යො මුඛසඤ්ඤතො භික්ඛු මන්තභාණී අනුද්ධතො
අත්‍ථං ධම්මං ච දීපෙති මධුරං තස්ස භාසිතං.
මුඛසංයත වූ යම් මහණෙක් නුවණින් යෙදී බණන සුලු ද, සන්හුන් සිතැත්තේ ද, අර්‍ත්‍ථයත් පාළියත් සකසා දක්වා ද, ඔහුගේ වචනය මිහිරි වෙයි.
කෝකාලික පිළිබඳ කතා පුවත “අථඛො කොකාලිකො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි” යනාදී විසින් ආ සූත්‍රයෙහි හා තදර්‍ත්‍ථ කථායෙහි හා දැක්ක හැකිය. කෝකාලික, පදුමනිරයයෙහි උපන් කල්හි ධර්‍මසභායෙහි “අනේ! කෝකාලික මහණ, තමන්ගේ කට නිසා විනාශයට පැමිණියේ ය, ඔහු දෑගසව්වන් වහන්සේට ඇණුම් බැණුම් කරත් ම පොළොව පැළී ගොස් විවර ව ගියා ය, ඔහු දැන් නිරයට වදිනු එකාන්ත ය” යි කතාවක් හට ගැණින. ඒ වේලෙහි බුදුරජානන් වහන්සේ එහි වැඩම කොට “මහණෙනි! තමුසේලා දැන් මෙහි කතා කරමින් හුන්නහු කුමක් දැ?”යි අසා දැන “මහණෙනි! කෝකාලික තමාගේ කට නිසා නිරය වැදුනේ මේ දැන් පමණක් නො වේ, පෙරත් කෝකාලික මහණ තමාගේ කට නිසා නටුයේ ය”යි වදාළ විට භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! එපුවත අසනු කැමැත්තම්හ, වදාළ මැනැවැ”යි ආරාධනා කළහ. උන්වහන්සේ එය මෙසේ වදාළ සේක.
“යටගිය දවස හිමවත් පෙදෙස එක් විලෙක ඉදිබුවෙක් විසී ය, හස් පැටවු දෙදෙනෙක් ගොදුරු සොයා යන්නාහු ඒ ඉදිබුවා දැක ඌ හා විශ්වාසයට පැමිණියාහු ය, දවසක් හස් පැටවු දෙදෙන ඉදිබුවාට කතා කොට “යහළු! අපේ මේ හිමවත සිත් කුළු පවු තෙලෙහි රන් ගුහායෙක සිත්කලු පෙදෙසෙක් ඇත්තේ ය, අප හා එහි යන්නට එව’යි කීහ, එකල්හි ඉදිබු ‘මම ඔතරම් දුර බැහැර කෙසේ යන්නෙම් දැ”යි ඇසී ය, “කට රැක ගෙණ යා හැකි නම් අපි තා ගෙණ යන්නෙමු” යි හස් පැටවුන් දෙදෙනා කී කල්හි ‘මම කට රැක ගන්නම්, මට එය කළ හැකි ය, ගෙණ යවු’යි කී ය, ඉක්බිති හස් පැටවු දෙදෙන යහපතැයි දඬුකඩක් ගෙණ ඉදිබුවාගේ කටට දී ඌ දඬුකඩ මැදින් කටින් අල්ලා ගත් පසු තුමූ දෙකෙළවර කටින් ඩැහ ගෙණ අහසට නැග පියාඹා ගියහ, හස් පැටවුන් දෙදෙනා එසේ ගෙණ යන ඉදිබුවා දුටු ගම්දරු කොල්ලෝ ‘හංසයෝ දෙදෙනෙක් ඉදිබුවකු දඬුකඩෙක එල්ලා ගෙණ යන්නාහ, බලවු’යි කෑකෝ ගසන්නට වූහ, එයැසූ ඉදිබු, යමක් කියන්නට සිතා කට හරිත් ම ඩැහැ ගත් දඬුකඩින් කට ගැලවී ගොස් බරණැස් නුවර රජගෙදොර මිදුලෙහි ඇද වැටී සිසී කඩට බිඳී ගියේ ය, හංසයන්ගේ පියාඹා යන ගමන ඉක්මන් බැවින් බරණැස් නුවර රජගෙදොර මිදුලට ලඟා වත් ම මෙය සිදු වූයේ ය” යි යටගිය පුවත මෙසේ වදාරා,
“ඉදිබු බස් බණනේ - තමා නැසුනේ එකතින්,
මුවෙන් ඒ ගත් දඬුකඩ - හැර බස් කියා නැසුනේ.
මෙ දැන නරවැරසෙට් - කුසල් බස් බණනේ හිත,
සුබැසි ද නො කල්හී සී - නුවණැති නො බැණ සිටුනේ,
බොහෝ කොට බිණුමෙන් ඒ - නැසුනු ඉදිබූ දක්නෙහි”
යන මේ දුකනිපාතයෙහි බහුභාණී ජාතකය විස්තර කොට “මහණෙනි! මහණහු කට රැක ගත්තකු සම ව හැසිරන්නකු උඩඟු නො වූවකු නිවුනු සිත් ඇතියකු විය යුතු ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යො මුඛසඤ්ඤතො භික්ඛු මන්තභාණී අනුද්ධතො,
අත්‍ථං ධම්මං ච දීපෙති මධුරං තස්ස භාසිතනන්ති.
මුඛයෙන් සංයත වූ නුවණින් දැන කියන සුලු වූ උඩඟු නො වූ යම් මහණෙක් අර්‍ත්‍ථයත් ධර්‍මයත් දක්වා ද, ඔහුගේ වචනය මිහිරි ය.
යො මුඛසඤ්ඤතො භික්ඛු මන්තභාණී අනුද්ධතො = මුඛයෙන් සංයත වූ නුවණින් දැන කියන සුලු උඩඟු නො වූ යම් මහණෙක්.
‘තෝ දාසයෙහි, සැඩොලෙහි, දුසිල් වෙහි, යනාදී විසින් උනුනට ජාත්‍යාදියෙන් ගටා නො බණනුයේ බොරුබස්, කේලාම් බස්, පරොස් බස්, නිසරු බස් නො බණනුයේ ‘මුඛසඤ්ඤත’ නම්. “දාසචණ්ඩාලාදයොපි ත්‍වං දුජ්ජානො, ත්‍වං දුස්සීලොති ආදීනං අවචනතාය මුඛෙන සඤ්ඤතො” යනු අර්‍ත්‍ථකථා.
මන්තා නම්: ප්‍රඥා ය. සරු බසක් වුව ද හිත බසක් වුව ද නුවණින් විමසා බලා කල් දැන පමණට කියන සුලු වූයේ ‘මන්තභාණී’ ය. සමහර තැනෙක මෙය ‘මත්තභාණී’ යි ද එන්නේ ය.
එකඟ වූ සිත් ඇතියේ නො ද විසුරුණු සිත් ඇතියේ ‘අනුද්ධත’ ය. පමණට කියන සුලු වූයේ ‘මන්තභාණී’ ය. යො - මුඛසඤ්ඤතො - මන්තභාණී - අනුද්ධතො යන මෙපදයෝ ‘භික්ඛු’ යනු වෙසෙසා සිටියෝ ය.
අත්‍ථං ධම්මං ච දීපෙති මධුරං තස්ස භාසිතං = අර්‍ත්‍ථයත් ධර්‍මයත් දක්වා ද ඒ මහණහුගේ බස් මිහිරි ය.
මෙහි භාෂිතාර්‍ත්‍ථය අත්‍ථ නම්. දේශනාධර්‍මය ධම්ම නම්. ඒ මේ භාෂිතාර්‍ත්‍ථය හා දේශනාධර්‍මය හා පරිමණ්ඩලපදබ්‍යඤ්ජනයෙන් ප්‍රකාශ කිරීම ‘දීපෙති’ යන ක්‍රියා පදයෙන් දැක්වේ.
මුඛසංයතා දී වූ ගුණයෙන් වෙසෙසුනු මහණහුගේ වචනය මිහිරි වේ. යමෙක් පාලිය නො කියා අර්‍ත්‍ථය ම කියා නම් එ ද, අර්‍ත්‍ථය නො කියා පාලිය ම කියා නම් එ ද, අර්‍ත්‍ථයත් පාලියත් යන දෙකම නො කියා නන් දොඩවා නම් එ ද මිහිරි නො වේ. යමෙක් පාලියට අනුකූලව අර්‍ත්‍ථයත් අර්‍ත්‍ථයට අනුගත වූ පාලියත් කියා නම් ඔහුගේ වචනය මිහිරි ය යි වදාළ සේක.
නො පිරික්සා තැන නො බලා කල්වේලා නො බලා පිරිස් නො බලා කටට පැමිණියක් ම කියන්නේ, එලොව මෙලොව දෙකින් පිරිහෙන්නේ ය. එහෙයින් කියන්නේ නම් පිරික්සා තැන බලා කල්වේලා බලා පිරිස බලා කියන්නේ ය. කිය යුතු ය.
එහෙත් හැමදා නිහඬ ව නො සිටින්නේ ය. නො සිටිය යුතු ය. නිහඬ ව නො සිටින්නේ ද පරාපෙළන තමන් හෙළාලන බස් නො කියන්නේ ය. නො කිය යුතු ය. පැමිනි කල් ඇත්තේ ම නො විසුරුණු බස් කියන්නේ ය. කිය යුතු ය. එහිලා:
“නාතිවෙලං පභාසෙය්‍ය න තුණ්හී සබ්බදා සියා,
අවිකිණ්නමිදං වාචං පත්තේ කාලෙ උදීරයෙ”
යන මෙය සිත්හිලා දැරිය යුතු ය. මෙසේ වාක්සංයමයෙන් යුක්ත වූයේ හැම තැන තෙද ඇතියේ වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය.
කෝකාලික වස්තුව නිමි.