යො ච වස්සසතං ජීවෙ දුස්සීලො අසමාහිතො
එකාහං ජීවිතං සෙය්‍යො සීලවන්තස්ස ඣායිනො.
දුශ්ශීල වූ, (උපචාරසමාධි අර්‍පණාසමාධියෙන්) සමාහිත නොවූ, යම් පුඟුලෙක් ඉදින් හවුරුදු සියයක් ජීවත් වන්නේ ද, ඔහුගේ ජීවත් වීමට වඩා සිල්වත් වූ, ශමථවිදර්‍ශනාභාවනායෙහි යෙදුනහුගේ එක් දවසකුදු ජීවත් වීම උතුමි.
යො ච වස්සතං ජීවෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ සංකිච්ච සාමණේරයන්වහන්සේ නිමිති කරගෙන දේශනා කරනලදි.
සැවැත්නුවර කුලපුත්‍රයෝ තිස්දෙනෙක් බුදුන්ගෙන් බණ අසා සසුනෙහි පැහැදී පැවිදිවූහ. ඔවුහු උපසම්පදාවෙන් පස්වසක් ගෙවුණු පසු බුදුන් ළඟට පැමිණ මේ සසුනෙහි ග්‍රන්ථධුර විපස්සනාධුර වශයෙන් ධුර දෙකක් ඇතිබව අසා ඇත්තෙමු. අපි වයසට පත්ව පැවිදිවූ නිසා ග්‍රන්ථධුරයෙහි උත්සාහවත් නොවී විපස්සනාධුරය පුරනුකැමතිව රහත්බව දක්වා කමටහන් කියවාගෙන එක් අරණ්‍යායතනයකට යන්නෙමුයයි බුදුරදුන්ගෙන් විමසූහ.
ශාස්තෘන්වහන්සේ, කිනම් තැනකට යන්නහුදැයි අසා, අසවල් තැනටයයි කීකල්හි එහි එක් ඉඳුල් කන්නෙකු නිසා භයක් උපදින බවත් එය සංකිච්ච සාමණේරයන් නිසා දුරුවනබවත් ඉන්පසු ඔවුන්ගේ පැවිදිවීමේ බලාපොරොත්තුව සම්පූර්ණ වනබවත් දැක ගමනට අවසර දුන්හ. සංකිච්ච සාමණේරනම සැරියුත්හිමියන්ගේ සත්හැවිරිදි ගෝළනමකි. උන්වහන්සේගේ මව සැවැත්නුවර පොහොසත් පවුලක දියණියකි. ඈ ඔහු කුසෙහි උපන්කල එක්තරා රෝගයකින් හදිසියේම කළුරිය කළාය. ඈ දවා පුළුස්සන අවස්ථාවේ දරුගැබ නොදැවී සෙසු මස් දැවී ගියේය. ඇගේ ගර්භාසය චිතකයෙන් ඉවතට ගෙන දෙතුන්පලක් උල්වලින් විද්දාහ. උලේ කෙළවර දරුවාගේ ඇස් කොණේ ඇනුණේය. මෙසේ ගැබ්මස විද අඟුරු ගොඩක තබා අඟුරුවලින්ම වසා ගියෝය.
ගර්භමාංශය දැවී ගියේය. අඟුරුගොඩ මතුපිට රන්පිළිමයක් වැනි දරුවෙක් නෙලුම් මලක හිඳිනාක් මෙන් සිටියේය. අන්තිම ජාතියෙහි උපදින සත්ත්වයන් මහමෙරෙන් පහළට දැම්මත් රහත් බව නොලබා මිය යන්නේ නැත. දෙවෙනි දිනයේ චිතකය නිවා දැමීමට පැමිණි අය අඟුරු මත සිටි දරුවා දැක විස්මයට පත්වූහ. මුළු ශරීරයක්ම දවාලන්ට සමත් මේ දරගොඩක් දැවෙද්දී මේ දරුවා නොදැවුණේ කෙසේද? මෙහි කිසියම් අමුතු කරුණක් තිබිය යුතුයයි දරුවා රැගෙන ඇතුළුගමට ගොස් නිමිති කියන්නන්ගෙන් ඒ ගැන ඇසූහ.
නිමිති කියන්නෝ යම් හෙයකින් මේ දරුවා ගිහිගෙයි සිටියොත් ඔහුගේ හත්වෙනි කුලපරපුර දක්වා සියලුම නෑදෑයෝ දුප්පතුන් බවට පත්වන්නාහුය. ඉදින් මොහු පැවිදි වන්නේ නම් පන්සීයක් පමණවූ ශ්‍රමණ පිරිසක් පිරිවරා සිටින්නේයයි දන්වා සිටියෝය. උලෙන් ඇනීමේදී ඔහුගේ ඇස් කෙළවර බිඳී ගිය නිසා සංකිච්චයයි නම් කළහ. හෙතෙම පසු කාලයෙහි සංකිච්ච නමින් ප්‍රකට විය. ඉන්පසු ඔහුගේ නෑයෝ වියයුත්තක් වේවායි සිතා වැඩුණු පසු අපේ ආර්යයන්වහන්සේ ළඟ පැවිදි කරන්නෙමුයයි පෝෂණය කළහ.
ඔහු සත්හැවිරිදි කාලය විට අනිත් කුමාරවරු, ඔබ මවුකුස් වසන කාලයෙහි ඔබේ මව කළුරිය කළාය. ඇගේ සිරුර දවන විට ඔබ නොදැවී සිටියෙහි යන කථාව අසා මම මෙපමණ බියකින් මිදුණෙමි. මේ ගිහිගෙයි වාසයෙන් මට වැඩක් නැත. පැවිදි වන්නෙමියි සිතා නෑයන්ට එය දැන්වූයේය. ඔවුහු දරුව, යහපතැයි සැරියුත්තෙරණුවන් ළඟට ගොස් ස්වාමීනි, මොහු පැවිදි කරන්නැයි කීහ. තෙරණුවෝ ඔහුට තචපංචක කමටහන් දී එදාම පැවිදි කළහ. හෙතෙම කරගෙයිදීම පිළිසිඹියාපත් සමග රහත්බවට පැමිණියේය. මේ සංකිච්ච සාමණේරයන්ගේ කථාවයි.
ශාස්තෘන්වහන්සේ සංකිච්ච සාමණේරයන් එහි ගිය කල භය නැතිවන බවත් එයින් ඔහුගේ පැවිදි කිස මුදුන්පත් වන බවත් දැන මහණෙනි, තොපගේ දෙටු සොහොයුරු සැරියුත්තෙරණුවන් දැක බලා යව්යයි වදාළහ. ඔවුහු යහපතැයි කියා තෙරණුවන් හමුවට ගොස් ඇවැත්නි ඇයිදැයි ඇසූවිට, අපි බුදුන් හමුවෙහි කමටහන් ලබා ආරණ්‍යයට යනු කැමැත්තෙන් සිටිවිට බුදුරජාණන්වහන්සේ නුඹලාගේ දෙටු සොහොයුරා හමුවී යන්නැයි වදාළහ. එනිසා අපි මෙහි ආවෙමුයයි කීහ.
තෙරණුවෝ බුදුරජාණන්වහන්සේ මෙහි විශේෂ කරුණක් දැක මොවුන් මා සමීපයට එවන්නට ඇතැයි ආවර්ජනා කොට, එම කරුණ දැනගෙන, ඔබලා අතර සාමණේර නමක් ඇද්දැයි ඇසූහ. නැත. එසේ නැත්නම්, මේ සංකිච්චසාමණේරනමත් සමග යන්නැයි කීහ. ඇවැත්නි, අවශ්‍ය නැත. සාමණේරයන් නිසා අපට යම් යම් බාධා ඇතිවිය හැකිය. කැලේ වසන අපට සාමණේරනමකගෙන් ප්‍රයෝජනයක් නැතැයි කීහ. ඇවැත්නි, එසේ නොවෙයි. මේ සාමණේරයන් නිසා ඔබවහන්සේලාට කිසිම බාධාවක් නොවෙයි. බුදුරජාණන්වහන්සේත් වනයට යෑමට ප්‍රථම මා හමුවී යන්නැයි ඔබවහන්සේලා මෙහි එව්වේත් ඔබ සැම සමග සාමණේරයන් පිටත්කරවීමේ බලාපොරොත්තුවෙනි. එහෙයින් මේ සාමණේරයනුත් සමගම යන්නැයි කීහ.
ඒ භික්‍ෂූහු යහපතැයි පිළිගෙන සාමණේරයනුත් සමග තිස්එක්දෙනා තෙරුන්ගෙන් අවසර රැගෙන විහාරයෙන් නික්මී චාරිකාවේ හැසිරෙමින් එක්සිය විසියොදුනක් දුරින් පිහිටි සහස්සකුලක නම් ගමට පැමිණියාහුය. මිනිස්සු උන්වහන්සේලා දැක පැහැදුණු සිතින් මනාකොට වළඳවා ස්වාමීන්වහන්සේ කොහි වඩින්නාහුදැයි අසා, ඇවැත්නි පහසු තැනකටයයි කීකල්හි, උන්වහන්සේලාගේ දෙපාමුල වැඳ සිට, ස්වාමීනි, ආර්යයන්වහන්සේලා මේ වස් තුන්මස මේ ස්ථානයෙහි වැඩ සිටියොත් අපට පන්සිල් සමාදන්ව පෙහෙවස් විසීමටද හැකිවේයයි ආරාධනා කළහ. උන්වහන්සේලා එය ඉවසා වදාළහ.
ඉන්පසු මිනිස්සු උන්වහන්සේලා සඳහා රෑ වසන තැන් දවල් වසන තැන් සක්මන්මළු පන්සල් ආදිය තනා, අද අපි, හෙට අපි ආදි වශයෙන් බෙදාගෙන බොහෝ උත්සාහයෙන් උපස්ථාන කළාහුය. තෙරුන්වහන්සේලා වස් වසන දිනයේ මෙසේ කථිකා කළහ. ඇවැත්නි, අපි ජීවමාන බුදුන් හමුවෙහි කමටහන් ලබාගත්තෙමු. වෙනත් පිළිවෙත්වලින් බුදුවරුන් සතුටු කිරීමට නොහැකිය. අප වෙනුවෙන් අපායේ දොරවල් විවෘතය. එහෙයින් උදේ වරුවේ පිඬුපිණිස හැසිරෙන වේලාවත් සවස මහතෙරුන් වෙත වතාවත් කරන වේලාවත් හැර අනිත් වේලාවක දෙදෙනෙක් එකතු නොවිය යුතුය.
යම් කෙනෙකුට අසනීපාදි අපහසුවක් වුවහොත් ඔහු ගෙඩිය ගැසූ කල ඔහු ළඟට ගොස් බෙහෙත් කරන්නෙමු. මෙතැන් පටන් ආරණ්‍යයෙහි රාත්‍රීකාලයේ හෝ දවල්කාලයේ අප්‍රමාදීව කමටහන්වල යෙදෙන්නෙමු.
උන්වහන්සේලා මෙසේ කථිකා කරගෙන වාසයකරන අතර, එක් දුප්පත් මිනිහෙක් දුවක් නිසා යැපෙන්නේ, එතැන ආහාරපාන හිඟ වෙනවිට අනිත් දුවණිය ළඟට යනු කැමැත්තෙන් පාරට බැස්සේය. තෙරුන්වහන්සේලා පිඬු පිණිස ගොස් සිඟාගෙන වසනා තැනට එන ගමන් අතරමග එක් නදියකින් නහා වැලිතලාවේ හිඳගෙන දානය වැළඳුවෝය. ඒ වේලාවේ අර දුගියාත් එතැනට පැමිණ එකත්පසෙක හිඳගත්තේය. තෙරුන්වහන්සේලා ඔහු කෙරෙහි කරුණාව උපදවා උපාසකය, හොඳටම බඩගින්නේ නොවේද, යන්න, කොළයක් ගෙනෙන්න අපි බත් පිඬුව බැගින් දෙන්නෙමුයයි කීවාහුය.
දුගියා කොළයක් ගෙනා පසු තමතමන් වළඳන ආකාරයෙන් සූප ව්‍යංජන සහිතව එක් එක් බත්පිඬ බැගින් දුන්නාහුය. මෙය බත් වැළඳීමෙහිදී ඇති වතකි. බත් වළඳන වේලාවෙහි බත් සොයා ආවවුන්ට බත් දෙන භික්ෂුව පළමුව නොදී තමන් වළඳන්ට සූදානම්ව ටිකක් හෝ බොහෝ හෝ දියයුතුය. එනිසා උන්වහන්සේලාත් එසේ දුන්හ. හෙතෙම බත් කා තෙරවරුන් වැඳ, ස්වාමීනි, අද ආර්යයන්ට ආරාධනා කොට දුන් දනක්ද? නැත උපාසකය, ආරාධනාවක් නැත. එසේවුවත් මිනිස්සු දිනපතා මේ අයුරින්ම ආහාර දෙති. ඔහු මෙසේ සිතීය. අපි හැමදාම මහන්සිවී වැඩකළේ මෙබඳු අහරක් ලැබීම අපහසුය. මා වෙනත් තැනකට යෑමෙන් වැඩක් නැත. මුන්වහන්සේලා ළඟම ජීවත්වන්නෙමියි සිතා තෙරුන්වහන්සේලාගෙන්, ස්වාමීනි, මම වතාවත් කරමින් මෙහිම වසන්ටදැයි ඇසීය. උපාසකය මැනවැයි උන්වහන්සේලා කීහ.
හෙතෙම උන්වහන්සේලා සමග ඒ වාසස්ථානයට ගොස් මැනවින් වතාවත් කරමින් භික්‍ෂූන් හොඳින් සතුටු කරගෙන, දෙමසකින් පමණ දුව දකින් කැමතිව, ඉදින් ආර්යයන්ගෙන් ඇසුවොත් මට යෑමට මා මුදා නොහරිනු ඇත. නොදන්වාම යන්නෙමියයි එසේ පිටත්විය. ඔහු අතින් සිදුවුණු ඕලාරික වැරැද්ද මෙපමණක්ම විය. ඔහු යන ගමන්මග එක් කැලයක් විය. එහි සොරු පන්සීයක් සිටියහ. ඔවුහු දෙවියන් උදෙසාවූ පොරොන්දුවක් විය. එය නම්, යමෙක් මේ වනයට ඇතුළු වුවහොත් ඔහු මරා ඔහුගේ ලේමස්වලින් ඔබට බිලිපූජා කරන්නෙමු යනු ඒ පොරොන්දුවයි. මෙසේ පොරොන්දු වී සත්වෙනි දිනය විය. එනිසා සත්වෙනි දිනයේ සොරදෙටුවා ගසකට නැගී මිනිස්සු එත්දැයි බලනවිට ඈතින් එන පුද්ගලයා දැක සොරුන්ට සංඥාවක් දුන්නේය.
සොරු ඔහු කැලෑව මැදට පැමිණිබව දැන වටකොට ඔහු අල්වා දැඩි ලෙස බැඳ ගිනිගාන ලීවලින් දරගිනි දල්වා මහා ගිනිගොඩක් කොට උල් සැස්සාහ. හෙතෙම ඔවුන්ගේ මේ ක්‍රියා දැක, ස්වාමීනි, මෙතැන ඌරන් හෝ මුවන් ආදි සතුන් දක්නට නැත. එසේනම් මේ සූදානම කුමක් සඳහාද? තෝ මරා තාගේ ලේමස්වලින් දේවතාවන්ට බිලිපූජා කිරීම සඳහායි. හෙතෙම මරණභයෙන් තැතිගෙන භික්‍ෂුන්ගෙන් තමා ලැබූ උපකාර අමතක කොට, හුදෙක් තම ජීවිතය ගැන පමණක් සිතා එය රැකගනු පිණිස, ස්වාමීනි, මම බඩගිනිකාරයෙක්මි. ඉඳුල්බත් කා ශරීරය පෝෂණය කරගත් විඝාසාද නම් කාලකණ්ණියෙක්මි. ආර්යයන්වහන්සේලා වනාහි නොයෙක් තැන්වලින් අවුත් පැවිදිවූවත් ක්ෂත්‍රියයෝමය. අසවල් ස්ථානයේ තිස්එක්නමක් භික්ෂූහු වාසය කරති. ඔවුන් මරා බිලිපූජාව කරනු මැනවි. එයින් ඔබගේ දේවතාවෝ අතිශයින් කියතියයි මේ කාලකණ්ණියාගෙන් වැඩක් නැත. ක්ෂත්‍රියයන් මරා බිලිපූජාව කරන්නෙමුයයි සිතා, එව, ඔවුන් වසනා ස්ථානය පෙන්වවයි ඔහුම මගපෙන්වන්නාකොට ගෙන පැමිණ විහාරමධ්‍යයෙහි භික්‍ෂූන් නොදැක භික්‍ෂූන් කොහිදැයි ඔහුගෙන් ඇසූහ.
හෙතෙම එහි දෙවසක් සිටි නිසා භික්‍ෂූන්ගේ කතිකාවතත් දන්නා හෙයින් මෙසේ කීවේය. දැන් භික්‍ෂූන්වහන්සේලා තමතමන්ගේ කුටිවලය. මේ ගෙඩිය ගසනු මැනවි. ඒ ගෙඩියේ ශබ්දයෙන් සියලු භික්‍ෂූහු මෙහි රැස්වන්නාහයි කීවේය. සොරදෙටුවා ගෙඩිය ගැසීය. භික්‍ෂූහු ගෙඩියේ හඬ අසා, අවේලාවේ ගෙඩිය ගැසීය. කිසිවෙකුට යම්කිසි අපහසුවක් වියහැකියයි අවුත් වෙහෙර මැද පිළිවෙලින් පැනවූ ගල්තලාවල වැඩහුන්හ. වැඩිමහලු සංඝස්ථවිරයන්වහන්සේ සොරුන් දෙස බලා, උපාසකවරුනි, මේ ගෙඩිය ගැසුවේ කවුදැයි විචාළහ. ස්වාමීනි, මා විසින්යයි සොරදෙටුවා පිළිතුරු දුන්නේය. ඒ කුමක් සඳහාද? ස්වාමීනි, වනදේවතාවුන්ට අප දෙනලද එක් පොරොන්දුවක් ඇත. එය නම් වනයට පිවිසෙන මිනිසුන් මරා බිලිපූජා කිරීමයි. එහෙයින් ඒ සඳහා එක් භික්‍ෂූවක් රැගෙන යන්නෙමුයි කීය. ඒ ඇසූ මහ තෙරණුවෝ, භික්‍ෂූන් අමතා, ඇවැත්නි, සහෝදරයන්ට මූණ දෙන්ට එළඹෙන කටයුත්ත දෙටු සොහොයුරා විසින් ඉටුකළ යුතුය. ඒ නිසා මම මගේ ජීවිතය ඔබවහන්සේලා වෙනුවෙන් කැපකොට මොවුන් සමග යන්නෙමි. ඒ සියල්ලන්ට උවදුරක් නොවනු සඳහාය. අප්‍රමාදීව මහණදම් පුරනු මැනවියි කීහ. ඉන්පසු දෙවෙනි තෙරණුවෝ, ස්වාමීනි, වැඩිමල් සහෝදරයාට පැවරෙන කටයුත්ත දෙවැන්නාටත් භාරය. එනසා මම යන්නෙමි. ඔබ වහන්සේලා නොපමාව මහණදම් පුරන්නැයි කීහ. මේ ආකාරයෙන් මමම යමි. මමම යමයි කියා පිළිවෙලින් තිස්දෙනාම ඉදිරිපත් වූහ. මෙසේ ඔවුන් එක මවකගෙ දරුවන් නොවුණත් එක පියෙකුගේ දරුවන් නොවුණත් වීතරාගී රහතන් නොවුණත් අනිත් සහෝදර පිරිසගේ යහපත උදෙසා තම දිවි පිදීමට පිළිවෙලින් ඉදිරිපත්වූහ. ඔවුන් අතර ඔබ යන්නැයි කියන්ට කිසිවෙක් නොවීය.
සංකිච්චසාමණේරයන්වහන්සේ ඒ අසා සිට ස්වාමීනි, ඔබවහන්සේලා නැවතුණ මැනවි. මම ඔබවහන්සේලා උදෙසා ජීවිත පරිත්‍යාගකොට යන්නෙමියි කීහ. ඇවැත්නි, අපි සියලු දෙනාම එකට මැරුණත් එකම ඔබ ඒ සඳහා මුදා නොහරින්නෙමු. ස්වාමීනි, ඒ කුමක් නිසාද? ඇවැත්නි, ඔබ ධම්මසේනාපති ශාරිපුත්‍රතෙරණුවන්ගේ ගෝළනමකි. ඉදින් ඔබ මේ සඳහා පිටත්කර හැරියොත් මගේ සාමණේර නම ගෙන ගොස් සොරුන්ට පවරා දුන්නාහුයයි තෙරණුවෝ අපට ගර්හා කරති. ඒ නින්දාවෙනි අපට ගැළවිය නොහැක. ඒ කරුණ නිසා ඔබ මුදාහැරිය නොහැකියයි කීහ. ස්වාමීනි, බුදුරජාණන්වහන්සේ ඔබවහන්සේලා මගේ උපාධ්‍යායයන්වහන්සේ වෙත එවන ලද්දේත් මගේ උපාධ්‍යයයන්වහන්සේ ඔබවහන්සේලා සමග මා මෙහි එවන ලද්දේත් මේ කාරණය දැනගෙනමයි. එනිසා ඔබවහන්සේලා නවතින්න. මමම යන්නෙමියි කියා සාමණේරනම භික්‍ෂූන් තිස්නමටම වැඳ, ස්වාමීනි, ඉතින් මා අතින් කිසියම් වරදක් විණිනම් මට සමාවුව මැනවැයි කියා පිටත්වුණේය.
ඒ අවස්ථාවේ ඒ භික්‍ෂූන්වහන්සේලාට මහා සංවේගයක් ඇතිවිය. ඇස්වල කඳුළු පිරුණේය. හදවත උණුවී වෙවුලා ගියේය. මහතෙරණුවෝ සොරා අමතා, උපාසකවරුනි, මේ ළදරුවෙකි. තෙපි ගිනිදල්වන, උල් සසින, කොළ අතුරන හැටි දැක බිය වෙන්ට පුළුවන. මේ දරුවා වෙන පැත්තකින් තබා එම වැඩ කරව්යයි කීහ. සොරු සාමණේරනමත් කැටුව ගොස් උන්වහන්සේ එක් පැත්තක තබා සියලු කටයුතු කළහ. වැඩ නිමවීමෙන් පසු සොරදෙටුවා කඩුව කොපුවෙන් එළියට ඇදගෙන සාමණේරයන් වෙත පැමිණියේය.
සාමණේරයන්වහන්සේ වැඩහුන් තැනම ධ්‍යානයට සමවැදී සිටියහ. සොරදෙටුවා කඩුවේ මුවහත් පැත්ත හරවා සාමණේරයන්ගේ ශරීරයට කෙටුවේය. කඩුවේ මුවහත උඩට හැරී ඉහළ කෙළවර දක්වා හැකිළී ගියේය. හෙතෙම හොඳින් පහර නොවැදුණේ යයි සිතා කඩුව තමන් ඉදිරි පසට ගෙන කෙටුවේය. කඩුව තල්කොළයක් මෙන් වෙළී කඩුමිට දක්වා හැකිළී ආවේය. ඒ වේලාවේ මේ සාමණේරනම මහමෙරින් පෙරළා දමා හෝ මරා දැමීමට සමතෙක් නැත. ඉතින් කඩුවකින් එය කෙසේවත් කළ නොහැකිය.
ඒ ප්‍රාතිහාර්යය දුටු සොරදෙටුවා, පෙර මගේ කඩුව ගල්කණුවක් වේවා, කිහිරිකණුවක් වේවා, කිළිල්කඩක් මෙන් කපාගෙන යයි. දැන් එය පළමුව නැමී ගියේය. දෙවෙනි වර තල්කොළයක් මෙන් හැකිළී ගියේය.
මේ කඩුව අචේතනිකවූත් මුන්වහන්සේගේ ගුණය දනියි. සචේතනික මම එය නොදනිමියි කඩුව බිම තබා උන්වහන්සේගේ පාමුල පපුවෙන් වැටී ස්වාමීනි, අපි ධනය සොයන්ට වනයට ආවෙමු. අප දුර සිට දකින දහස් ගණන් මිනිස්සු බියෙන් වෙවුලා වැටෙත්. දෙතුන් දෙනෙක් ගැන කියන්ට දෙයක් නැත. ඔබවහන්සේට සන්ත්‍රාසයක් (තැතිගැන්මක්) පවා නැත. රත්කළ රත්රනක් මෙන් සුපුෂ්පිත කිනිහිරිමලක් මෙන් ඔබේ මුහුණ බබළයි. ඒ කුමක් හෙයින්දැයි විමසමින් මේ ගාථාව කීවේය.
තැති ගැනම බිය හෝ
ඔබට නැත ඔබ හොඳින් බබළයි
හඬන්නෙත් නැත ඒ ඇයි
මෙතරම් බියක් තිබුණත්
සාමණේරයන්වහන්සේ ධ්‍යානයෙන් නැගිට ඔහුට දහම් දෙසමින් ඇවැත් ගැමියාණනි, රහතන්ගේ භවය හිසේ තිබූ බරක් බිම තැබුවාක් මෙන් වෙයි. ඒ හිස බිඳ දමන විටත් සතුටු වෙත්මය. බිය නොවන්නාහුයයි වදාරා මේ ගාථාද කීහ.
කිසිවෙක ඇළුම් නැති
රහතුන් සිතේ දුක් නැත
සියලු බියත් නැති කර
සියලු කෙලෙසුන් බිඳ දමා ඇත
බව රැහැන් සිඳලූ
දිටුදම් ඒ ලෙසම දුටු
මරණයට බිය නැති
රහතුන් බර හෙළා ඇත
හෙතෙම මේ කතාව අසා සිට පන්සීයක් තම අනුචරසොරුන් දෙස බලා, දැන් ඉතින් තෙපි කුමක් කරන්නහුදැයි ඇසීය. ස්වාමීනි, ඔබ කුමක් කරන්නෙහිද? මට නම් දැන් මෙබඳු ප්‍රාතිහාර්යයක් දැක ගිහිගෙයි විසීමෙන් පලක් නැතැයි සිතෙයි. මම ආර්යයන් ළඟ පැවිදි වෙමි. එසේනම් අපිත් එසේ කරන්නෙමු. යහපත දරුවනියි කී ඔහු අනුගාමීසොරුන් පන්සීයත් සමග සාමණේරයන් වැඳ පැවිද්ද ඉල්ලා සිටියහ.
උන්වහන්සේ, ඔවුන්ගේ කෙස් ඊතල කෙළවරින් කපාදමා ඇඳසිටි වස්ත්‍රවල වාටිකපා දමා ගුරුමැටි වතුරෙහි ලා පාකර ඒ කහවත් අන්දවා දසසීලයෙහි පිහිටුවා ඔවුනුත් රැගෙන යන ගමන්, ඉදින් මම අනිත් තෙරවරුන් හමු නොවී ගියොත් ඔවුන්ට මහණදම් පුරන්ට නොහැකි වන්නේය. සොරුන් මා ගෙන ගිය වේලෙහි පටන් උන්වහන්සේලාට ඇසේ කඳුළු නවතාගන්ට නොහැකිවිය. අපේ සාමණේරයන් මැරුවාහුද නැද්දයයි සිතන්නාවූ උන්වහන්සේලාට කමටහන් අභිමුඛ නොවෙයි. එහෙයින් උන්වහන්සේලා දැකම යන්නෙමියි සිතූහ. එසේ සිතා පන්සීයක් භික්‍ෂූන් පිරිවරා එහි ගොස් තමා දැකීමෙන් ලැබූ අස්වැසිල්ල ඇතිව, සත්පුරුෂ සංකිච්චයන්වහන්ස, කෙසේද ඔබ ජීවිතය ලද්දෙහිදැයි ඇසූ කල්හි ස්වාමීනි, එසේය, මොවුහු මා මරනු කැමැත්තෙන් ක්‍රියාකොට, එසේ කරනු බැරිවූ කල්හි මගේ ගුණ ගැන පැහැදී බණ අසා පැවිදිවූහ. මම ඔබවහන්සේලා දැක යන්නට මෙහි ආවෙමි. අප්‍රමාදීව මහණදම් පුරනු මැනවි. මම බුදුන් හමුවට යන්නෙමියි කීහ.
උන්වහන්සේ ඒ භික්‍ෂූන් වැඳ සෙසු අයත් සමග උපාධ්‍යායයන්වහන්සේ ළඟට ගොස්, සංකිච්චය ඔබ අන්තේවාසිකයනුත් ලැබුවෙහිදැයි ඇසූවිට, ස්වාමීනි, එසේයයි ඒ ප්‍රවෘත්තිය දන්වා සිටියහ. සැරියුත් තෙරණුවන්ද සංකිච්චය, යව බුදුරදුන් දකින්නයයි කීකල්හි, තෙරණුවන් වැඳ ඒ සාමණේරවරුනුත් සමග බුදුන් සමීපයට ගොස් ශාස්තෘන්වහන්සේ, කොහොමද සංකිච්ච, ඔබ අතවැස්සන් ලද්දේදැයි වදාළකල්හි ස්වාමීනි, එසේයයි ඒ පුවත දන්වා සිටියහ.
බුදුරජාණන්වහන්සේත් මහණෙනි, මේ ඇත්තදැයි ඇසූ කල්හි එසේය ස්වාමීනියි පිළිතුරු දුන්විට, මහණෙනි, තොපට සොරකම් කිරීමෙන් දුශ්ශීලයෙහි පිහිටා, අවුරුදු සීයක් ජීවත්වීමට වඩා, දැන් මේ සීලයෙහි පිහිටා එකදිනක් ජීවත්වීම උතුම්යයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.
දුසිල් නොදැමුණු ලෙස
වසර සියයක් සිටියත්
සුසින් දැහැන් ඇති අයගේ
එක්දින දිවිය වැදගති
එහි දුස්සීලො යනු සිල්නැති බවයි. සීලවන්තස්ස යනු දුස්සීල ඇත්තාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා දෙවැදෑරුම් ධ්‍යානයන්ගෙන් ධ්‍යානවත්වූ සිල්වතාගේ එක් දවසක් එක මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨය. උතුම්ය යන අර්ථයයි.
දේශනාවසානයෙහි ඒ පන්සීයක් භික්‍ෂූහු පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාහුය. පැමිණ සිටි පිරිසටද ඒ ධර්මදේශනාව ප්‍රයෝජනවත් විය.
පසු කලෙක සංකිච්චසාමණේරයන්වහන්සේ උපසම්පදාව ලබා දසවස් ඉක්මවා (ස්ථවිර බවට පත්ව) අතිමුත්තක නමින් සාමණේර නමක් පැවිදි කරගත්හ. ඔහු තමන්ගේම බෑණා කෙනෙකි. ඉන්පසු ඔහු අමතා, තෙරණුවෝ මෙසේ කීහ. ඔබ දැන් පිරිපුන් වයස් ඇත්තෙකි. ඔබ උපසම්පදා කරන්නෙමි. නෑයන් ළඟට ගොස් වයස් ප්‍රමාණය දැනගෙන එවයි පිටත්කර හැරියේය. හෙතෙම මවුපියන් ළඟට යන අතරමග බලියාග සඳහා මිනිසුන් මරමින් සිටි පන්සීයක සොරුන්ට දහම් දෙසා පැහැදුණු සිත් ඇති ඔවුහු, මෙහි අප ඇතිබව නොදැන්විය යුතුයයි මුදා හැරියෝය. ඉදිරි මාර්ගයෙන් එන්නාවූ මවුපියන් ඒ මාර්ගයෙන්ම යනබව දැනදැනත් තම සත්‍ය වචනය ආරක්‍ෂා කරමින් ඔවුන්ටද සොරුන් මග ඇතිබවක් නොදැන්වූහ. සොරු ඔවුන් අල්ලා තළාපෙළද්දීත් ඔබත් සොරුන් සමග එකතුවී අපට නොදැන්වීයයි කියකියා හඬන මවුපියන්ගේ ශබ්දය අසා ඒ සාමණේරයන් තම මවුපියන්ටවත් දන්වා නැතිබව වටහාගෙන ප්‍රසාදයට පත්ව උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියහ.
සාමණේරයන්වහන්සේත් සංකිච්චසාමණේරයන් මෙන් ඒ සියලුදෙනාම පැවිදිකොට උපාධ්‍යායයන් වෙත රැගෙන ගොස්, උන්වහන්සේ විසින් බුදුන් සමීපයෙහි යවන ලදුව එපුව දන්වා සිටියහ. ශාස්තෘන්වහන්සේ මහණෙනි එසේදැයි විමසා ස්වාමීනි, එසේයයි කීකල්හි පෙර පරිද්දෙන්ම අනුසන්ධි ගළපා දහම් දෙසමින් යථොක්ත ගාථාවම වදාළහ. මේ අතිමුත්තක සාමණේර වස්තුවත් පෙර කී පරිදිම දේශනා කරන ලද්දකි.