යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලොකෙ
සංවච්ඡරං යජෙථ පුඤ්ඤපෙක්ඛො
සබ්බම්පි තං න චතුභාගමෙති
අභිවාදනා උජ්ජුගතෙසු සෙය්‍යා.
මේ සත්ලොවෙහි පින්කිරීමෙහි අපේක්‍ෂා ඇති පුරුෂ තෙම (මඟුල් දවස් ආදියෙහි දිය යුතු) කිසි යම් කුඩා දානවස්තුවක් හෝ (කම්පල අදහා සකස් කොට සරහා දෙන ලද අමුතු මහ දනක් හෝ) හවුරුද්දක් මුළුල්ලෙහි (මුළු සක්වළැ ලොවී මහජනයාහට නිරතුරු) දුන්නේ ද, ඒ සියලු දානය ම (ආර්‍ය්‍යයන් කෙරෙහි පහන් සිතින් කය නමා වඳනාහුගේ එක් වටෙක පැවැති කුශලචේතනාව) සතර භාගයක් කළ කල එයින් එක් භාගයකුදු නො අගනේ ය. එ හෙයින් (කයවඞ්කාදි රහිත හෙයින්) ඍජු බවට පැමිණි ආර්‍ය්‍යයනට කය නමා කළ වන්‍දනාව ම උත්තම යි.
යං කිංචි යිට්ඨං ච යනාදි මේ ධර්ම දේශනාව ශාස්තෘන්වහන්සේ වේළුවනාරාමයෙහි වාසයකරන කාලයේ සැරියුත්තෙරණුවන්ගේ යහළු බ්‍රාහ්මණයෙකු නිමිතිකරගෙන දේශනා කරනලදි.
ඔහු ළඟටත් සැරියුත්තෙරුන්වහන්සේ වැඩමවා බ්‍රාහ්මණය, කිසියම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මංගල සම්මත දිනයන්හි දන්දෙමි. එකල්හි ඒ යාගය මහත් ධනවියදමින් කරමි. මින් ඉදිරියට තෙරණුවෝ පෙර පරිදිම විමසා ඔහු බුදුන් ළඟට පමුණුවා, ඒ පුවත දන්වා, ස්වාමීනි, මොහුට බ්‍රහ්මලෝකයට යන මාර්ගය කියනු මැනවැයි කීහ.
බ්‍රාහ්මණය, ඔබ අවුරුදු ගණන් යිට්ඨයෝගදාන දුන්නත් මගේ ශ්‍රාවකයෙකුට වැඳීමෙන් ලබන පිනෙන් හතරෙන් එකක් පමණවත් වටින්නේ නැතැයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ:
යමෙක් පින් පතමින්
යාගය කළත් වසරක්
බුදුසව්වෙකුට වැඳුමෙන්
ලබන පින හා නොසම වේ
එක් බුදුසව්වෙකුට වඳිනා
පිනෙන් හතරෙන් එකකට
පමණවත් සමනොවේමය
එහි යං කිංචි යනු ඉතිරි නොකර ගැනීමට යොදන වචනයකි. යිට්ඨං යනු බොහෝ සෙයින් මංගල සම්මත දිනයන්හි දෙන දානයයි. හුතං යනු කර්මයත් ඵලයත් ගැන පිළිගෙන සකස්කොට අමුත්තන්ට දන්දීමයි. සංවච්ඡරං යජෙථ යනු අවුරුද්දක් පුරා නිරන්තරයෙන් ඉහත සඳහන් අයුරින් මුළු සක්වළම සිටින ලෞකික මහජනයාට දුන්නත්, පුඤ්ඤපෙක්ඛො යනු පින් බලාපොරොත්තුවෙන් උජ්ජුගතෙසු යනු අවම වශයෙන් සෝවාන් හෝ උපරිම වශයෙන් රහතන්වහන්සේලාටයි. මෙහි කියනලද්දේ - එබඳු අය කෙරෙහි ප්‍රසාද සිතින් සිරුර නමා වඳින පුද්ගලයාගේ කුසල්චේතනාවෙන් යම් ඵලයක් ලබන්නේ නම් එයින් හතරෙන් එකක් පමණවත් ඒ සියලු යාග දානය නොවටී යන අර්ථයයි. එනිසා ආර්යයන් වෙත වන්දනමානන පූජා කිරීම අතිශයින් ශ්‍රේෂ්ඨය.
දේශනාවගේ කෙළවර ඒ බමුණා සෝවාන් ඵලයෙහි පිහිටියේය. තවත් බොහෝ දෙනාද සෝවාන් ඵලාදියට පැමිණියාහුය.