වස්සිකා විය පුප්ඵානි මද්දවානි පමුඤ්චති.
එවං රාගං ච දොසං ච විප්පමුඤ්චෙථ භික්ඛවො.
පර වැ මැලැවී ගියා වූ මල් වස්සිකා ලතාව (සමන් වැල්) (යම්සේ තුවටුයෙන් මුදා බිමැ හෙළා පියා ද), එ පරිද්දෙන් ම මහණෙනි, රාගය ද ද්වේෂය ද තොපගේ සන්තානයෙන් මුදා හැර පියවු.
පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් වෙතින් කමටහන් උගෙණ වන වැද මහණදම් කරන්නාහු අළුයම පිපී එදවස ම පරවී නටුවෙන් ගැලවී වැටෙන ඉද්දමල් දැක “මේ මල් නටුවෙන් ගැලවී වැටෙන්නට පෙරාතු ව අපි රාගාදි කෙලෙසුන්ගෙන් මිදී ගන්නෙමු”යි වැර ඇරඹූහ. ඒ අතර බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් බලා “මහණෙනි! මහණහු විසින් නම් නටුවෙන් ගැලවී වැටෙන මල්මෙන් සසර දුකින් ගැලවී ගන්නට මිදී ගන්නට උත්සාහ කටයුතු ය”යි වදාරා ගඳකිළියෙහි වැඩ හුන් සේක් ම ආලෝකධාරාවක විහිදුවා මේ ධර්‍මදේශනාව කළ සේක.
වස්සිකා විය පුප්ඵානි මද්දවානි පමුඤ්චති,
එවං රාගඤ්ච දොසඤ්ච විප්පමුඤ්චෙථ භික්ඛවොති.
සමන් මල් වැල, පරවී මැලවී ගිය මල් යම්සේ නටුවෙන් මුදා හෙළා ද, මහණෙනි! එසේ රාගය ද ද්වේෂය ද මුදා හරිවු.
වස්සිකා විය පුප්ඵානා මද්දවානි පමුඤ්චති = සමන් වැල, පරවී මැලවී ගිය මල් යම්සේ නටුවෙන් මුදා හෙළා ද,
එවං රාගං ච දොසං ච විප්පමුඤ්චෙථ භික්ඛවො = මහණෙනි! එපරිද්දෙන් රාගය ද ද්වේෂය ද මුදා හරිවු. [1] [2]
මහණෙනි! අළුයම පිපුනු ඉද්දමල් බඳු වදමල් ආදිය එ දවස ම සවස යම් සේ පරවී ගැලවී වැටේ ද, එසේ තමුසේලාත් තම තමන්ගේ සිත්හි පවත්නා වූ රාග ද්වේෂාදී වූ කෙලෙස් සිත් සතන්වලින් මුදා හළ යුතු ය යි බුදුරජානන් වහන්සේ මෙයින් වදාළ සේක.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂූන් වහන්සේලා රහත් බැව්හි පිහිට ගත්හ.
පඤ්චශත භික්‍ෂු වස්තුව නිමි.