මෙත්තාවිහාරී යො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ.
අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං.
යම් මහණෙක් මෛත්‍රීවිහරණ ඇත්තේ ද, බුදුසස්නෙහි අචල ශ්‍රද්ධා ඇත්තේ ද, එ බඳු මහණ තෙම සියලු සංස්කාරයන් සන්හිඳුවන අත්‍යන්ත සුඛය වූ ශාන්තපදය (නිවණ) ලබන්නේ ය.
සිඤ්ච භික්ඛු ඉමං නාවං සිත්තා තෙ ලහුමෙස්සති
ඡෙත්‍වා රාගං ච දොසං ච තතො නිබ්බාණමෙහිසි.
මහණ, මේ (අත්බව් නැමැති) නැව (එහි වූ මිත්‍යාවිතර්‍ක නැමැති ජලය ඉසීමෙන්) ඉස පිය. තා විසින් ඉස පියන ලද එය වහා ම (සසර සයුරැ නො ඇලී) නිවන්පුරට යන්නේ ය. රාග බැම්ම ද ද්වේෂ බැම්ම ද සිඳ ඉක්බිත්තෙන් නිවණට පැමිණෙන්නෙහි ය.
පඤ්ච ඡින්‍දෙ පඤ්ච ජහෙ පඤ්ච චුත්තරි භාවයෙ
පඤ්චසඞ්ගාතිගො භික්ඛු ඔඝතිණ්ණො’ති වුච්චති.
(සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමරාග ව්‍යාපාද යන) සංයෝජන පස (සෝවාන් ආදි යට තුන් මඟින්) සිඳින්නේ ය. (රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යන) උද්ධම්භාගිය සංයෝජන පස රහත් මඟින් සිඳැ දුරැ ලන්නේ ය. (උද්ධම්භාගිය සංයෝජනයන් නසනු පිණිස) ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රිය පස අධික කොට වඩන්නේ ය. මෙසේ කොට (රාග ද්වේෂ මෝහ මාන දෘෂ්ටි යන) සඞ්ග පස ඉක්මුනු මහණ තෙම කාමෝඝාදි සතර මහ වතුරෙන් එතෙර වූයේ යැ යි කියනු ලැබේ.
ඣාය භික්ඛු මා ච පමාදො
මා තෙ කාමගුණෙ රමෙස්සු චිත්තං
මා ලොහගුළං ගිලී පමත්තො
මා කන්‍දි දුක්ඛමිදන්ති ඩය්හමානො.
මහණ, ධ්‍යාන වඩව. තුන් සුසිරිතෙහි පමා නො වව. තාගේ සිත පස්කම් කොටස්හි නහමක් බමව. පමා වූයේ (පස්කම්හි ගිජු වූයේ) නිරයෙහි ඉපිද ලොහොගුළ නො ගිල. නිරා ගින්නෙහි දැවෙමින් මේ දුකැ යි නහමක් හඬ.
නත්‍ථි ඣානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්‍ථි අඣායතො
යම්හි ඣානං ච පඤ්ඤා ච ස වෙ නිබ්බාණසන්තිකෙ.
(ධ්‍යානෝත්පාදක වීර්‍ය්‍ය සම්ප්‍රයුක්ත) ප්‍රඥාව නැත්තහුට ධ්‍යානයෙක් නැත. භාවනා නො කරන්නාට ප්‍රඥාව නැත. යමක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇද්ද, හෙ තෙම ඒකාන්තයෙන් නිවනට සමීප ව සිටියේ ම වේ.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනො
අමානුසී රති හොති සම්මා ධම්මං විපස්සතො.
ශුන්‍යාගාරයකට (ජනවිවික්තස්ථානයකට) වන්, නිවුණු සිත් ඇති, රූපාරූපධර්‍ම මොනවට අනිත්‍යාදි වශයෙන් වෙසෙසින් බලන මහණහට අමානුෂක වූ (අෂ්ටසමාපත්ති සංඛ්‍යාත වූ) දිව්‍ය රතිය වේ.
යතො යතො සම්මසති ඛන්‍ධානං උදයබ්බයං
ලභතී පීතිපාමොජ්ජජං අමතං තං විජානතං.
යම් යම් කලෙක රූපාදි ස්කන්‍ධයන්ගේ උදය ව්‍යය දෙක සම්මර්‍ශනය කෙරේ ද (නුවණින් සලකා ද), එකල්හි යම් ධර්‍මප්‍රීතියක්, ධර්‍මප්‍රාමෝද්‍යයක් ලබා ද, එය නුවණැත්තවුනට (අමා මහ නිවන් පමුණුවන හෙයින්) අමා නම් වේ.
තත්‍රායමාදි භවති ඉධ පඤ්ඤස්ස භික්ඛුනො.
ඉන්‍ද්‍රියගුත්ති සන්තුට්ඨි පාතිමොක්ඛෙ ච සංවරො.
මේ සස්නෙහි නුවණැති මහණහට ඒ ස්කන්‍ධයන්ගේ උදයව්‍යය දෙක සැලැකීමෙහි මෙ සිවු පිරිසිදු සිල් පූර්‍වස්ථානය (පූර්‍ව කාරණය) වේ. හේ කවර හ? යත්: ඉන්‍ද්‍රිය සංවරය ද, සිවු පසයෙහි (යථාලාභ යථාබල යථාසාරූප්‍ය විසින් ත්‍රිවිධ වූ) සතුට ද, පාතිමොක්ඛයෙහි (ප්‍රධාන ශීලයෙහි) පරිපූරකාරී බව ද යන මෙය යි.
මිත්තෙ භජස්සු කල්‍යාණෙ සුද්ධාජීවෙ අතන්‍දිතෙ
පටිසන්‍ථාරවුත්ත්‍යස්ස ආචාරකුසලො සියා
තතො පාමොජ්ජබහුලො දුක්ඛස්සන්තං කරිස්සසි.
පිරිසිදු ආජීව ඇති, අකුසීත වූ, කලණ මිතුරන් සෙව්නේ ය. පිළිසඳර පැවැතුම් (ධර්‍මාමිෂ දෙකින් සංග්‍රහ කරණ බව) ඇත්තෙක් වන්නේ ය. (ශීලය ද වත්පිළිවෙත් කිරීම ද යන) ආචාරයෙහි දක්‍ෂ වන්නේ ය. එයින් (එ පිළිසඳර පැවැතුම් ආචාරයෙහි දක්‍ෂ බව යන දෙකින් උපන් ධර්‍මප්‍රාමෝද්‍යයෙන්) ප්‍රීතිබහුල වූ තෝ සසර දුක් කෙළවර කරන්නෙහි.
එක් කලෙක ආයුෂ්මත් මහාකාත්‍යායන මහාස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි කුරරඝර නම් නුවර අසල පිහිටි පර්‍වතයෙක වැඩ වාසය කළ සේක. එකල එහි කුටිකණ්ණසෝණ නම් උපාසකයෙක් විසී ය. ඔහු මහාකාත්‍යායන මහතෙරුන්ගේ ධර්‍මකථායෙහි පැහැදී තෙරුන් වෙත පැවිදිවනු කැමැති ව තෙරුන් වෙත ගොස් “මා පැවිදි කරණු මැනැවැ”යි ඉල්ලා සිටියේ ය. “සෝණ! දිවි තිබෙන තුරු එක් වේලක් වළඳමින් කසටින් රැඳූ සිවුරු දරමින් අවු පිනි වැසි නො බලා පිඬු සිඟා යමින් නෑ පිරිස් ද හැරදමා බිම දඬු ඇඳැ නිදමින් රසෙක් වේ වයි නො රසෙක් වේව යි ලැබූ දැයක් වළඳමින් කළයුතු මහණකම පහසු නැතැ”යි මහතෙරුන් වහන්සේ දෙ වරක් ම සෝණගේ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කළහ. එහෙත් ඔහු පැවිදිවීමෙහි වඩවඩාත් උත්සාහවත් ව තෙරුන් සතුටු කර ගෙණ තෙරුන් වෙත ම පැවිදි වී ය. පැවිදි වූයේ ද දක්‍ෂිණාපථයෙහි උපසපන් මහණුන් නො සිටි බැවින් තුන් අවුරුද්දක් ම උපසම්පත්තිය ලබන්නට නො හැකි ව සිටියේ ය. තුන් අවුරුද්දක් ගිය තැන, උපසපන් මහණුන් ලැබ උන් හමුවෙහි උපසපන් වූයේ ය.
ඉන්පසු බුදුරජුන් දකිනු කැමැති ව දෙව්රමට යන්නට අදහස් කොට උපාද්ධ්‍යාය ස්ථවිරයන් වහන්සේගෙන් එයට අවසර ඉල්ලී ය. උන්වහන්සේ අවසර දුන්හ. අවසර ලත් සෝණ තෙරෙම් ගුරු තෙරුන් දුන් ලියුමක් ද රැගෙණ දෙව්වරමට ගොස් බුදුරජුන් හමු ව දැක වැඳ ආ ගිය තොරතුරු කියා උන්වහන්සේ හා පිළිසඳරකතායෙහි යෙදුනේ ය. ඒ අවසන්හි බුදුරජුන් හා එක් ම ගඳකිළියෙහි නිදන්නට ලැබූ අනුදැනුම් ඇති සෝණ, බොහෝ වේලාවක් එලිමහනෙහි සක්මන් කොට කල් ගෙවා මැදියම ගඳකිළියට වැද තමන්ට ලැබුනු සෙනසුනෙහි රෑමැදියම ගෙවාලී ය. පැසුළු යාමයෙහි නැගී සිට බුදුරජුන්ගෙන් ලත් අවසරය ඇති ව සූත්‍රනිපාතයෙහි අෂ්ටකවර්‍ගය මුළුමනින් මිහිරි හඬින් කීයේ ය. බුදුරජානන් වහන්සේ ඒ මිහිරි බණ දෙසුම් අසා කෙළවර අනුමෝදනා කරණ සේක් “සෝණ! ඉතා කදිම ය, සෝණගේ බණදෙසුමැ”යි සාධුකාර දුන් සේක. බුදුරජුන්ගේ ඒ සාධුකාරය අසා බූමාටු දෙවියෝ නාගයෝ ගුරුලෝ ද සාධුකාර දුන්හ. බඹලොව තෙක් මෙසේ එක් ම සාධුකාරයෙක් වී ය.
එකෙණෙහි ම ජේතවනයෙන් එක්සිය විසි යොත්නකින් ඔබ්බෙහි වූ කුරරඝර නුවර විසූ තෙරුන්ගේ මවු උවැසියගේ ගෙයි අරක් ගෙණ සිටි දෙවි ද මහත් සේ හඬ නගා සාධුකාර දුන්නේ ය. එයසා උවැසි, “කවරෙක් සාධුකාර දේ දැ?”යි ඇසූ ය. “බුහුන! මම වෙමි”යි කී විට “තෝ කවරහි?”යි උවැසිය ඇසූහ. “මම, තීගේ ගෙයි අරක් ගෙණ සිටින දෙවි”යි කී ය. “මෙයට කලින් කිසිදාකත් සාධුකාර නො දුන් ඔබ කුමක් නිසා අද සාධුකාර දෙන්නහු?”යි ඇසූ විට එදෙවි, “මම සාධුකාර දුන්නෙම් තිට නො වෙමි”යි කී ය. “එසේ නම් කාහටැ?”යි ඇසූ කල්හි “තීගේ පුත් සෝණකුටිකණ්ණ තෙරුන්ට ය”යි කී ය. “මාගේ පුත් කුටිකණ්ණ සාධුකාර ලබන්නට කුමක් කෙළේ දැ”යි ඇසූ විට “ඔහු අද බුදුරජුන් සමග ගඳකිළියෙහි හිඳ බුදුරජුන්ට දහම් දෙසූයේ ය, එ දහම් ඇසූ බුදුරජානන් වහන්සේ එයට සතුටු ව අනුමෝදනා වශයෙන් ‘ඉතා යහපතැ’යි වදාරා සාධුකාර දුන් සේක, සාධුකාර දුන්නෝ බුදුරජානන් වහන්සේ ම පමණක් නො වෙති, බූමාටු දෙවියන් පටන් බඹලොව දක්වා පැතිර සිටි දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ ගුරුලෝ යනාදී වූ හැම කෙනෙක් සාධුකාර දුනහ, මේ වනාහි බඹලොව දක්වා නැගි එක් ම සාධු නාදයෙක් වී ය”යි කීයේ ය. දෙවියන්ගේ මේ කතාව අසා පිණා ගිය උවැසිය, නැවැත “කිමෙක් ද, මාගේ පුත් බුදුරජානන් වහන්සේට දහම් දෙසී ද, නැත, බුදුරජානන් වහන්සේ මපුත්හට දහම් දෙසූ සේක් ද?”යි ඇසූ ය. “නැත, තීගේ පුත් බුදුරජුන්ට දහම් දෙසී ය” යි කියත් ම උපන් පස් වණක් ප්‍රීතිය උවැසියගේ මුළු සිරුර පැතිර වසා සිටියා ය. ඉත්බිති ඇයට “මපුත් බුදුරජුන් සමග එක ගඳකිළියෙහි හිඳ බුදුරජුන්ට දහම් දෙසන්නට සමර්‍ත්‍ථ වේ නම්, මටත් බණ කියන්නට පොහොසත් වනු ඇත, පුතු මෙහි ආවිට බණ කියවා ගෙණ බණ අසන්නෙමි”යි සිත් විය.
සෝණ ස්ථවිරයන් වහන්සේ බුදුරජුන් සාධුකාර දුන් කල්හි “මාගේ උපාද්ධ්‍යායයන් වහන්සේ දුන් ලියම බුදුරජුන්ට පිළිගන්වන්නට දැන් මේ සුදුසු කාල ය”යි බුදුරජුන් වෙත එළැඹැ ඒ ලියුම පිළිගැන්වී ය. පිළිගන්වා “ස්වාමීනි! පැසුළු දනව්වෙහි දසවග සඟුන් වුව ද නො ලැබිය හැකි බැවින් විනයධර ස්ථවිරයන් ප්‍රදාන උපසපන් පස් නමක්හට මාලු පැවිදිකම් කිරීමට අනුදැන වදාළ මැනැවැ”යි ඉල්ලී ය. ඒ ඉල්ලීම මුල් කොට වරපසක් ලබාගෙණ කිහිප දවසක් බුදුරජුන් වෙත රැඳී සිටියේ “උපාද්ධ්‍යායයන් වහන්සේ දකිනු කැමැත්තෙමි”යි බුදුරජුන් විචාරා වැඳ අවසර ගෙණ උපාද්ධ්‍යායයන් වෙත ගියේ ය. කාත්‍යායන මහාස්ථවිරයන් වහන්සේ පසුදා සෝණ තෙරුන් ද ගෙණ පිඬු සිඟා යන ගමනේ සෝණගේ මවු උවැසිය විසූ ගෙදොරට වැඩියහ. ඕ තොමෝ පුතු දැක තුටු සිත් ඇතියා වඩා හිඳුවා වළඳවාලා “පුත! ඔබවහන්සේ බුදුරජුන් සමග එක ගඳකිළියෙහි හඳ උන්වහන්සේට දහම්දෙසූ බව මට දැනගන්නට ලැබී ඇත, ඒ සැබෑ දැ?”යි ඇසූ ය. “මෑනියෙනි! මෑනියන්ට මෙය කීවෝ කවුරු දැ?”යි ඇසූ විට “මේ ගෙයි රකවලෙහි සිටුනා දෙවි, මහත් හඬින් සාධුකාර දුන්නා. ඒ වේලෙහි වේ කවරැ?”යි මම ඇසීමි, ඔහු මමැ’යි කියා පුතා දෙසූ දහම් අසා බුදුරජ්න් සාධුකාර දුන්බව ද කිව්වා, දෙවියා කියූ එබස් ඇසූ මට, මාගේ පුත් බුදුරජුන්ට දහම් දෙසන්නට සමර්‍ත්‍ථ නම් මටත් බණ කියන්නට සමර්‍ත්‍ථ වනු ඇතැ’යි සිතීමි, දරුව! බුදුරජුන් ඉදිරියෙහි බණ කියන ලද නම් මටත් බණ කියන්න, මම බණ අසනු කැමැත්තෙමි”යි උවැසිය ආරාධනා කළා ය. සෝණ ස්ථවිරයන් වහන්සේ ඒ ආරාධනාව ඉවසූහ. ඉණ කියන දවසෙහි ඕ තොමෝ භික්‍ෂු සඞ්ඝයා වහන්සේට දන් පිළිගන්වා පුද පූජා ද කොට බණ අසන්නෙමි යි එක් ම දැස්සක් ගෙය බලාගන්නට රඳවා තබා අන් සියලු පිරිවර ද ගෙණ ඇතුළු නුවර කර වූ ධර්‍ම සභා මණ්ඩපය වෙත ගියා ය.
ඒ කාලයෙහි නව සියයක් පමණ හොරු උපාසිකාවගේ ගෙයි රන්රිදී මුතු මැණික් මිල මුදල් බොහෝ ඇතිබව දන්නෝ ඉඩක් බලමින් හුන්හ. ඒ ගෙය පවුරු සතකින් වට කරණලද ය. දොරකොටු සතකින් ද යුක්ත ය. එහි ඒ ඒ තැන ඉතා නපුරු කීන බල්ලෝ ද බැඳ තබන ලදහ. ගෙයි පියසි අගින් දිය වැටෙන තැන ගෙය වටකොට අගලක් තනවා එහි ඊයම් පුරවා තබන ලද ය. ඒ ඊයම් දාවල අව්වෙන් දැවී උණුවී ලෝදියක් මෙන් සිටියි. රාත්‍රියෙහි තියුණු ව කැකුළු ව සිටියි. ඒ අතර ඉතා මහත් වූ යකඩ කූරු ඝන කොට පිහිටුවා ඇත. මෙසේ රැකවල මහත් බැවින් උපාසිකාව කො තැනකත් නො ගොස් ගෙයි ම හුන් බැවින් මෙතෙක් සොරුනට ගෙය බිඳ ගන්නට අවසරයෙක් නො ලැබුනේ ය. මෙ දවස උපාසිකාව බණ අසන්නට ගිය බව දත් සොරු, අගලට යටින් උමගක් සාරා ගෙට ඇතුල් ව ‘උපාසිකාව අප ගෙට ඇතුල් වූ බව දැන හුන් තැනින් නැගිට එන්නී නම් කඩුවෙන් ගසා මරා දමව’යි කියා සොරදෙටු බණ අසන උපාසිකාව වෙතට යැවූහ.
සොරදෙටු ගොස් ඇය ලඟ ම බණ අසන්නකු සේ බලා සිටියේ ය. සොරු ගෙයි, පහන් දල්වා කහවණු තුබූ ගබඩාවෙහි දොර විවෘත කළහ. ගෙයි රැකවලට සිටි දැස්ස සොරුන් දැක බිය පත්ව සොරුන්ට නො පෙණී උපාසිකාව වෙතට වහා දුව ගොස් “අම්මේ! සොරු ගෙට ඇතුල් ව කහවණු ගබඩාවෙහි දොර විවෘත කළහ”යි දැන් වූ ය. එවිට උපාසිකා තොමෝ “සොරුන් තමන් දුටු කහවණු ගත්තා වේ, මම බණ අසන්නෙමි, මාගේ බණ ඇසීමට අනතුරු නො කොට ගෙට ගොස් හිඳුව”යි දැස්ස ගෙට යැවූ ය. සොරු ගබඩාවෙහි තුබූ කහවණු ගෙණ පොදි බැඳ, නැවැත රිදී කාසි එකතු කොට තුබූ අල්මරි පෙට්ටගම් සියල්ල කඩා රිදීකාසි පොදි බඳින්නට පටන් ගත්හ. දැස්ස එවර ද දුව ගොස් එබව උපාසිකාවට දන්වාලූ ය. සොරු කැමැති තරමක් ගණිත්වා” යි කියා උපාසිකාව එවරත් දැස්ස හරවා යැවූ ය. රිදීකාසි පොදිබැඳ අවසන් කළ සොරු අනතුරු ව රන්කාසි තුබූ කාමරයෙහි දොර කඩා රන්කාසි පොදි බැන්දාහ. එ වරත් දැස්ස දුව ගොස් එ බව කිවු ය. “මට කරදර නො කොට ගෙට යව, මෙයට කලින් දෙ වරක් දුව ඇවිත් තී මට කරදර කළා, බණ අසා ගන්නට ඉඩ දෙව, සොරුන් කැමැති සේ කැමැති දැයක් ගත්තාට මට කමෙක් නැත, ඉතිරි වන දැයකින් අපට ජීවත් විය හැකි ය, බණ අවසන් වනතුරු මම නො එන්නෙමි, නැවැත ආවොත් තිට දඬුවම් කරමි”යි ඒ තෙවනවරත් දැස්ස පෙරළා යැවූ ය. උවැසිය ලඟ බණ අසන්නකු රෙස් රැඳී සිටි සොරදෙටු උවැසිය කියූ මේ කතා අසා “මෙබඳු ගුණවත් ගැහැණියක අයත් දැය පැහැර ගන්නවුන්ගේ හිසමත හෙන වැටී හිස සී සී කඩ ව බිඳී යනු වරදින්නේ නැතැ”යි සොරුන් වෙත ගොස් “වහා ම උවැසියගේ බඩුමුට්ටු මිලමුදල් ආදිය පෙර තුබූ තැන්වල ම තැන්පත් කරවු” යි නියම කෙළේ ය. සොරු ද පොදි බැඳ තුබූ කහවණු ගෙණවුත් පොදි ලිහා තුබූ තන්හි තැන්පත් කළහ. ධර්‍මය තෙමේ ධර්‍මයෙහි හැසිරෙන්නවුන් රකින්නේ ය, යනු ධර්‍මතාසිද්ධියෙකි.
“දහම් දම් සැරිහු - රකී යනු එකතිත් වේ,
පුරුදු කළ දහම් ඒ - දෙලොව සුව එළවනුයේ.
.
පුරුදු කළ දහමෙහි - මෙයනුසස් වේ නියමය,
දම් සැරි තෙමේ දුගියට - නො යයි ද දහමනුස්සිනි”
ඉන් පසු සොරු ද ගොස් බණ දෙසන තැන සිට ගත්හ. සෝණ ස්ථවිරයන් වහන්සේ බණ වදාරා රෑ පාන් වූ කල්හි බණ අසුනෙන් බැස සිටියහ. එකෙණෙහි සොරදෙටු තෙමේ උවැසියගේ දෙපාමුල වැටී “ආර්‍ය්‍යාවෙනි! මට කමන්නැ”යි කී ය. එකල්හි “දරුව! එසේ කියන්නෙහි කුමක් නිසා?”යි ඇසූ ය. “මම ගුණවත් ඔබ කෙරෙහි වෛරයෙන් ඔබ මරණු කැමැති ව මෙහි රැඳී සිටියෙමි” යි සොර දෙටු කී කල්හි “දරුව! හා එසේ නම් තට කමන්නෙමි”යි ඕ තොමෝ කීවා ය. සෙසු සොරු ද එසේ කියා උපාසිකාව කමා කළහ. “කමන්නෙමි”යි කී කල්හි “ආර්‍ය්‍යාවෙනි! අපට කමන්නනහු නම් ඔබගේ පුතුන් ලඟ අප පැවිදි කරවන්නැ”යි සොරු සැම දෙන ඉල්ලා සිටියහ. ඉක්බිත් උපාසිකා තොමෝ සෝණතෙරුන් වැඳ “දරුව! මොවුහු හොරු ය, මොවුහු මාගේ ගුණයෙහ් හා ඔබවහන්සේගේ ධර්‍මකථායෙහි පහන් ව ගියෝ පැවිද්ද ඉල්ලා සිටිති. එහෙයින් මොවුන් පැවිදි කරණු මැනැවැ”යි දැන් වූ ය. ස්ථවිරයන් වහන්සේ ද යහපතැ යි ඔවුන් පැවිදි කොට සීලයෙහි පිහිටුවාලූහ. ඔවුන් උපසපන් කොට ද ඔවුන්ට වෙන වෙන ම කමටහන් ද දුන්හ. ඒ නවසියයක් භික්‍ෂූහු වෙන් වෙන් ව කමටහන් නවසියයක් උගෙණ හැම දෙන කන්දක් මුදුනට නැගී එහි වූ ගස්යට සෙවණෙහි හිඳ කමටහන් වඩන්නට පටන් ගත්හ. එ දවස බුදුරජානන් වහන්සේ එක්සිය විසියොත්නකින් ඈත්හි වූ දෙව්රම් මහවෙහෙර වැඩහුන් සේක් ම ඒ මහණුන් ගුණ බලා චර්‍ය්‍යාවශයෙන් ඔවුනට බණ නියම කොට ආලෝකධාරාවක් විහිදුවා මූණු බලා හිඳ කියන්නා සේ මේ ධර්‍මදේශනාව කළ සේක.
මෙත්තාවිහාරී යො භික්ඛු පසන්තො බුද්ධසාසනෙ,
අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛරූපසමං සුඛං.
.
සිඤ්ච භික්ඛු ඉමං නාවං සිත්තා තෙ ලහුමෙස්සති,
ඡෙත්‍වා රාගඤ්ච දොසඤ්ච තතො නිබ්බාන මෙහිසි.
.
පඤ්ච ඡින්‍දෙ පඤ්ච ජහෙ පඤ්ච චුත්තරි භාවයෙ,
පඤ්ච සඞ්ගාතිගො භික්ඛූ ඔඝතිණ්ණොති වුච්චති.
.
ඣාය භික්ඛු මා ච පාමදො මා තෙ
කාමගුණෙ භමස්සු චිත්තං,
මා ලොහගුලං ගිලී පමත්තො මා කන්‍දී
දුක්ඛමිදන්ති ඩය්හමානො.
.
නත්‍ථි ඣානං අපඤ්ඤස්ස පඤ්ඤා නත්‍ථි අඣායතො,
යම්හි ඣානඤ්ච පඤ්ඤා ච සවෙ නිබ්බානසන්තිකෙ.
.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනො,
අමානුසීරති හොති සම්මා ධම්මං විපස්සතො.
.
යතො යතො සම්මසති ඛන්‍ධානං උදයබ්බයං,
ලභති පීතිපාමොජ්ජං අමතං තං විජානතං.
.
තත්‍රායමාදි භවති ඉධ පඤ්ඤස්ස භික්ඛුනො,
ඉන්‍ද්‍රියගුත්ති සන්තුට්ඨි පාතිමොක්ඛෙ ච සංවරො.
.
මිතෙන භඡස්සු කල්‍යාණෙ සුද්ධාජීවෙ අතන්‍දිතෙ,
පටිසන්‍ථාරවුත්ත්‍යස්ස ආචාරකුසලො-සියා,
තතො පාමොජ්ජබහුලො දුක්ඛස්සන්තං කරිස්සසීති.
යම් මහණෙක් තෙමේ මෙත් විහරණ ඇතියේ බුදුසසුන්හි පහන් වූයේ ද, ඒ මහණ තෙමේ සංස්කාරයන් සන්සිඳුවන්නා වූ සැප වූ ශාන්තපදය ලබන්නේ ය. ශාන්තපදයට පැමිණෙන්නේ ය.
මහණ! මේ නැව ඉසපිය. තා විසින් ඉසපියනද මේ නැව සැහැල්ලු ව වහාම නිවනට පැමිණෙන්නී ය. රාගබන්‍ධනය ද ද්වේෂ බන්‍ධනය ද සිඳහැර ඉනික්බිති නිවනට පැමිණෙන්නෙහි ය.
පසක් සිඳ හරින්නේ ය. පසක් දුරු කරන්නේ ය. පසක් මත්තෙහි වඩන්නේ ය. සඞ්ග පස ඉක්මවා ගිය මහණ තෙමේ ඔඝයෙන් එතෙර වූයේ ය යි කියනු ලැබේ.
මහණ! ධ්‍යාන වඩව. නො ද පමා වෙව. තාගේ සිත පස් කම් ගුණයෙහි නහක් බමව. පමා වූයේ ලෝගුලි නො ගිල. දැවෙමින් මේ දුකැ යි නො හඬව.
ප්‍රඥාව නැත්තහුට ධ්‍යානයෙක් නැත. ධ්‍යාන නොකරන්නහුට ප්‍රඥාව නැත. යමක්හු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත් ද, හෙතෙමේ එකාන්තයෙන් නිවන සමීපයෙහි වේ.
ශුන්‍යාගාරයට පිවිසියා වූ සන්හුන් සිත් ඇත්තා වූ ධර්‍මය මනා කොට විදර්‍ශනා කරන්නා වූ මහණහුට මිනිසුන් පිළිබඳ නො වූ ඇල්මෙක් වේ.
යම් යම් කලෙක රූපාදිස්කන්‍ධයන්ගේ උදය - ව්‍යය නුවණින් සලකා ද එකල්හි ප්‍රීතිය හා ප්‍රාමොද්‍යය ලබයි. එය නුවණැතියනට අමෘතය වේ.
මේ ශාසනයෙහි නුවණැති මහණහුට එහි මෙය මුල් කරුණ වේ. එනම්: ඉන්‍ද්‍රියසංවරය ද සන්තෝෂය ද ප්‍රාතිමෝක්ෂයෙහි සංවරය ද යන මේ ය.
පිරිසිදු දිවිවැටුම් ඇති නො මැලි වූ කළණ මිතුරන් සේවනය කරව. පිළිසඳර පැවැතුම් ඇත්තෙක් වන්නේ ය. ආචාරයෙහි දක්‍ෂයෙක් වන්නේ ය. ඒ හේතුවෙන් ප්‍රාමොද්‍යය බහුල කොට ඇති තෝ දුක් කෙළවර කරන්නෙහි ය.
මෙත්තාවිහාරී යො භික්ඛු පසන්තො බුද්ධසාසනෙ = යම් මහණෙක් මෙත්විහරණ ඇතියේ බුදුසසුන්හි පහන් වූයේ ද.
මෙත් කමටහන්හි යෝග කරණුයේ ද මෙත් වඩා චතුෂ්කනය විසින් ප්‍රථමද්ධ්‍යානාදිධ්‍යානත්‍රය හෝ පඤ්චනය විසින් ධ්‍යාන චතුෂ්කය උපදවා ගෙණ සිටියේ ‘මෙත්තාවිහාරී’ නම්.
“මෙත්තාකම්මට්ඨානෙ කම්මං කරොන්තොපි මෙත්තාවසෙන තිකචතුක්කජ්ඣානෙ නිබ්බත්තෙතා ඨිතොපි මෙත්තාවිහාරීයෙව නාම” යනු අටුවා. මෙත් කමටහන් කතාව යට කියන ලදී. [1]
ශීල - සමාධි - ප්‍රඥා සඞ්ඛ්‍යාත ශාසනධර්‍මය ‘බුද්ධශාසන’ නම්. බුදුරජානන් වහන්සේ විසින් දෙවියන් සහිත ලෝකය සසර දුකින් මුදාලනු පිණිස දේශනා කළ ධර්‍මසමූහය නම් මේ ය. විස්තර කථාව යට කියන ලද ය. [2] තුනුරුවන් කෙරෙහි හා ශීල - සමාධි - ප්‍රඥාවන්හි සැදෑ ඇතියේ ඇදහීම් ඇතියේ විශ්වාසය ඇතියේ පසන්න නම්. සද්ධාසම්පත්තියා පසන්නො” යනු ආචාර්‍ය්‍යවචනයි.
අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං = සංස්කාරයන් සන්සිඳුවන්නා වූ ශාන්තපදය ලබන්නේ ය. ශාන්තපදයට පැමිණෙන්නේ ය.
මෙහි පදං, සන්තං යන දෙ පදයෙන් ම ගැණෙනුයේ නිවන ය. සසර දුකින් පීඩිත වූවන් විසින් පිළිපැදිය යුතු බැවින්, ආර්‍ය්‍යයන් විසින් පිළිපැදිය යුතු ලැබිය යුතු තත්ත්‍වය ‘පද’ නම්. නිවන ය ඒ. “සංසාරදුක්ඛට්ටිතෙහි පටිපජ්ජිතබ්බත්තා = පදං, අරියෙහි පටිපජ්ජතබ්බත්තා, ගන්නබ්බත්තා = පදං, නිබ්බානං” යනු අටුවා.
නො සන්සිඳුනු සැහැවි ඇති රාගාදික්ලේශයන්ගේ හා සියලු සංස්කාරයන්ගේ අභාවයෙන්, ඔවුන්ගේ සන්සිඳීමෙන් ප්‍රශස්ත භාවයෙන් නිවන ‘සන්ත’ නම්. “අනුපසන්තසභාවස්ස රාගාදිකිලෙසස්ස සබ්බරසඞ්ඛාරස්ස ච අභාවෙන තදුපසම්භාවෙන පසත්‍ථභාවෙන ච සන්තං” යනු, මේ මෙය කියූ සැටි යි.
නිවන දුක්සැහැවි ඇති සියලු සංස්කාරයන්ගේ සන්සිඳීමෙහි හේතු බැවින් ‘සඞ්ඛාරූපසම’ නම්. “දුක්ඛධම්මානං සබ්බසඞ්ඛාරානං උපසමහෙතුතාය සඞ්ඛාරූපසමං” යනු අටුවා. එහෙයින් ම අත්‍යන්ත සුඛ වූයේ නිවන ‘සුඛ’ නම්. මේ වනාහි පරමසුඛය ය. මෙසේ ප්‍රණීත වූ නිවන ලබන්නේ යනු, ‘අධිගච්ඡෙ’ යන ක්‍රියාපදයෙහි අරුත් ය. [3]
සිඤ්ච භික්ඛු ඉමං නාවං සිත්තා තෙ ලහුං ඵස්සති = මහණ! මේ නැව ඉසපිය. තා විසින් ඉසපියනලද මේ නැව සැහැල්ලු ව වහා ම නිවනට පැමිණෙන්නී ය.
සාමාන්‍යලෝකයා විසින් ‘නාවා - නෞකි - නැව, යි සම්මත කරගෙණ ඇති යානවිශේෂය මෙහි නොයෙදේ. එය ගඞ්ගා සමුද්‍රාදිය තරණය කරණු පිනිස කාෂ්ටාදියෙන් තනා ගන්නා ලද ය. “නද්‍යාදිසන්තරණාර්‍ත්‍ථකාෂ්ටාදිනිර්මිතයානවිශෙෂඃ = නෞකා” යනු කෝෂ යි.
මෙහි නාවං, යන ද්විතීයවිභක්ත්‍යන්තපදයෙන් ගැණෙනුයේ ආත්මභාවසඞ්ඛ්‍යාතනෞකා ය. ඒ මේ ආත්මබාවසඞ්ඛ්‍යාත නෞකාව කාමවිතර්‍කාදිමිත්‍ථ්‍යාවිතර්‍කයන්ගෙන් පිරී ඉතිරී බර ව සිටියා ය. මිත්ථ්‍යාවිතර්‍ක නැමැති ජලය උනා පිරී බරව සිටි මේ නෞකාව සසරසයුරෙහි ගැලී යන්නී ය. ගොඩලනු පහසු නැත. එහෙයින් නිර්‍වාණසඞ්ඛ්‍යාතපරතීරයට යනු කැමැත්තහු විසින් ඒ මිත්ථ්‍යාවිතර්‍කජලය මුළුමනින් මදකුත් ඉතිරි නො කොට ඉසපිය යුතු ය. ඉසපියන්නැයි වදාළේ එහෙයිනි.
මහමුහුදෙහි ගමන් ගත් නැවක, සිදුරුවලින් ඇතුළට දිය වදනා සිදුරු වසා දමා ඇතුළට වන් දිය ඉසපියනලද නම් නැව සැහැල්ලුව ගොසින් මුහුදෙහි නො ගැලී වහා පටුන් තොටට පැමිණෙන්නී යම්සේ ද එපරිද්දෙන් මිත්ථ්‍යාවිතර්‍කජලයෙන් පිරී ගිය ආත්මභාවනෞකාව, ඇස් - කන් - නාස් ඈ සිදුරු, ස්මෘති සංවරයෙන් වසා විදර්‍ශනාහස්තයෙන් ඉසපී කල්හි සැහැල්ලුබවට පැමිණ සසරමුහුදෙහි නො ගැලී නිවන්පරතෙරට වහා පැමිණෙන්නී ය. මේ අටුවා: “යථා මහාසමුද්දෙ උදකස්සෙව භරිතනාවා ඡිද්දානි විදහිත්‍වා උදකස්ස සිත්තතාය සිත්තා සල්ලාහුකා හුත්‍වා සමුද්දෙ අනොසීදිත්‍වා සීඝං සුපට්ටනං ගච්ඡති, එවං නාවාපි අයං මිච්ඡාවිතක්ක උදකභරිතා අත්තභාවනාවා චක්ඛුද්වාරානි ඡිද්දානා සතිසංවරෙන විදහිත්‍වා උප්පන්නස්ස මිච්ඡාවිතක්කඋදස්ස සිත්තතාය සිත්තා සල්ලහුකා සංසාරවට්ටෙ අනොසීදිත්‍වා සීඝං නිබ්බානං ගමිස්සති” යනු.
ඡෙත්‍වා රාගං ච දොසං ච තතො නිබ්බානං ඵහිසි = රාග බන්‍ධනයත් ද්වේෂබන්‍ධනයත් සිඳ හැර ඉනික්බිති නිවනට පැමිණෙන්නෙහි ය.
“රාගො බන්‍ධනං, දොසො බන්‍ධනං” යනු වදාළෝ රාග ද්වේෂයන් සත්ත්‍වයා සසර බැඳ තබන බන්‍ධන බැවිනි. අපාය ගමනීය වූ රාගද්වේෂයෝ ස්‍රෝතපත්තිමාර්‍ගයෙන් ද, ඖදාරික වූ කාමරාග ද්වේෂයෝ සකෘදාගාමීමාර්‍ගයෙන් ද රාග ද්වේෂයෝ අනවශෙෂව ඉතිරි නැති ව අනාගාමීමාර්‍ගයෙන් ද භවරාගය අර්‍හනමාර්‍ගයෙන් ද ප්‍රහීණ වෙත්. සිඳ හැරිය යුතු වෙත්. යම් කිසි මහණකු, යම් කිසි මෙහෙණක, යම් කිසි උවසුවකු, යම් කිසි උවැසියක පිළිබඳ වූ රාගද්වේෂයෝ මාර්‍ගයෙන් ප්‍රහීණ නොවූවාහු ද, ඒ තාක් ඒ මහණ ඒ මෙහෙණ ඒ උවසු ඒ උවැසි කෙලෙස්මරුට බැඳුනෝ ය. එහෙයිනි වදාළෝ “බන්‍ධො මාරස්ස” යනු. කෙලෙස්මරු විසින් බඳනාලද මොවුහු අභිසංස්කාරාදී වූ මරුන් විසින් ද බඳනා ලද්දාහු වෙත්. රාගද්වේෂාදික්ලේශයන් සිඳහැරිය පසු ආත්මභාවසඞ්ඛ්‍යාත නෞකාව නිරුපධිශෙෂනිර්‍වාණයට පැමිණෙන්නී ය.
පඤ්ච ඡින්‍දෙ = පසක් සිඳින්නේ ය.
සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බතපරාමාස - කාමරාග - ව්‍යාපාද යන කාමලෝකයෙහි උපත දෙන, කාමලෝකයෙහි සත්ත්‍වයන් යොදාලන සංයෝජන පස, පය බැඳි රැහැණක් සැතකින් කපා හරින්නකු මෙන් යට තුන් මගින් සිඳ හරින්නේ ය. සිඳ හැරිය යුතු ය.
පඤ්ච ජහෙ = පසක් දුරු කරන්නේ ය.
රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිජ්ජා යන රූප ලෝක - අරූපලෝකයන්හි උපත දෙන රූපාරූපලෝකයන්හි සත්ත්‍වයන් යොදාලන සංයෝජන පස, ගෙලබැඳි රැහැණක් ගලවා හරින්නකු මෙන් රහත්මගනුවණින් දුරු කරන්නේ ය. දුරු කළ යුතු ය. [4]
පඤ්ච උත්තරි භාවයෙ = මත්තෙහි පසක් වඩන්නේ ය.
දෙව්ලොවට පමුණුවන සංයෝජනයන් ප්‍රහාණය කරණු පිණිස ලෝකෝත්තරකුශලවීථියෙහි උපදනා සද්ධා - විරිය - සති - සමාධි - පඤ්ඤා යන ඉන්‍ද්‍රිය පස, ඉතා තදින් ඉතා ඕනෑකමින් වැඩිය යුතු ය. නගා ගත යුතු ය. දියුණු කළ යුතු ය. අස්සද්ධා - කොසජ්ජ - මුට්ඨසච්ච - උද්ධච්ච - අවිජ්ජා යන මොවුන් මැඩලීමෙහි ලා අධිපති වෙත් නුයි ඉන්‍ද්‍රිය නම් වෙත්. ශ්‍රද්ධාදීහු යට කියන ලද හ. ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන්ගේ වැඩීම වනුයේ දෙව්ලොව බඹලොව උපත දෙන සංයෝජන පස, සුන් වූ ගිය පසු ය. ප්‍රහාණය කළ විට ය.
පඤ්ච සඞ්ගාතිගො භික්ඛු = සඞ්ග පස ඉක්මවා ගිය මහණ තෙමේ.
පඤ්චස්කන්‍ධය, සත්‍ව - පුද්ගල විසින් බෙදා ගෙණ සංස්කාරයන් විෂයයෙහි ඇලීම ‘සඞ්ග’ නම්. රාග - දෝස - මෝහ - මාන - දිට්ඨි - යන මේ පස ය. මෙහි සඞ්ග. මොවුන් ඉක්මවා ගියේ ‘පඤ්චසඞ්ගාතිග’ නම්. “රාගදොසමොහමානදිට්ඨිසඞ්ගානං අතික්කමනෙන පඤ්චසඞ්ගාතිගො” යනු අටුවා. සමහර තැනෙක සඞ්ග සතෙක් ද වන්නේ ය. [5]
ඔඝතිණ්ණො ඉති වුච්චති = ඔඝ තරණය කෙළේ ය යි කියනු ලැබේ.
කාම - භව - දිට්ඨි - අවිජ්ජා යන මොවුහු ඔඝයෝ ය. මෙ කියූ ඔඝයනට හසු නො වී උන් මැඩ ගෙණ රාගාදිසඞ්ඝයන් ඉක්මවා ගිය මහණ ම ඔඝයන්ගෙන් එතෙරට ගියේ ‘ ඔඝතිණ්ණ’ නම්. [6]
ඣාය භික්ඛු = මහණ! ධ්‍යාන වඩව. ශමථවිදර්‍ශනා භාවනාවෙහි යෙදී වසව.
ආලම්බනොපනිද්ධ්‍යාන - ලක්‍ෂණොපනිද්ධ්‍යාන යන දෙ පරිදි වූ ධ්‍යාන වඩ ව, යනු සුගතොවාදය යි. ආලම්බනොපනිද්ධ්‍යාන නම්: අෂ්ටසමාපත්තීහු ය. ලක්‍ෂණොපනිද්ධ්‍යාන නම්: විදර්‍ශනා මාර්‍ගඵලයෝ ය. [7]
මා ච පාමදො = නො ද පමා වෙව.
කාය සුචරිතාදී ත්‍රිවිධ සුචරිතයෙහ් හා ධ්‍යානභාවනායෙහි පමා නො වන්න. පමා නො විය යුතු ය. [8]
මා තෙ කාමගුණෙ භමස්සු චිත්තං = තාගේ සිත පස්කම් ගුණයෙහි නෙ බමව.
රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය යන මෙ පස කාම රාගයට කරුණු බැවින් සත්ත්‍වයන් සසර බැඳ තබන බැවින් ‘කාම ගුණ’ නම්. [9]
මා ලොහගුලං ගිලී පමත්තො = පමා වූයෙහි ලෝගුලි නො ගිල.
සිහියෙන් තොර ව ප්‍රමත්ත ව පස්කම්ගුණයෙහි ගිජු වූයේ නරකයෙහි ඉපද ගිනියම් කළ ලොහොගුලි ගිලින්නේ ය, යනු එකාන්තය . එහෙයින් එසේ ලොහොගුලි ගිලින්නකු නො විය යුතු ය. සිහියෙන් තොර වූයේ පස්කම්ගුණයෙහි ගිජු වූයේ එහිලා වැර කරණුයේ ‘පමත්ත’ නම්. [10]
මා කන්‍දි දුක්ඛං ඉදං ඉති ඔයහමානො = දැවෙමින් මේ දුකැයි නො හඬ.
ප්‍රමත්ත ව පව්කම් කිරීමෙන් අපායයෙහි උපන් නිරිසත් තෙමේ නිරයගින්නෙන් දැවි දැවී ‘මේ දුක ය, මේ දුකයැ’යි කියමින් හඬන්නේ ය. නිරය වනාහි හට ගත් තැන ම හට ගත් ගින්නෙන් අතර නැත්තේ ය. එහි ගිනිදැල් නැති තැනෙක් නැත්තේ ය. ගිනි නිවෙන ක්‍ෂණමාත්‍රයකුත් නැත්තේ ය. නිරයපාලයෝ නිරිසත්හුගේ මුව යවුල් බහා අරවා එහි ගිනි ගෙණ දිලිසෙන යගුලි බහාලන්නෝ ය. එහෙයින් මෙසේ මොන ලෙසකිනුත් නො කියැකි දුකින් පිරී ගත් නිරයයෙහි ඉපද ගින්නෙන් දැවෙමින් ගිනියම් කළ යගුලි ගිලිමින් නො හැඬිය යුතු ය’යි මෙයින් වදාළ සේක. නිරයයෙහි ඉපැත්මට කරුණු වනුයේ පව්කම් ය. එහෙයින් පව්කම් නො කටයුතු ය.
නත්‍ථි ඣානං අපඤ්ඤස්ස = ප්‍රඥාව නැත්තහුට ධ්‍යානයෙක් නැත.
වීර්‍ය්‍යය හා එක් ව ගිය ධ්‍යාන උපදවන නුවණ නැත්තහුට ධ්‍යානයෙක් නම් නැත. යමකු පිළිසිඳ ගන්නා වේලෙහි පිළිසිඳ ගන්නා සිත්හි අලොභ - අදෝස - අමෝහ යන කුශලහේතුත්‍රය යෙදුනේ නම් හෙතෙමේ ත්‍රිහේතුක නම් වේ. ඒ ප්‍රතිසන්‍ධිය ඥානසම්ප්‍රයුක්තකාමාවචරකුශල විපාක ය. මෙයින් උපන්නේ ම ධ්‍යාන වැඩීමෙහි පොහොසත් නුවණැත්තේ ය. මෙසේ ත්‍රිහේතුකප්‍රතිසන්‍ධිය නො ලැබූයේ මේ දිවියෙහි ධ්‍යාන වැඩීමට නො සුදුසු ය. අහේතුක - දුහේතුක ප්‍රතිසන්‍ධියෙන් උපන්නහුට කොතෙක් උත්සාහ කළ ද ධ්‍යාන නො ලැබිය හැකි ය. ‘අපඤ්ඤස්ස’ යනුවෙන් ගැණෙනුයේ මෙ තෙමේ ය. එහෙත් මේ අත් බැව්හි ද ඒ පිණිස උත්සාහවත් විය යුතු ය. එය ප්‍රයෝජනය පිණිස නො වන්නේ නො වේ.
පඤ්ඤා නත්‍ථි අඣායතො = ධ්‍යාන නො කරන්නනහුට ප්‍රඥාව නැත.
ධ්‍යානභාවනා නො කරන්නහුගේ සිත සමාහිත නො වන්නේ ය. සිතෙහි එකඟවීමෙක් නැත්තේ ය. එසේ එකඟ නො වූ සිත් ඇත්තහුට නාම - රූපධර්‍මයන්ගේ ඇති සැටිය දන්නා නුවණ ද නො වන්නේ ය. නාම - රූපධර්‍මයන්ගේ ඇති සැටිය දැන ගත හැකියේ විදර්‍ශනාඥානයෙනි. “සමාහිතො යථාභූතං පජානාති” යනු වදාළේ එහෙයිනි. ධ්‍යාන නැත්තහුට ඒ විදර්‍ශනා ඥානය ලබන්නට නො හැකි ය. ‘පඤ්ඤා’ යනු මෙහි විදර්‍ශනා ප්‍රඥා ය. [11]
යම්හි ඣානං ච පඤ්ඤා ච සො වෙ නිබ්බානසන්තිකෙ = යමකු කෙරෙහි ධ්‍යානයත් ප්‍රඥාවත් ඇත් ද හෙතෙමේ එකාන්තයෙන් නිවනසමීපයෙහි වේ.
මෙ කියූ ධ්‍යානයෙන් හා ප්‍රඥායෙන් යුක්ත පුද්ගල තෙමේ ම එකාන්තයෙන් නිවන සමීපයෙහි පිහිටියේ ය. නිවන වහා ලබනුයේ මෙ තෙමේ ය.
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස = ශුන්‍යාගාරයට පිවිසියා වූ.
විවික්තාවකාශ ‘ සුඤ්ඤාගාර’ නම්. හේ වනාහි ජනයාගෙන් තොර වූයේ ය. මෙහි ආරණ්‍යත් වෘක්‍ෂමූලයත් හැර පර්‍වතය - කන්‍දරය - ගිරිගුහාය - සුසානය - වානප්‍රස්ථය - අභ්‍යවකාශය - පලාලපුඤ්ජය යන මේ ස්ථාන ශුන්‍යාගාරයෙහිලා ගණිත්. පැවිද්දනට පැවිදිකම් කිරීමට සුදුසු ව සිටි මෙතැන් ජනසම්භාධයෙන් තොර වූ බැවින් ශුන්‍යාගාරැයි කියනු ලැබේ. මෙතැන් සෙවුනහුට කායවිවේකය ලැබෙන්නේ ය.
සන්තචිත්තස්ස භික්ඛුනො = සන්සුන් සිත් ඇති මහණහුට.
විවික්තාවකාශයට වැද කර්‍මස්ථාන නො හැර කර්‍මස්ථාන මෙනෙහි කරමින් හුන් එහෙයින් ම නිවුනු සිතැති මහණහුට, යන අරුත්.
අමානුසී රති හොති සම්මා ධම්මං විපස්‍සතො = ධර්‍මය මනා කොට විදසුන් නුවණින් බලන්නහුට මිනිසුන් පිළිබඳ නො වූ ඇල්මෙක් වේ.
විදර්‍ශනාඥානයෙන් දැකිය යුත්තෝ නාමරූපධර්‍මයෝ ය. ඒ මේ නාමරූපධර්‍ම අනිත්‍යාදිවශයෙන් හේතු සහිත ව මැනැවින් දක්නා වූ මහණහුට අමානුෂිකරතිය උපදනී ය. නාම - රූපධර්‍ම යට කියන ලදී. [12]
මෙහි විදර්‍ශනාඥානයෙහි යෙදීමක් නැති අන්‍ධපෘථග්ජනයන් විසින් නො ලැබිය හැකි මිනිසුන් පිළිබඳ නො වන අමානුෂික ප්‍රීතිය හා අෂ්ටසමාපත්තිසඞ්ඛ්‍යාතදිව්‍යරතිය ද ‘අමානුසීරති’ යන්නෙන් ගැණේ. “සම්මා හෙතුනා නයෙන ධම්මං විපස්සන්තස්ස අවිපස්සනාසඞ්ඛාතා අමානුසී රති, අට්ඨසමාපත්තිසඞ්ඛාතා දිබ්බාපි රති හොති” යනු අටුවා.
යතො යතො සම්මසති බන්‍ධානං උදයබ්බං = යම් යම් කලෙක රූපාදීස්කන්‍ධයන්ගේ උදය - ව්‍යය සලකා ද.
ලභති පීතිපාමොජ්ජං අමතං තං විජානතං = එකල්හි ප්‍රීතිය හා ප්‍රාමොද්‍යය ලබයි. එය නුවණැතියනට අමෘතය වේ.
පඨවිකසිණ - අපොකසිණාදී වූ අටතිස් අරමුණෙහි පරිකර්‍ම භාවනා කරන්නා වූ මහණ තෙමේ යම් යම් ආකාරයෙකින් හෝ පෙරවරු පස්වරු ආදී වූ යම් යම් කලෙක්හි හෝ තමා කැමති වන ලද කමටහනෙක යෝග කරමින් රූප - වේදනාදී වූ ස්කන්‍ධ පසෙහි උදය = හටගැණීම, “අවිජ්ජා සමුදයා රූපසමුදයො” යනාදී වූ පස් විසිඅයුරෙන් හා ව්‍යය = විනාශය, “අවිජ්ජානිරොදා රූප නිරොධො” යනාදී වූ පස් විසි අයුරෙන් හා යන සම පණස් අයුරෙන් සලකා බලා ද, එකල්හි ඒ මහණ තෙමේ ධර්‍මය නිසා උපන් ප්‍රීතිය හා ප්‍රමුදිතභාවය ද ලබන්නේ ය. ප්‍රත්‍යය සහිත නාමරූපධර්‍මයන් ප්‍රකට ව වැටහෙන කල්හි උපදනා ඒ ප්‍රීතිය හා ප්‍රමුදිතභාවය අමාමහනිවනට කරුණුවන බැවින් ‘අමෘත’ නම් වේ. මේ අටුවා: අට්ඨතිංසාය ආරම්මණෙසු කම්මං කරොන්තො යෙන යෙනාකාරෙන පුරෙභත්ත පච්ඡාභත්තාදිසු වා කාලෙසු යස්මිං යස්මිං අත්තනා අභිරුචිතකාලෙ අභිරුචිතෙ කම්මට්ඨා නෙ කම්මං කරොන්තො සම්මසති, උදයබ්බයන්ති පඤ්චන්තං බන්‍ධානං පඤ්චවීසතියා ලක්ඛණෙහි උදයං, පඤ්චවීසතිය ලක්ඛණෙහි වයං, එවං බන්‍ධානං උදයබ්බං සම්මසන්තො ධම්මපීතිං ධම්මපාමොජ්ජං ච ලභති, අමත්නති තං සප්පච්චයෙ නාමරූපෙ පාකටෙ හුත්‍වා උපට්ඨභන්තෙ, උප්පන්තං පීතිපාමොජ්ජං අමතමහානිබ්බානසම්පාපකත්තා විජානනං පණ්ඩිතානං අමතං එවාති අත්‍ථො” යනු.
චිත්තතර්‍පණය, පීති නම්. ප්‍රමුදිත වූ පුද්ගලයාගේ හෝ සිතෙහි තත්ත්‍වය පාමොජ්ජ නම්. ප්‍රමුදිතභාවය වැඩී ගියේ ම පීති නම් වේ.
තත්‍ර අයං ආදි භවති ඉධ පඤ්ඤස්ස භික්ඛුනො = මේ ශාසනයෙහි නුවණැති මහණහුට එහි උදය - ව්‍යය සැලකීමෙහි දී මේ සිවු පිරිසුදු සීලය මුල් කරුණ වේ.
බුදුසසුන්හි නුවණැති මහණහුට සිවු පිරිසිදු සීලය පූර්‍වකාරණය වන බැවින් පළමු කොට එහි පිහිටා ගතයුතු ය. ඔහුගේ ජීවිතය චතුපාරිසුද්ධිසීලය ය. සීලයෙහි නො පිහිටා සිල්වත් නො වී ශමථ - විදර්‍ශනා භාවනා නො වැඩිය හැකිය. යමෙක් සීලයෙහි නො පිහිටා එසේ කරන්නේ නම් ඔහුගේ ඒ උත්සාහය සිස් ය. අර්‍ත්‍ථරහිත ය. සීලයෙන් තොරවූවහුට බුදුසසුනෙහි ආස්වාදයෙක් නැත්තේ ය. හැම ගුණයකට සීලය මුල් ව සිටියේ ය. එහෙයිනි බුදුරජානන් වහන්සේ වදාළේ “තත්‍රායමාදිභවති” යනු.
ඉන්‍ද්‍රියගුත්ති = ඉන්‍ද්‍රියසංවරය ද, ඉඳුරන් රැකීම ද.
චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - මන යන සදොරින් සිතට වැද ගන්නා වූ රූප - ශබ්ද - ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍ය - ධර්‍ම යන සවැදෑරුම් අරමුණෙහි රාගාදී කෙලෙස් නො ද උපදවා සිහි එළවා චක්‍ෂුරාදී වූ දොරටු රැක ගැණීම ‘ඉන්‍ද්‍රියගුත්ති’ නම්. [13]
සන්තුට්ඨි = සිවුපසයෙහි ලද පමණින් සතුටුවීම.
මෙයින් ආජීවපාරිශුද්ධිශීලය හා ප්‍රත්‍යයසන්නිශ්‍රිතශීලය කියන ලද ය. ආජීවපාරිශුද්ධිශීල නම්: මිත්‍ථ්‍යාජිවයෙන් වැළකී දිවිරැකීම ය. ප්‍රත්‍යයසන්නිශ්‍රිතශීල නම්: ප්‍රත්‍යවේක්ෂා කොට සිවුපසය වැළඳීම ය.
පාතිමොක්ඛෙ ච සංවරො = ප්‍රාතිමෝක්ෂශීලයෙහි සංවරය හික්මීම.
ප්‍රධානශීලය, ප්‍රාතිමෝක්ෂශීලය යි. ශිකෂාපදශීලය යි කියනුයේ ද මේ ය. [14]
මිත්තෙ භජස්සු කල්‍යාණො = කලණ මිතුරන් සේවනය කරව.
සුද්ධාජීවෙ = පිරිසිදු දිවිවැටුම් ඇති.
අතන්‍දිතෙ = නො කුසීත වූ. අලස නො වූ.
සිවු පිරිසිදු සිල්හි පිහිටා එක්විසි අනෙස්නෙන් දුරුව ගෙපිළිවෙලින් පිඬු සිඟා ගොස් ලැබෙන සිවු පසයෙන් දිවි යවන නො කුසීත වූ දශකථාවස්තුලාභී වූ කල්‍යාණ මිත්‍රයනි සේවනය කරව, යනු සුගතොවාදය ය.
පටිසන්‍ථාරවුත්ති අස්ස = පිළිසඳර පැවැතුම් ඇතියේ වන්නේ ය. පිළිසඳරකතා කරන්නකු වියයුතු ය.
ලෝකයෙහි දෙ සිදුරෙක් ඇත්තේ ය. ඒ සිදුරු දෙකින් එක් සිදුරෙක්, පුටුවක් ඇතිරියකින් වසාලන්නා සේ වෙනසක් නො පෙණෙන පරිදි ආමිෂයෙන් වැසිය යුතු ය. ආමිෂයෙන් සිදුරු නො තබා ලෝකය වසාලීම ආමිසපටිසන්‍ථාර නම්. ඒ වනාහි ලෝකයට ආමිෂයෙන් කරණ සඞ්ග්‍රහය යි. ආමිසපටිසන්‍ථාරයෙන් ලෝකය වසන්නහු විසින් තමන් ලත් ආමිෂය නො පහසා ඉඳුල් නො කොට එයින් කොටසක් නො ගෙණ ම මවුපියන්ට මහණ වෙස් දරන්නවුන්ට වතාවත් කරන්නවුන්ට රජුට සොරුනට දිය යුතු ය. පහසා අතපත ගා දුන් කල්හි රජවරු සොරු නො ද සතුටු වන්නෝ ය. සමහර විටෙක ඔවුන් ඒ නිසා ගැහැට ද කරණු හැකි ය. තමන් දත් ධර්‍මය අනුනට සකස් ව උගැන්වීම කියාදීම ධම්මපටිසන්‍ථාර නම්. ඒ වනාහි තමන් දැන උගත් ධමය අනුනට උගන්වා කියා දී අනුන් උගතුන් කිරීම ය. මේ ආමිස - ධම්මපටිසන්‍ථාර ඇතියේ ‘පටිසන්‍ථාරවුත්ති’ නම්.
ආචාරකුසලො සියා = ආචාරයෙහි දක්‍ෂයෙක් වන්නේ ය. ආචාරයෙහි දක්‍ෂයකු වියයුතු ය.
මෙහි සීලය හා වතපිළිවෙත ආචාර නම්. එහි දක්‍ෂ වූයේ සිල් රකිනුයේ වත්පිළිවෙත් කරණුයේ ‘ආචාරකුසල’ නම්.
තතො පාමොජ්ජබහුලො දුක්ඛස්ස අන්තං කරිස්සසි = ඒ හේතුයෙන් ප්‍රමුදිතභාවය බහුල කොට ඇත්තෙහි දුක් කෙළවර කරන්නෙහි.
පිළිසඳර පැවැතුම් ඇති බැවින් ද ආචාරයෙහි දක්‍ෂ බැවින් ද උපන් ධර්‍මයෙහි ප්‍රමුදිතභාවය බහුල කොට ඇතියේ සියලු සසරදුක කෙළවර කරන්නේ ය.
බුදුරජානන් වහන්සේ විසින් මෙසේ වදාළ මේ ගාථා අතුරෙහි එක් එක් ගාථායෙහි කෙළවර එක් සියය එක් සියය බැගින් භික්‍ෂූන් වහන්සේලා හුන් හුන් තැන්හි ම සිවුපිලිසැඹියාවන් ලබා රහත් වූහ. උන්වහන්සේලා හැම දෙන අහසට නැගී අහසින් ම එක්සිය විසියොදුන් පමණ වූ කාන්තාරය පසු කොට දෙව්රමට ගොස් බුදුරජුන්ගේ රන්වන් සිරුරට තුතු පුදමින් වැඳ සිටියහ.
සම්බහුලභික්‍ෂු වස්තුව නිමි.
19-4 ‘අහිංසා’ යනු බලනු. ↑
14-4 ‘එතං බුද්ධාන සාසනං’ යනු බලනු. ↑
14-6 ‘දුක්ඛස්ස ච අතික්කමං’ යනු බලනු. ↑
2-8 ‘සංයොජනං’ යනු බලනු. ↑
13-5 ‘නත්‍ථි සඞ්ගො’ යනු බලනු. ↑
2-3 ‘යං ඔඝො නාභිකීරති’ යනු බලනු. ↑
2-1 ‘ඣායිනො’ යනු බලනු. ↑
2-1 ‘පමාදො’ යනු බලනු. ↑
2-2 ‘ඡෙත්‍වාන මාරස්ස පපුප්ඵකාති’ යනු බලනු. ↑
2-1 ‘පමත්තො’ යනු බලනු. ↑
20-4 ‘යදා පඤ්ඤාය පස්සති’ යනු බලනු. ↑
20-4 ‘සබ්බෙ සඞ්ඛාරා’ යනු බලනු. ↑
1-6 ‘ඉන්‍ද්‍රියෙසු සුසං වුතං’ යනු බලනු. ↑
14-4 ‘පාතිමොක්ඛෙච’ යනු බලනු. ↑