සන්තකායො සන්තවාචො සන්තවා සුසමාහිතො
වන්තලොකාමිසො භික්ඛු උපසන්තො’ති වුච්චති.
ශාන්ත වූ කායද්වාර ඇති, ශාන්ත වූ වාග්ද්වාර ඇති, ශාන්ත වූ මනෝද්වාර ඇති, තුන්දොර මොනොවට පිහිටි, පහ කළ ලෝකාමිෂය (හෙවත් පස්කම්ගුණ) ඇති මහණ තෙම උපශාන්තයැ යි කියනු ලැබේ.
සන්තකාය ස්ථවිරයන් වහන්සේ කවදාවත් කො තැනකදීත් කිසි කරුණක් නිසාත් අත්පා සෙලවීක් නො කළ සේක. හැම වේලෙහි උන්වහන්සේ සන්හුන් අත්බැව් ඇති ව ම විසූහ. උන් වහන්සේගේ පැවැතුම් ජනප්‍රිය වූයේය. පෙර ජාතියෙහි සිංහ ව ඉපද සිට මෙහි උපන්හ. සිංහයෝ එක් දවසක් ගොදුරු ගෙණ රිදී රන් මැණික් පබළු ගුහාදීන් අතුරෙහි එක්තරා එකකට වැද සත් දවසක් රක්ගල් තලායෙහි හිරියල් සුණු මතු පිට නිදන්නාහ. සත්වනදා නින්දෙන් නැගිට වැදහොත් තැන බලා නගුට හෝ කන්පතක් හෝ අත්පා හෝ සලා ඒ හේතුවෙන් රක්ගල්තලායෙහි හිරියල් සුණු විසිර ඇති බව දකිත් ද, මෙය තාගේ ජාතියට, ගෝත්‍රයට නො සුදුසු ය’යි නැවැත සතියක් කෑම් බීම් හැර නිරාහාර ව නිදන්නෝ ය. යම් ලෙසකින් හිරියල් සුණු නො විසිර ඇති බව දකිත් ද, මෙය තාගේ ජාතියට ගෝත්‍රයට සුදුසු ය’යි ගුහායෙන් නික්ම සිරුර කිළිපොලා දසදිගබලා තෙවරක් සිංහනාද කොට ගොදුරු සොයා යන්නෝ ය. සන්තකාය ස්ථවිරයන් වහන්සේ එබඳු වූ සිංහයෝනියෙන් මිදී මෙ දවස මෙහි උපත ලැබූහ. උනවහන්සේගේ සන්හුන් පැවැතුම් දුටු භික්‍ෂූන් වහන්සේලා බුදුරජුන් කරා ගොස් “ස්වාමීනි! අප විසින් මෙයට කලින් සන්තකාය ස්ථවිරයන් වහන්සේ වැනි සන්හුන් පැවැතුම් ඇත්තෙක් නො දක්නා ලද විරූ ය, හුන් සිටි කිසි තැනක දී උන්වහන්සේගේ අත් පා සෙලවීමෙක් අපට දක්නට ලැබුනේ නැත, සිරුර කිලිපොළාලීමෙක් ද දක්නට නො ලැබුනේ ය”යි දන්වා සිටියහ. එයැසූ බුදුරජානන් වහන්සේ “මහණෙනි! මහණහු නම් සන්තකාය නම මෙන් කය - වචන - සිත යන තිදොරින් සන්හුන් විය යුතු ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
සන්තකායො සන්තවාචො සන්තවා සුසමාහිතො,
වන්තලොකාමිසො භික්ඛු උපසන්තොති වුච්චතී ති.
සන්සුන් කය ඇති සන්සුන් වචන ඇති සන්සුන් සිත් ඇති මනාසේ සන්සුන් වූ වමාරා දැමූ පස්කම්ගුණ ඇති මහණ තෙමේ සන්සුන් යි කියනු ලැබේ.
සන්තකායො = සන්හුන් කය ඇති.
සතුන් මැරීම් ආදී වූ කායද්වාරයෙන් සිදු වන පව්කමින් වැළකී සිටියේ ‘සන්තකාය’ නම්. මේ අටුවා :- “පානාතිපාතාදීනං අභාවෙන සන්තකායො” යනු.
සන්තවාචො = සන්හුන් වචන ඇති
බොරු බස් බිණීම් ආදී වූ වාග්ද්වාරයෙන් සිදු වන පව්කමින් වැළකි සිටියේ ‘සන්තවාච’ නම්. මේ අටුවා :- “මුසාවාදාදීනං අහාවෙන සන්තවාචො” යනු.
සන්තවා = සන්සුන් සිත් ඇති.
පරා අයත් දැයෙහි ගිජුකම් ආදී වූ මනෝද්වාරයෙන් සිදු වන පව්කමින් වැළකී සිටියේ ‘ සන්තවා’ නම්. මේ අටුවා : “අභිජ්ඣාදීනං අහාවෙන සන්තා” යනු.
සුසමාහිතො = මනාසේ සන්සුන් වූ.
කායාදිද්වාරත්‍රය මැනැවින් සන්හුන් බැවින් කායාදිද්වරත්‍රයෙන් සිදුවන පව්කම් නැත්තේ ‘සුසමාහිත’ නම්. මේ අටුවා : “කායාදීනං තින්නම්පි සුට්ඨුසමාහිතත්තා සුසමාහිතො” යනු.
වන්තලොකාමිසො භික්ඛු = වමාරා දැමූ පස්කම් ගුණ ඇති මහණ තෙමේ.
සෝවන් - සෙදගැමි - අනගැමි - රහත් යන සිවු මගින් වමාරා දැමූ නසා හැරිය ලෝකාමිෂය ඇත්තේ ‘වන්තලොකාමිස’ නම්. මේ අටුවා : “චතුහි මග්ගෙහි වන්තලොකාමිසස්ස වන්තතාය වන්තලොකාමිසො” යනු.
උපසන්තො ඉති වුච්චති = සන්සුන් යි කියනු ලැබේ.
සිත් සතන්හි රාගාදී වූ කෙලෙසුන් ඉතා සන්සුන් බැවින් ‘උපසන්ත’ නම්. මේ අටුවා: “ අබ්භන්තරෙ රාගාදීනං උපසන්තතාය උපසන්තො” යනු.
කායාදිද්වාරත්‍රයේ පව්කම් නො කරණ ආර්‍ය්‍ය මාර්‍ගයෙන් නසාලූ කම්සැපසෙවුම් ඇති කම්සැපසෙවුම් මුළුමනින් හැර සිටියා වූ එහෙයින් හොඳට තැන්පත් වූ මහණ තෙමේ ම ඉතා සන්සුන් යි කියයුතු ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ ස්ථවිර තෙමේ රහත් බැව්හි පිහිටියේ ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.
සන්තකාය ස්ථවිර වස්තුව නිමි.