හත්‍ථසඤ්ඤතො පාදසඤ්ඤතො
වාචාය සඤ්ඤතො සඤ්ඤතුත්තමො
අජ්ඣත්තරතො සමාහිතො
එකො සන්තුසිතො තමාහු භික්ඛුං.
(යමෙක්) අතින් සංයත ද, පයින් සංයත ද, වචනයෙන් සංයත ද, කයින් සංයත ද, කමටහන් වැඩීමෙහි ඇලුනේ ද, සමාධියෙන් යුක්ත ද, එකලා ව හැසිරෙන්නේ ද, තුටු සිතැත්තේ ද, ඔහු භික්‍ෂුහු කොට කියති.
සැවැත් නුවර වැසි යහළුවෝ දෙ දෙනෙක් භික්‍ෂූන් වෙත පැවිදි ව ලැබූ උපසපන්බැව් ඇතියෝ නිතර නිතර එක් ව ම හැසිරෙත්. ඔවුහු දවසක් අචිරවතී ගඞ්ගාවට ගොස් නාලා අව්ව තපිමින් සතුටු සාමීචිකථායෙහි යෙදී සිටියහ. ඒ යහළු මහණුන් දෙ දෙනා අතුරෙහි තරුණ මහණ අහස පියාඹා යන හස්පැටවකු දැක ගල්කැටක් ගෙණ “අර පියාසර කරණ හස්පැටවාගේ ඇසට ගසමි”යි අනෙකාට කී ය. “එය තට කළ නො හැකි ය” යි ඒ මහණ කී කල්හි “මේ පැත්තෙහි ඇස තිබේවා, අනෙක් පැත්තෙහි ඇසැට ගසන්නෙමි”යි තුන්හුලස් ගල්කැටක් ගෙණ “බලා සිටින්නැ”යි කියා හංසයාගේ පසු පසට දමා ගැසී ය. ගල එන හඬ අසා හංසයා හැරී බලත් ම නැවැත වටකුරු ගල්කැටක් ගෙණ හංසයාට එල්ල කොට දමා ගැසී ය. ඒ ගල්කැටය හැරී බැලූ ඇසට වැදී අනික් ඇස ද පසා කර ගෙණ එලියට ආයේ ය. හංසයා ද මරහඬ තළමින් ඔවුන්ගේ පාමුල ඇද වැටුනේ ය. එහි සිටි අනෙක් භික්‍ෂූන් වහන්සේලා එය දැක “ඇවැත්නි! බුදුසසුනෙහි පැවිදි ව ගෙණ ප්‍රාණඝාතය කරන්නා වූ තොප විසින් කරණ ලද්දේ නො හොබිනා සැහැසි කමෙකැ”යි ගරහා උන් අල්ලා ගෙණ ගොස් බුදුරජුන්ට දැක්වූහ. උන්වහන්සේ “ඇත්තද, මහණ! තා විසින් සතෙක් මරණ ලදදෙහි?”යි අසා වදාළ කල්හි “ස්වාමීනි! එසේ ය”යි ඒ මහණ නො සඟවා කී ය. “මහණ! නිවන් පිනිස පවත්නා බුදුසසුනෙහි පැවිදි ව මෙසේ කෙළෙහි කුමක් නිසා ය? අබුද්ධොත්පාදයෙහි ද ගිහි ව වසන පැරණි පඬිවරු ඉතා කුඩා වූත් පව්කම්හි විළිබිය ඇති ව වරද නැත්ත, වරද ඇත්තක් සේ සිතා කුකුස් කළහ, තෝ මෙබඳු සසුනෙක පැවිදි ව ද කුකුස් පමණකුත් නො කෙළෙහි ය”යි වදාළ කල්හි එ තැන රැස් වූ භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! එය අපට වදාරණු මැනැවැ”යි ඉල්ලා සිටියහ. බුදුරජානන් වහන්සේ එ පුවත මෙසේ වදාළ සේක.
“යටගිය දවස කුරුරට ඉඳුපත් නුවර ධනඤ්ජය නම් රජෙක් රජය කෙළේ ය, බෝසත් තෙමේ ඔහුගේ මෙහෙසිය කුස පිළිසිඳ ගත්තේ මවු කුසින් බිහි ව නුවණැති බවට පැමිණ ශිල්ප උගන්නට තක්සලා නුවරට ගියේ ය, ගොස් ශිල්ප උගෙණ පෙරළා ආ කල්හි ඔහු පියරජු විසින් යුවරජ තනතුරෙහි තබන ලද්දේ ය, පසු දවස පියරජුගේ ඇවෑමෙන් මහරජ බවට පැමිණි බෝසත් තෙමේ දස රජ දම් නො වරදවා කුරුධර්‍මයෙහි පිහිටා දැහැමින් රජය කෙළේ ය, එහි කුරුධර්‍ම රැකීම නම්:- පන්සිල් රැකීම ය. බෝසත් රජ තෙමේ කුරුධර්‍ම නම් වූ පඤ්චසීලය පිරිසිදු කොට එක් ම සිකපදයකුත් නො කඩ කොට රකින්නේ ය, බෝසත් පඤ්චසීලය නො කඩ කොට රකින්නා සේ බෝසත්හුගේ මවු, අගමෙහෙසි යුවරද වූ මලනු, පෙරෙවිබමුණු, ඉඩම් ඇමැති, රියැදුරු, සිටු, ගොවිකම් ඇමැති, දොරටුපලු, නුවර හොබවන වණ්ණදාසී යන එකොළොස් දෙන කුරුධර්‍මය මැනැවින් රැකිය හ, එකල්හි කලිඟුරට දන්තපුරයෙහි කලිඟු රජ, රජය කෙළේ ය, ඒ කාලයෙහි ඔහුගේ රටෙහි වැසි බින්දුවෙක් නො ද වැටුනේ ය, මහාසත් හට අඤ්ජන වසභ නම් මහපිණැති මගුලැතෙක් වූයේ ය, එ දත් දන්තපුර වැස්සෝ ‘කුරුරට ඉඳුපත් නුවර රජුගේ මගුලැත් මහපිණැත්තේ ය, මේ කුළක් වැනි ය, ඌ මෙහි ගෙණ අවොත් වැසි වස්නේ ය,යි සිතා රජුට දන්වා සිටියහ, රජතෙමේ එබස් අදහා ඇතු ගෙණ ඊම පිණිස දන්ත පුරයට බමුණන් යැවී ය, ඔවුහු එහි ගොස්,
“දැන සැදෑ සිල් ගුණ - දන්නා ඔබගෙ, ඳුන්වන්,
මේ ඇතුට කහවණු අපි - පෙරැළිකරමෝ කළිඟූ”
යි දන්වා ඇතු ඉල්ලා සිටියහ,
මෙසේ කියා ඇතු ගෙණ ආවාහු ද, වැසි නො වට, ඉඳුපත් නුවර රජ කුරුධර්‍මය රක්නේ ය, වැසි වස්නේ එහෙයිනැ’යි දැන කලිඟුරජ, එරජු රක්නා කුරුධර්‍මය රන් තහඩුවක ලියවා ගෙණ එවු’යි එවර බමුණන් හා ඇමැතියන් හා යැවී ය, ඔවුන් එහි ගොස් කුරුධර්‍මය රන්තහඩුවෙක ලියවා දෙනු මැනැවැ යි ඉල්ලා සිටි කල්හි රජු මුල් කොට සිටි ඒ එකොළොස් දෙන තමන්ගේ සීලයෙහි කුකුස් උපදවා අපගේ සීලය අපිරිසිදු වනු ඇතැ’යි සිතා ඔවුන්ගේ ඉල්ලීම පිළිකෙව් කළහ, කලිඟුරටින් ගිය බමුණන් හා ඇමැතියන් හා ‘මෙ පමණෙකින් සීලභේදයෙක් නො වේ ය’යි නැවැත නැවැතත් ඉල්ලා සිටි කල්හි තම තමන් රැකි සිල් රන්පට ලියවා ඔවුනට දුන්හ, කලිඟු රජ තෙමේ රන්තහඩුවෙහි ලියවා ගෙන්වා ගත් කුරුධර්‍මය දැක ය සමාදන් ව ගෙණ මැනැවින් රැක්කේ ය, එකල්හි වැසි වස්නට පටන් ගත, රට ද උවදුරු නැත්තේ වී ය, කෑම්බීම් ආදියෙන් රට පිරී ඉතිරී ගියේ ය”යි.
බුදුරජානන් වහන්සේ යටගිය ඒ පුවත මෙසේ වදාරා, කෙළවර “එදා ගණිකා = උපුල්වන් මෙහෙණි ය, දොරටුපල් = පුණ්ණ ය, ඉඩම් ඇමැති = කච්චායන ය, ගොවිකම් ඇමැති = මොග්ගල්ලාන ය, සිටු = ශාරීපුත්‍ර ය, රියැදුරු = අනුරුද්ධ ය, පෙරෙවි බමුණු = කස්සප ය, යුවරජ = ආනන්‍දපණ්ඩිත ය, මෙහෙසි = රාහුල මාතා ය, මවු = මහාමායා දෙවි ය, කුරුරජ = බෝසත් ය යි ජාතකය ගළපා “මහණෙනි! පෙර නුවණැත්තෝ ඉතා මද වූ ද කුකුසක් උපන් කල්හි තමන්ගේ සීලභේදය ගැණ සැක ඉපද වූහ, තෝ මා වැනි බුදුකෙනෙකුන්ගේ ශාසනයෙහි පැවිදි ව ගෙණ ද ප්‍රාණඝාතය කරන්නෙහි, ඉතා බැරෑරුම් වූ පාපකර්‍මයක් කෙළෙහි ය, මහණහු අත්වලින් පාවලින් වචනයෙන් හික්මුනකු වියයුතු ය, යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
හත්‍ථසඤ්ඤතො පාදසඤ්ඤතො
වාචාය සඤ්ඤතො සඤ්ඤතුත්තමො,
අජ්ඣත්තරතො සමාහිතො
එකො සන්තුසිතො තමාහු භික්ඛුන්ති.
(යමෙක්) අතින් සංයත ද, පයින් සංයත ද, චචනයෙන් සංයත ද, කයින් සංයත ද, කමටහන්හි ඇලුනේ ද, සමාධියෙහි පිහිටියේ ද, එකලා ව හැසිරෙන්නේ ද, තුටුසිත් ඇතියේ ද, ඔහු භික්‍ෂු යි කියත්.
හත්‍ථසඤ්ඤතො = අතින් සංයත වූයේ. හික්මුනේ.
අත්නැටවීම් කෙළවීම් ආදියෙන් හා අතින් අන්හට පැහැරීම් ගැසීම් ආදියෙන් වැළකුනේ ‘හත්‍ථසඤ්ඤත’ නම්. හස්තවිකාර නැතියේ ය. “හත්‍ථකීළාපනාදීනං වා හත්‍ථෙන පරෙසං පහරණාදීනං වා අභාවෙන හත්‍ථසඤ්ඤතො” යනු අර්‍ත්‍ථකථා.
පාදසඤ්ඤතො = පයින් සංයත වූයේ. හික්මුනේ.
පානැටවීම් සැලීම් ආදියෙන් හා පයින් අන්හට පහරදීම් ආදියෙන් වැළකුනේ ‘පාදසඤ්ඤත’ නම්. පාදවිකාර නැතියේ ය.
වාචාය සඤ්ඤතො = වචනයෙන් සංයත වූයේ. හික්මුනේ.
මුසාවාද - පිසුණුවචන - ඵරුසවචන - සම්ඵප්පලාප යන චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වැළකුනේ ‘වාචාය සඤ්ඤත’ නම්. මෙ තෙමේ බොරු බස්, පරා බිඳහෙළන බස්, පරා සිත් පහරණ බස්, අරුත් තොර බස් නො කියන්නේ ය. “මුසාවාදාදීනං අකරණතො වාචාය සඤ්ඤතො” යනු අර්‍ත්‍ථකථා.
සඤ්ඤතුත්තමො = කයින් සංයත වූයේ. හික්මුනේ.
කය සැලීම් හිස එසවීම් බැම බිඳීම් ආදී වූ කායවිකාර නැතියේ ‘සඤ්ඤතුත්තම’ නම්. “කායචලන සීසුක්ඛිපන භමු විකාරාදීනං අකරණතො” යනු අර්‍ත්‍ථකථා.
අජ්ඣත්තරතො = කමටහන් වැඩීමෙහි ඇලුනේ.
ගොචරජ්ඣත්ත නම් වූ සතිපට්ඨානාදිකර්‍මස්තානභාවනායෙහි ඇලුනේ බැඳී සිටියේ ‘අජ්ඣත්තරත’ නම්. “ගොචරජ්ඣත්තසංඛාතාය කම්මට්ඨානභාවනාය රතො” යනු අර්‍ත්‍ථකථා.
සමාහිතො = සමාධියෙහි පිහිටියේ. සමාධියෙන් යුක්ත වූයේ ‘සමාහිත’ නම්. [1]
එකො = එකලා වූයේ. තනි ව හැසිරෙණුයේ.
සන්තුසිතො = මොනවට සතුටු වූයේ.
සතර ඉරියව්වේහි ම තනි ව හැසිරෙණුයේ, විදර්‍ශනාවට පටන් ගත් තැන් පටන් තමා අධිගමයෙන් හා නැත, චීවරාදිප්‍රත්‍යයයෙහි යථාලාබසන්තොෂාදියෙන් සතුටු වනුයේ ‘සන්තුසිත’ නම්. [2] “එකවිහාරී හුත්‍වා සුට්ඨුතුසිතො විපස්සනාචාරතො පට්ඨාය අත්තනො අධිගමෙන තුට්ඨමානසො” යනු අර්‍ත්‍ථකථා.
හස්තසංයමයෙන් පාදසංයමයෙන් වාක්සංයමයෙන් කායසංයමයෙන් යුක්ත වූ කමටහන් වැඩීමෙහි ඇලුනු සිත් ඇති එකඟබව ඇති එකලා ව හැසිරෙණ විදසුන් වැඩීමෙහි පටන් සතුටු වූ මහණ, භික්‍ෂු යි බුද්ධාදී වූ ආර්‍ය්‍යයෝ කියත්.
පෘථග්ජනකල්‍යාණයා පටන් සියලු ම ශෛක්‍ෂ්‍යයෝ තම තමන්ගේ අධිගමයෙන් සතුටු වන්නෝ ය. අශෛක්‍ෂ්‍ය වූ රහතුන් වහන්සේ සතුටුවූවාහු නම් වෙත්. “පුථුජ්ජනකල්‍යාණකං හි ආදිං කත්‍වා සබ්බෙපි සෙඛා අත්තනො අධිගමෙන සන්තුස්සන්තීති සන්තුසිතා, අරහා පන එකන්තසස්තුසිතොව” යනු අර්‍ත්‍ථකථා.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන්ඵලාදියට පැමිණියාහු ය.
හංසඝාතකභික්‍ෂු වස්තුව නිමි.