයව්‍යයං යනු ඒ පංචස්කන්ධයන්ගේ ඉපදීමත් මැරීමත් දකින්නාගේ එක් දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨ බවයි. දේශනාවසානයෙහි පටාචාරාව පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාය.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.