යො ච වස්සසතං ජන්තු අග්ගිං පරිචරෙ වනෙ
එකඤ්ච භාවිතත්තානං මුහුත්තමපි පූජයෙ
සා යෙව පූජනා සෙය්‍යා යඤ්චෙ වස්සසතං හුතං.
යම් පුරුෂයෙක් වෙනෙහි වැස (වෙනෙහිදි) ඉදින් හවුරුදු සියක් මුළුල්ලෙහි (කිරිබත් ගිතෙල් මී සකුරු ඉසීමෙන් සිදුහතු සුන්සාල් හීතණ ආදී යාග ද්‍රව්‍ය ගින්නෙහි බහා) වහ්නිපූජාව කෙළේ වේ ද, යම් පුරුෂයෙක් වනාහි (ශීලාදි ගුණ වශයෙන්) වඩන ලද සිත් ඇති එක් ආර්‍ය්‍යපුද්ගලයක්හු ඇසිල්ලකුදු (අහාරාදියෙන්) පිදූයේ වේ ද, හවුරුදු සියයක් මුළුල්ලෙහි කරණ ලද යම් වහ්නිපූජාවට වඩා ඇසිල්ලෙක ද ආර්‍ය්‍යයනට කරණ ලද ඒ ප්‍රත්‍යයපූජාව ම උත්තම යි.
යො ච වස්සසතං ජන්තු යන මේ ධර්මදේශනාව බුදුරදුන් වේළුවනාරාමයේ වසන සමයෙහි සැරියුත්තෙරණුවන්ගේ බෑණා වන බ්‍රාහ්මණයෙකු අරභයා දේශනා කරනලදි.
සැරියුත්තෙරණුවෝ මේ බමුණා ළඟටද ගොස් බ්‍රාහ්මණය, කිසියම් පිනක් කරන්නෙහිදැයි ඇසූහ. ස්වාමීනි, එසේය. කුමක් කරන්නෙහිද? මාස් පතා එක එක සතා බැගින් මරා ගින්නට (ගිනිදෙවියාට) පුදන්නෙමි. කුමක් බලාපොරොත්තුවෙන් එසේ කරන්නෙහිද? බඹලොවට යන මග එය නිසාය.
එසේ කීවේ කවුද? ස්වාමීනි, අපේ ආචාර්යවරයන් විසිනි. ඔබ බ්‍රහ්මලෝකයට යන මග නොදන්නෙහිය. ඔබේ ආචාර්යවරයනුත් එය නොදන්නහුය. මා සමග එන්න. බුදුන් සමීපයට යමුයයි ඔහුත් සමග බුදුන් ළඟට ගොස් ඒ ප්‍රවෘත්තිය කියා, ස්වාමීනි, මොහුට බ්‍රහ්මලෝකයට යන මාර්ගය කියා දෙනු මැනවැයි ඉල්ලා සිටියහ.
බුදුරජාණන්වහන්සේ මේ කියන්නේ සැබෑවක්දැයි බමුණාගෙන් අසා, භවත් ගෞතමයන් වහන්ස එසේයයි පිළිතුරු දුන් පසු, බ්‍රාහ්මණය, මෙසේ වර්ෂ සියයක් ගිනිපුදන තොපගේ ඒ ගිනිපූජාවට වඩා එකෙණෙහි මගේ ශ්‍රාවකයෙකුට කරන පූජාව වටින්නේයයි වදාරා පූර්වාපර සන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ:
වසර සියයක් හෝ
වනයෙහි ගිනි පිදීමෙන්
පලක් නැත ඒ වෙනුවට
මොහොතක් බුදුන් පිදුවොත්
එයම උතුම් කුසලකි
ගිනි පුදයකට වැඩියෙන්
එහි ජන්තු යනු සත්ත්වයන්ට කියන තවත් නමකි. අග්ගිං පරිචරෙ වනෙ යනු ප්‍රමාද නොවීම පතා වනයට ගොස් එහි ගිනි පුදන්නේද, සෙස්ස පෙර කී පරිදිමය. දේශනා කෙළවර බොහෝ දෙනා සෝවාන් ඵලාදියට පැමිණියාහුය.