25-11 වක්කලි ස්ථවිරයන් වහන්සේ

පාමොජ්ජබහුලො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ

අධිගච්ඡෙ පදං සන්ත, සඞ්ඛාරූපසමං සුඛං.

පියෙවියෙන් ම බුදුරජුන් කෙරෙහි සතුට බහුල වූ, බුදුසස්නෙහි පහන් වූ මහණ තෙම එ හෙයින් ම ඒකාන්ත සුඛ වූ ශාන්තපදයට (නිවනට) පැමිණෙන්නේ ය.

වක්කලි ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර බ්‍රාහ්මණ කුලයෙක ඉපිද වැඩි විය පැමිණියාහු දවසක් පිඬු සිඟා වැඩිය බුදුරජානන් වහන්සේ දුටහ. එහි දී උන්වහන්සේගේ දෙහශොභාව බලා ඒ දැකීමෙන් සෑහීමට නො පැමීන “පැවිදි වූයෙම් නම් නිතර බුදුරජුන් දැක්ක හැකි ය”යි බුදුරජුන් වෙත ගොස් පැවිදි වූහ. ඉන් පසු යම් තැනක සිටි කල්හි බුදුරජුන් දැක්ක හැකි නම් එ තැනට ගොස් හැදෑරීම් කමටහන් වැඩීම් කමටහන් මෙනෙහි කිරීම් හැර දමා බුදුරජුන් දෙස බලමින් සිටිත්. බුදුරජානන් වහන්සේ වක්කලි තෙරුන්ගේ නුවණ මෝරා යන තුරු කිසිත් නො බැණ සිට නුවණ මෝරා ගිය පසු “වක්කලි! දෙතිස් කුණු කොටසින් පිරී ගත් මාගේ සිරුර දෙස බලබලා ඉඳීමෙන් තමුසේට ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? වක්කලි! යමෙක් නුවණැසින් ධර්‍මය දකී නම් හේ මා දක්නේ වන්නේ ය”යි අවවාද කළ සේක. මෙසේ අවවාද කරණ ලද්දාහු ද වක්කලි ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් නො දැක ඉන්නට අපොහොසත් වූහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ “මේ මහණ සංවේගයක් නො ලබා ධර්‍මාවබෝධය නො කරන්නේ ය”යි වස් වසන දවස ලං ව තිබිය දී රජගහා නුවරට වැඩම කොට වස් වසන දවසෙහි “වක්කලි! මෙතැනින් පලා යව”යි නෙරපා හැරිය සේක.

ඉක්බිති වක්කලි ස්ථවිරයන් වහන්සේ, “බුදුරජානන් වහන්සේ මා හා කතා නො කරණසේකැ”යි සංවේගයට පැමිණියහ. එහෙයින් තෙමසක් ම බුදුරජුන් ඉදිරියෙහි සිටින්නට අපොහොසත් වූ ඒ ස්ථවිරයන් වහන්සේ “බුදුරජුන් නො දක්නා මේ ජීවිතයෙන් මට වැඩෙක් නැත, කන්දක් මුදුනට නැගී එයින් පැන දිවි නසා ගණිමි”යි ගිජුකුළු පවු මුදුනට නැංගාහ. බුදුරජානන් වහන්සේ ඔහු විඳින වෙහෙස දැක “මේ මහණ මා වෙතින් අස්වැසිල්ලක් නො ලැබූයේ නම් මාර්‍ග ඵලයන් ලබා ගැණීමට ඇති වාසනාව ද නසා ගන්නේ ය” යි තමන් වහන්සේ පෙණෙන පරිදි ආලෝක ධාරාවක පතුරුවා හැරිය සේක. ඒ ආලෝකාධාරායෙන් බුදුරජුන් දුටු වක්කලි තෙරු‍න්ගේ මහත් වූ ශොක්ය බුදුරජුන් දුටු කෙණෙහි ම පහව ගියේ ය. බුදුරජානන් වහන්සේ වියලී ගිය විලක් මහත් දිය පහරකින් පුරන්නා සේ වක්කලි තෙරුන්ට ප්‍රීතිප්‍රාමොද්‍යය බලවත් සේ උපදවාලන්නට මේ ධර්‍මදේශනාව කල සේක.

පාමොජ්ජබහුලො භික්ඛු පසන්තො බුද්ධසාසනෙ,

අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛන්ති.

ප්‍රාමොද්‍යය බහුල කොට ඇති බුදුසසුන්හි පහන් වූ මහණ තෙමේ සංස්කාරයන් සන්සිඳු වන්නා වූ එහෙයින් සැප වූ ශාන්ත පදයට පැමිණෙන්නේ ය. ශාන්ත පදය ලබන්නේ ය.

පාමොජ්ජබහුලො භික්ඛු පසන්තො බුද්ධසාසනෙ = ප්‍රාමොද්‍යය බහුල කොට ඇති මහණ තෙමේ බුදුසසුන්හි පහන් වූයේ.

අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං = සංස්කාරයන් සින්සිඳුවන්නා වූ එහෙයින් ම සැප වූ ශාන්ත පදයට පැමිණෙන්නේ ය.

ප්‍රකෘතියෙන් ප්‍රාමොද්‍යය බහුල කොට ඇති මහණ තෙමේ බුදුසසුන්හි පැහැදීම රුචි කරන්නේ ය. ඔහු මෙසේ බුදුසසුන්හි පහන් වූයේ සියලු සංස්කාරයන් මුළුමනින් සන්සිඳුවන්නා වූ එහෙයින් එකාන්තයෙන් සැප වූ ශාන්තපද නම් වූ නිවනට පැමිණෙන්නේ ය. නිවන් ලබන්නේ ය.

මේ ධර්‍මදේශනාව කළ බුදුරජාණන් වහන්ස් වක්කලි දෙසට ශ්‍රීහස්තය දිගු කොට,

“බුදුහු දෙස ‍බලමින් - එව නො බව වක්කලි! මෙහි

උදුරා හරිමි මම තා - මඩෙරුණු ඇතකු සේ දැන්.

.

බුදුහු දෙස බලමින් - එව නො බව වක්කලි! මෙහි,

උදුරා හරිමි මම තා - රාහුගිලගත් හිරුසේ

.

බුදුහු දෙස බලමින් - එව නො බව වක්කලි! මෙහි,

උදුරා හරිමි මම තා - රාහු ගිලගත් සඳු සේ”

යන මේ තුන් ගය වදාළ සේක.

වක්කලි ස්ථවිරයන් වහන්සේ, “බුදුරජානන් වහන්සේ මා විසින් දක්නා ලද සේක, වෙහි එව,යි මා කැඳවන සේකැ”යි බලවත් ප්‍රීතිය උපදවා ගමන් මග නො දක්නාහු බුදුරජුන්ගේ ඉදිරියෙහි අහසට නැග පළමු පා, කන්දෙහි තිබිය දී ම බුදුරජුන් වදාළ ගාථාවන් ආවර්‍ජනා කරන්නාහු අහසෙහි දී ම ප්‍රීතිය යටපත් කොට පිළිසැඹියාවන් සමග රහත්බව ලැබූහ. ඉන්පසු බුදුරජුන්ට නමස්කාර කරමින් අහසින් බැස බුදුරජුන් ඉදිරියෙහි පෙණී සිටියහ. ටික දවසකට පසු බුදුරජානන් වහන්සේ වක්කලි තෙරුන් ශ්‍රද්ධාධිමුක්තක භික්‍ෂූන් අතුරෙහි අග්‍රස්ථානයෙහි තැබූ සේක.

වක්කලිස්ථවිර වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.