යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.
ළදරු වූ යම් මහණෙක් බුද්ධානුශාසනයෙහි (හෙවත් කමටහන්හි) යෙදේ ද, හෙ තෙම වලාපටලින් මිදුනු පුන්සඳුහු මෙන් මෙ ලොව ඒකාන්තයෙන් නුවණ එළියෙන් බබුළුවන්නේ ය.
පියුමතුරා බුදුරජානන් වහන්සේගේ කාලයෙහි එක් කුලපුත්‍රයෙක්, පියුමතුරා බුදුරජුන් විසින් භික්‍ෂු නමක් තම සසුන්හි දිවැස් ඇතියවුන් අතුරෙහි අග තැන්හි තබනු දුටුයේ ය. දැක ඒ සැපත පතමින් බුදුරජුන් පවරා සත් දවසක් බුදුපාමොක් මහ සඟනට මහදන් දී අවසානයෙහි බුදුරජුන් ඉදිරියෙහි හැඳ “ස්වාමීනි! මමත් එන දවස බුදු කෙනකුන්ගේ සසුන්හි දිවැස් ඇතියවුන් අතුරෙහි අග්‍ර වන්නට ප්‍රාර්‍ත්‍ථනා කරමි”යි ප්‍රාර්‍ත්‍ථනා තැබී ය. ඉක්බිති බුදුරජානන් වහන්සේ එ වේලෙහි කල්පලක්‍ෂයකින් ඔබ බලන සේක් ඔහුගේ පැතීම සමෘද්ධ වන බව දැක “මෙයින් කල්ප ලක්‍ෂයකින් ඔබ්බෙහි ගෞතම නම් බුදුකෙනෙකුන්ගේ සසුන්හි දිවැස් ඇතියවුන් අතුරෙහි අග්‍ර වූ අනුරුද්ධ නම් ස්ථවිර වන්නේ ය”යි වදාළ සේක. ඔහු ද ඒ සම්පත්තිය හෙට ම ලැබෙන්නක් සේ සිතා පින්කම් කෙළේ ය. පියුමතුරා බුදුරජුන් පිරිනිවී කල්හි “දිවැස් ලැබීමට උපකාර වූ පින්කම් කවරේ දැ?”යි භික්‍ෂූන් විචාරා සත් යොත්නක් පමණ වූ රන්සෑයක් වට කොට නොයෙක් පහන් රුක් දහස් ගණනක් කරවා පහන් පූජා කෙළේ, ඒ අත්බැවින් මිදී දෙව්ලොව උපන්නේ ය. කල්ප ලක්‍ෂයක් මෙසේ දෙවි මිනිසුන් අතුරෙහි සැරිසැරූ හෙ තෙමේ මේ කාලයෙහි බරණැස් නුවර දිළිඳු කුලයෙක උපන්නේ සුමන සිටානන්ගේ අසුන්ට තණකොළ ගෙණ එන්නෙක් ව ජීවිකාව කෙළේ ය. නම් අන්නභාර නම් වී ය.
සුමන සිටු තෙමේ ද එනුවර නිතර මහදන් දෙන්නෙක් වූයේ ය. මේ කාලයෙහි එක් දවසක් උපරිට්ඨ නම් පසේ බුදුරජානන් වහන්සේ ගන්‍ධමාදන පර්‍වතයෙහි නිරෝධසමාපත්තිය සමවැද ඉන් නැගී සිට “කවරක්හට මම අද සඞ්ග්‍රහ කරන්නෙම්දැ”යි බලා වදාළ සේක. “අද මා විසින් අන්නභාරයාහට අනුග්‍රහ කළ යුතු ය, දැන් ඔහු වනයෙන් තණ ගෙණ එන්නේ ය”යි උන් වහන්සේ පා සිවුරු ගෙණ ඍද්ධියෙන් අවුත් අන්නභාරයාගේ ගෙදොර මිදුලෙහි වැඩ සිටි සේක. අන්ණබාර හිස් පාත්‍රයක් අතේ ඇති ව සිටි උන්වහන්සේ දැක “කිමෙක් ද, ස්වාමීනි! වැළඳිය යුතු කිසිවක් ලැබුහු දැ?”යි ඇසී ය. “පිණැත්ත! ලබන්නමෝ”යි උන් වහන්සේ වදාළ විට “මදක් බලාපොරොත්තු වනු මැනැවැ”යි තණකොළකද පසෙක දමා ගෙට දුව ගොස් “සොඳුර! මට තැබූ බත් කොටස තිබේ දැ?”යි බිරියගෙන් අසා “හිමියෙනි! ඇතැ”යි ඇය කී විට ආපසු පසේ බුදුරජුන් වෙත දුවගොස් පාත්‍රය ගෙණ “දෙනු කැමැති කල්හි දෙන්නට දැයෙක් මට නැත්තේ ය, දිය යුතු දැයක් ඇති කල්හි දෙන්නට සුදුස්සෙක් නැත්තේ ය, අද නම් වැඩිදුර නො ගොස් සොයා නො බලාම දෙන්නට සුදුස්සෙක් මුණ ගැසුනේ ය, දෙන්නට නිසි දැයෙක් ද ඇත්තේ ය, අද නම් වූයේ මහත් ලාභයෙකැ”යි ගොට ගොස් තමන්ට කන්නට තුබූ බත් කොටස පාත්‍රයෙහි බහා ගෙණවුත් පසේ බුදුරජුන්ගේ අත තබා,
“මේ දන් පිණෙනි මට - දිළිඳුබව නො ම වේවා,
නැත යන රළු වදන් කිසි - බවයෙක්හි නොම වේවා”
ස්වාමීනි! මේ කටුක දිළිඳු දිවියෙන් මිදෙම්වා, නැත යන බසකුත් නො ම අසන්නෙම් වා”යි ප්‍රාර්‍ත්‍ථනා තැබී ය.
එකල්හි පසේ බුදුරජානන් වහන්සේ “පිණැත්ත! එසේ වේවා”යි අනුමෝදනා කොට ගන්‍ධමාදනපර්‍වතයට වැඩි සේක. ඒ වේලෙහි සුමන සිටුහුගේ සේසත අරක් ගත් දෙවියා උපරිට්ඨ පසේබුදු රජුන් කෙරෙහි පිහිටුවන ලද දානය බලා “අනේ, යහපත, මේ නම් පරමදානයකැ”යි තුන්වරක් සාධුකාර දුන්නේ ය. සිටු, දෙවියා හැඳින “තෝ මෙතෙක් කල් මා දන් දෙනු නො දුටුවෙහි දැ?”යි ඇසූ කල්හි “මම ඔබගේ දානයට සාධුකාර නො දෙමි, ඔබගේ දානය අන්නභාරයාගේ දානය තරම් උතුම් නො වේ, අන්නභාරයා විසින් උපරිට්ඨ පසේ බුදුරජුන්හට දුන් පිණ්ඩපාතය ම උතුම් ය, එහි පැහැද මා විසින් මේ සාධුකාරය පවත්වනලදැ”යි කීයේ ය. සිටු “මෙය මහත් අරුමයෙක, මෙය මහත් පුදුමයෙක, මම මෙතෙක් කල් දෙන්නෙම් දෙවියන් ලවා සාධුකාර දෙවාලන්නට නො හැකි වීමි, මා නිසා ජීවත් වන ඉන්නට සරණක් නැති කන්නට බතක් නැති මාගේ අසුන්ට තණ අදින මේ දිළින්දා එක් ම පිණ්ඩපාත දානයෙන් දෙවියන් ලවා සාධුකාර දෙවී ය, ඔහුගේ, දෙවියන්ගේ ප්‍රසාදයට ලක් වූ ඒ දානයට නිසි සැලකිල්ලක් කොට ඒ පිණ්ඩපාතය මාසතු කර ගණිමි”යි සිතා ඔහු කැඳවීය. කැඳවා “අද තාවිසින් කිසිවක්හට යම්කිසි දැයෙක් දෙන ලද දැ?”යි ඇසී ය. “සිටාන! එසේ ය, මම අද මට තුබූ බත්පත උපරිට්ඨ පසේ බුදුරජුන්ට පිදීමි”යි කී කල්හි “එසේ නම් කහවණුවක් ගෙණ ඒ පිණ්ඩපාතය මාසතු කරව”යි කී ය. “හිමියෙනි! ඒ නම් කළ නො හැකි ය”යි කී විට සිටු, ඒ කහවණුව කහවණු දහස දක්වා වැඩි කොට පිණ්ඩපාතය ඉල්ලී ය. එහෙත් අන්නභාර, කහවණු දහසටත් පිණ්ඩපාතය නො ද දුන්නේ ය. එ කල්හි සිටු “හා, වේවා, හොඳයි, එසේ නම් මේ කහවණු දහස ගෙණ එහි පින් අපටත් පමුණුවාලව”යි කී ය. අන්නභාර, “පසේ බුදුරජුන්ගෙන් එය අසා දැන ගණිමි”යි වහා දුවගොස් බුදුරජුන් වෙත පැමිණ “ස්වාමීනි! සුමන සිටු කහවණු දහසක් ගෙණ බුදුරජානන් වහන්සේට පිදූ පිණ්ඩපාතයෙහි පින් ඉල්ලන්නේ ය, ඒ ගැණ මම කුමක් කරම් දැ?”යි ඇසී ය. එකල්හි උන්වහන්සේ “නුවණැතිය! ගෙවල් සියයක් ඇති ගමෙක මිනිහෙක් තම ගෙයි පහනක් දල්වන්නේ ය, අන් ගවෙල වැස්සෝ අවුත් තමන්ගේ ම තෙලාන් තෙමූ පාන් වැටියක් තෙල පානෙන් දල්වා ගෙණ යන්නෝ ය, එසේ දල්වා ගත් කල්හි ඒ මුලින් දැල්වූ පහනෙහි එලිය අඩු වේ ය යි, නැත, වැඩි වේ ය යි කියයුතු දැ?”යි ඔහු අතින් විචාළ සේක. ඔහු “ස්වාමීනි! එයින් මුල් පහනෙහි එලිය අඩු නො වන්නේ ය”යි කී විට “නුවණැතිය! එ පරිද්දෙන් යමෙක් වැඩියක් නොව කැඳහැන්දෙක් වේව,යි බත් හැන්දෙක් වේව, යි දන් දීලා එහි පින් යම්තරම් දෙනෙකුට දෙනුයේ නම් එතෙක් තරමින් ඒ පින වැඩෙන්නේ ය, ඔබ විසින් දෙන ලද්දේ එක ම පිණ්ඩපාතයෙකි, සිටානන්ට එහි පින් දුන්විට එය දෙකෙක් වන්නේ ය, ඉන් එකෙක් ඔබට ය, එකෙක් සිටුහට ය”යි බුදුරජානන් වහන්සේ උපමාවක් දක්වා වදාළ සේක.
එකල්හි අන්නභාර “ස්වාමීනි! යහපතැ”යි බුදුරජුන් වැඳ සිටුහු වෙතට දුව ගොස් “සිටාන! මා දුන් පිණ්ඩපාතදානයෙහි පින් අනුමෝදන් වනු මැනැවැ”යි කියා සිටියේ ය. “හොඳයි, එසේ නම් මේ කහවණු ගන්නැ”යි කී විට “මම පිණ්ඩපාතය නො විකුණමි, ශ්‍රද්ධායෙන් ඔබතුමාට පින් පවරමි”යි කී ය. සිටු තෙමේ “මම ඔබ දෙන පින් ගන්නම්, මම මේ දෙන්නෙම් පිණ්ඩපාත මිලයෙක් නො වේ, ඒ නිසා මා දෙන මේ පඬුර අමුත්තක් නො සිතා පිළිගන්න, මා මේ කරණු ලබනුයේ ඔබගේ ගුණයට උපහාරයෙකැ”යි කහවණු දහස දීලා “මෙතැන් පටන් තණකොළ කපා ඇවිදිනු මට රුචි නො වේ, එහෙයින් ඒ පිණිස වෙහෙස විය යුතු නැත, කය වෙහෙසා සියතින් වැඩ නො කරව, අර පෙණෙන කඩපලෙහි ගෙයක් ගොඩ නගා ගෙණ හොඳින් හිඳුව, යමෙක් වුවමනා නම් ඒ හැම මාගෙන් ගණුව”යි කීයේ ය.
නිරෝධසමාපත්තියෙන් නැගී සිටි පසේ බුදුරජුන්ට පිදූ පිණ්ඩපාතය එදවස ම විපාක දෙන්නේ ය. එහිවිපාක විසින් රජ තෙමේ ද එ පුවත අසා අන්නභාරයා ගෙන්වා පිණ්ඩපාත දානයෙහි පින් ගෙණ ඔහුට භෝගසම්පත් දී සිටුතනතුරු ද දුන්නේය. සිටුතනතුරු ලත් අන්නභාර, සුමන සිටුහුට සහාය ව සිට පින් කොට ඒ අත්බවෙන් මිදී දෙව්ලොව ඉපද ජාතියෙන් ජාතිය දෙවිමිනිසුන් අතර ම සැරිසරනුයේ අප බුදුරජුන් දවස කඹුල්වත් පුරයහි අමිතොදන ශාක්‍යයන්ගේ ගෙයි පිළිසිඳ ගත්තේ ය. මවුපියෝ ඔහුට අනුරුද්ධයි නම් කළහ. අනුරුද්ධ ඉතා සියුමැලි ය. මහානාම ශාක්‍යයාගේ බාල මලනු ය. බුදුරජුන්ගේ සුලු පියාගේ පුතනු ය. මහා පිණැත්තේ ය. එහි භද්දිය ආදී වූ අන් කැත් කුමරුන් හා එක් ව කැවුම් ඔට්ටු කොට ගුළකෙළියට වැටුනු අනුරුද්ධ තෙමේ එයින් පැරදුනේ කැවුම් එවන්නැ’යි මවට දන්වා යැවූයේ ය. එවිට මවු තොමෝ ලොකු රන්තැලියක් ගෙණ එය කැවුම් වලින් පුරවා යැවූ ය. ඒ කැවුම් කා නැවැත කෙළනා කල්හි එවර ද පැරදුනේ කැවුම් එවන්නැ යි කියා යැවී ය. මෙසේ තෙවරක් ම පැරදී තෙවරක් ම කැවුම් ගෙන්වා ගත්තේ සිවුවන වරත් කැවුම් එවන්නැ යි දන්වා යැවූ විට මවු තොමෝ පිළියෙල කොට තුබූ කැවුම් අවසන් වූ බැවින් කැවුම් නැතැයි කියා යැවූ ය. ‘නැතැ’යි යන බස කවදාකවත් නො අසා සිටි අනුරුද්ධ, “යව, නැති කැවුම් ගෙණ එව”යි කැවුම් ගෙණෙන්නහු පිටත් කොට හැරියේ ය. ඔහු ගොස් “ආර්‍ය්‍යා! නැති කැවුම් දෙන්නැ”යි ඉල්ලා සිටි විට, ඕ තොමෝ “මා පුත් උපන්දා සිට මෙතෙක් කල් ‘නැත’ යන මෙ බස අසා නැත, එහෙයින් ‘නැත’ යන්නෙහි තේරුම කෙසේ හඟවම් දැ”යි සිතා රන්තලියක් ගෙණ සෝදා එය අන් රන්තලියකින් වසා “මෙය ගෙණ ගොස් මපුත් හට දෙව”යි කියා යැවූ ය.
එ වේලෙහි එනුවර අරක් ගත් දෙවියෝ “මේ කුමරු අන්නභාර කාලයෙහි උපරිට්ඨ පසේ බුදුරජුන්ට තම බත් කොටස පුදා ‘නැත’ යන බස කණ නො වැටේවා යි ප්‍රාර්‍ත්‍ථනාවක් තබා ඇත, අපි ඒ දැන මෙහි දී මැදහත් වන්නමෝ නම් අපගේ හිස් පැළී යනු ඇතැ”යි සිතා රන්තලිය මුව විට තෙක් ම දිව කැවුමෙන් පුරවාලූහ. කැවුම් ගෙණ ගියේ තලිය ගෙණ ගොස් අනුරුද්ධ කුමරුන් ලඟ තබා පියන් පත හැරියේ ය. එකෙණෙහි කැවුම් සුවඳ මුළු නුවර පැතිර ගත්තේ ය. කැවුමක් කට ගෑ ඇසිල්ලෙහි ම සත් දහසක් රස නහර පිණා ගියේ ය. එකල්හි අනුරුද්ධ තෙමේ “මෙයට පෙර මාගේ අම්මාට මා ප්‍රිය නො වූවකු සේ ය පෙණෙන්නේ, මෙයට පෙර අම්මා මට මෙබඳු රසැති නැති කැවුම් නො පිසූ ය”යි ගෙට ගොස් “අම්මේ! අම්මාට මම ප්‍රිය නො වෙම් දැ?”යි ඇසී ය. “පුත! කුමක් අසහු, මාගේ ඇසට මාගේ හදවතට වඩා පුතා මට ප්‍රිය”යි කී විට “එසේ නම් අම්මේ! මම අම්මාට ප්‍රිය වෙම් නම් මෙතෙක් දවස් මෙබඳු නැති කැවුම් නො දෙන ලද්දේ කුමක් නිසා?”යි ඇසී ය. ඉක්බිති ඕ තොමෝ කැවුම් ගෙණ ගියහු අතින් “දරුව! තා ගෙණ ගිය තලියෙහි කිසි දැයෙක් තුබුනේ ද?”යි ඇසූ ය. “ආර්‍ය්‍යා! ඔව්. මුළු තලිය කැවුම් වලින් පිරී තුබුනී ය, මා විසින් නම් මේ ජීවිතයේ දී මෙයට පෙර කිසි දවසෙක මෙ බඳු කැවුම් දැක නැතැ”යි කී විට “මපුත් මහපිණැත්තේ ය, දෙවියන් විසින් මේ දිව කැවුම් යවන ලදැ”යි සිතූ ය. අනුරුද්ධ “අම්මේ! මෙබඳු කැවුම් මා විසින් මෙයට පෙර කා නැත, ඒ නිසා මෙතැන් පටන් මට නැති කැවුම් ම පිළියෙල කරන්නැ”යි කියූ දා පටන් මවු තොමෝ රන්තලියක් සෝදා එය අන් තලියකින් වසා යවන්නී ය. දෙවියෝ ඒ හිස් තලියෙහි මුව විට තෙක් ම දිව කැවුම් බහන්නාහ. අනුරුද්ධ ගිහි ගෙයි වසන්නේ, නැත, යන බසෙහි තේරුම නො දැන ම දිව කැවුම් අනුභව කෙළේ ය.
බුදුරජුන්ට පිරිවර පිණිස කුල පිළිවෙළින් ශාක්‍ය කුමාරයන් පැවිද වන කල්හි මහානාම ශාක්‍යයා “මල්ලි! අපගේ ගෙයින් මෙතෙක් කිසිවෙක් පැවිදි වූයේ නො වේ. ඒ නිසා මල්ලී හෝ මා පැවිදි විය යුතු ය”යි කී කල්හි “මම සියුමැළි ය, පැවිදි වන්නට මට නො පිළිවනැ”යි අනුරුද්ධ කුමරු කීයේ ය. “එසේ නම් මල්ලී කර්‍මාන්ත උගෙණ ගෙයි කටයුතු කරන්න, මම පැවිදි වන්නෙමි”යි මහානාමයන් කියූ විට අනුරුද්ධ “ගෙයි කටයුතු නම් කිමැ?”යි ඇසූයේ ය. බත් උපදනා තැනත් නො දන්නා අනුරුද්ධ, කර්‍මාන්ත නම් කිමැ යි දන්නේ ද? එහෙයින් හේ මෙසේ කීයේ ය.
දවසක්, අනුරුද්ධ - භද්දිය - කිම්බිල යන තිදෙන බත් උපදනේ කො තැනක දැයි සාකච්ඡා කළහ. කිම්බිල, “බත් කොටුවේ උපදී ය”යි කී ය. ඔහු කොටුවෙහි ලන වී දැක බත් කොටුවෙන් උපදී ය යි සිතා මෙසේ කී ය. එවිට භද්දිය “බත් උපදනා තැන තමුසේ නො දන්නහු ය, බත් උපදනේ සැළියෙනැ”යි කීයේ ය. එසේ කීයේ සැළියෙන් ගෙණ බත් බඳුනට බෙදනු දැකීමෙන් ය. එවිට අනුරුද්ධ, “ඔබ දෙපොල ම බත් උපදනා තැන නො දන්නහු ය, රියනක් පමණ උස් වූ කැකුළක් ඇති රන්තලියෙහි බත් උපදී ය”යි කී ය. අනුරුද්ධ, කිසි දවසෙක වී කොටන්නන්, බත් පිසන්නන්, දැක නැත. තලියෙහි ලා ඉදිරියෙහි තැබූ බත්තලිය පමණක් ම ඔහු විසින් දක්නාලද බැවින් තලියෙහි ම බත් උපදී ය යි හේ අදහස් කෙළේ ය. ඒ නිසා මෙසේ කීයේ ය. මෙසේ බත් උපදනා තැනක් නො දන්නා මහාපිණැති කුලපුත්, කෙසේ නම් කර්‍මාන්ත ගැණ දනී ද?, එහෙයින් කර්‍මාන්ත නම් කිමැ?”යි ඇසී ය. මහානාම ශාක්‍ය තෙමේ “අනුරුද්ධ! මෙහි එව, ගිහි ගෙයි විසීම පිණිස අවශ්‍යයෙන් උගත යුතු කටයුතු කරණ සැටි උගෙණ ගන්නැ”යි ලඟට ගෙන්වා ගෙණ “මල්ලි! පළමු කොට කුඹුර හෑවිය යුතු ය” යනාදී විසින් සහෝදරයා විසින් කියූ කර්‍මාන්තයන්ගේ කෙළවරක් නො පෙණෙන බව දත් අනුරුද්ධ, “මට ගිහිගෙයින් වැඩෙක් නැතැ”යි මවගෙන් අවසර ඉල්ලා ගෙණ භද්දිය ප්‍රධාන කොට සිටි ශාක්‍ය කුමරුන් පස්දෙනා සමග නික්ම ගොස් අනුපිය නම් අඹවනයෙහි වැඩ හුන් බුදුරජුන් වෙත ගොස් පැවිදි වී ය. පැවිදි ව මනාව පිළිපැද ත්‍රිවිද්‍යාවන් සාක්‍ෂාත් කොට හුන්ස්නෙහි හුන්නේ ම දිවැසින් හස්තාමලකන්‍යායයෙන් දශසහශ්‍රීලෝකධාතුව දක්නට සමර්‍ත්‍ථ වූයේ,
“මම පෙර විසූ කඳ - පිළිවෙළ දනිමි දිවැස ද,
පිරිසිදු කැරිනි තෙවිදූ - ඇතියෙම් ඉදුහ පත්මි,
බුදුරජුන්ගේ ඒ - අනුසසුන මා කැරිණි”
යි උදන් ඇනී ය.
ඉන්පසු “මා විසින් කුමක්හුගේ විපාක විසින් මේ සැපත ලද දැ”යි බලනුයේ “පියුමතුරු බුදුරජුන් දවස මහදන් පවත්වා උන්වහන්සේගේ සිරිපාමුල්හි ප්‍රාර්‍ත්‍ථනා තබා නැවැත නැවැත පින් කරමින් සසර සැරිසරණුයෙම් එක් කලෙක බරණැස් නුවර ඉපද එහි සුමන සිටු නිසා දිවි යවනුයෙම් අන්නභාර නම් වීමි”යි දැන:-
“වීමි පෙර කද දින - දිළිඳු අන්බරු මිනිහෙක්,
උපරිටු පසේ බුදුනට - දීනි පිඬු පා ඒ පෙර”
යි මෙසේ ප්‍රකාශ කෙළේ ය.
ඉක්බිති අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ “ඒ කාලයෙහි උපරිට්ඨ පසේ බුදුරජුන්ට මා දුන් පිණ්ඩපාතයෙහි පිණ යමෙක් මට කහවණු දහසක් දී අනුමෝදන් වූයේ ද , මාගේ යහළු වූ ඒ සුමන සිටු තෙමේ දැන් කො තැනක ඉපද සිටී දැ”යි බැලූහ. එහි දී “ඔහු දැන් වින්‍ධ්‍යවනයෙහි කඳුපාමුලෙක පිහිටි නියම්ගමෙහි මහාමුණ්ඩ නම් උපාසකයාගේ දෙපුතුන් අතුරෙහි චුල්ලසුමන නම් ව ඉපද සිටී ය”යි දැක නැවැත “මා එහි ගියෝත මාගේ ඒ ගමනින් වැඩෙක් වේ ද, නො වේ දැ”යි බැලූහ. “මා එහි ගිය විට සත් අවුරුදු වයසැති එ දරු මා වෙත පැවිදි වන්නේ ය, කර අගදී ම රහත් බවට පැමිණෙන්නේ ය”යි දැක අතුළු වස ලං ව තිබියදීම අහිසින් ගොස් ගම්දොර බැස සිටියහ. පෙරත් තෙරුන් දැක පැහැද සිටි මහාමුණ්ඩ තෙමේ ඒ වේලෙහි පිඬු සිඟා යන්නට සිවුරු ගැටවටු ගන්වන තෙරුන් දැක පුතු අමතා, “පුත! මාගේ ආර්‍ය්‍ය වූ අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මෙහි වැඩම කොට සිටිත්, අනෙකකු උනවහන්සේගේ පාත්‍රය ගන්නට පෙරාතුව පුතා ගොස් පාත්‍රය ගන්න, මම අසුන් පණවමි” යි තෙරුන් වෙත පුතු යැවී ය. චුල්ලසුමන ගොස් පාත්‍රය ඉල්ලා ගත්තේ ය. උපාසක තෙමේ තෙරුන්, ඇතුළු ගෙයි වඩා හිඳුවා මැනැවින් වළඳවා ඉදිරියෙහි එන වස් තෙමස එහි වසන්නට ආරාධනා කෙළේ ය. ස්ථවිරයන් වහන්සේ එය ඉවසූහ.
උපාසක, එක් දවසක් කරණ උපස්ථානයක් සේ වස් තුන්මස මැනැවින් උපස්ථාන කොට මහාපවාරණදිනයෙහි තුන් සිවුරු උක්හකුරු තලතෙල් සහල් ආදිය ගෙන්වා තෙරුන් පා මුල තබා “ස්වාමීනි! මේ හැම දැය පිළිගන්නා සේක්වා”යි ඇයද සිටියේ ය. “උපාසක! මට මෙයින් වැඩෙක් නැතැ”යි වදාළ විට, ඔහු නැවැත නැවැතත් “ස්වාමීනි! මෙය වස්සාවාසික පූජාවශයෙන් ලැබිය යුත්තකෙ, එහෙයින් පිළිගත මැනැවැ”යි ඉල්ලා සිටියේ ය. එ වරත් උන්වහන්සේ “උපාසක! මට කම් නැතැ”යි ඉල්ලීම පිළිකෙව් කළහ. “ස්වාමීනි! මෙසේ මා ඉල්ලා සිටිය දීත් ඔබවහන්සේගේ මේ ප්‍රතික්‍ෂෙප කිරීම කුමක් නිසා?”යි ඇසූ කල්හි “උපාසක! මේ දැය විනාශ විය නො දි රැක බලා ගන්නට කැපකරු හෙරණ නමක් වත් මා ලඟ නැතැ”යි උන්වහන්සේ කීහ. එවිට උපාසක, ‘ස්වාමීනි! එසේ නම් මා පුත් මහාසුමන හෙරණකු කර ගන්නැ”යි කී ය. “මහාසුමන නො ව චුල්ලසුමන දෙතොත් ඔහු පැවිදි කරන්නෙමි”යි කී විට “හොඳයි, ස්වාමීනි! චුල්ලසුමන පැවිදි කර ගන්නැ”යි උපාසක කියා සිටියේ ය. ස්ථවිරයන් වහන්සේ චුල්ලසුමන පිළිගෙන පැවිදි කළහ. පැවිදි කරන්නට හිසකෙස් සිඳ නිමාවත් ම චුල්ලසුමන රහත් වී ය. ඉන් පසු ස්ථවිරයන් වහන්සේ හෙරණුන් හා අඩමසක් එහි ම වැස “බුදුරජුන් දක්නට යා යුතු ය” යි හෙරණුන්ගේ නෑයනට දන්වා අහසින් ම ගොස් හිමවත් පෙදෙසෙහි වනකිළියකට බටහ.
අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ සැහැවියෙන් ම පටන් ගත් වැර ඇතියහ. එහි පෙර යමත් පැසුළු යමත් සක්මන් කරණ උන්වහන්සේට මහත් බඩ රුදාවෙක් හට ගැණුනේ ය. එයින් ගිලන් වූ වෙහෙසට පත් උන්වහන්සේ දැක “ස්වාමීනි! හාමුදුරුවන් වහන්සේට ඇති වෙහෙස කුමක් ද?, එහාට මෙහාට ඇඹරෙණු කුමක් නිසා?”යි හෙරණුන් විචාළ විට බඩරුදාවෙක් හට ගෙණ මා පෙළා ය”යි කී හ. මෙයට පෙරත් බඩරුදා හට ගෙණ තිබේ දැ?”යි ඇසූ විට “එසේ ය, හටගෙණ තිබේ ය”යි කීහ. “එයට කළ පිළියම් කිමැ?”යි ඇසූ විට අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ “අනවතප්තවිලෙහි පැන් ටිකක් වැළඳූ විට මෙය සන්සිඳී ගොස් පහසුකම් ලැබෙන්නේ ය”යි කීහ. “එසේ නම් මම ගොස් පැන් ගෙණ එන්නෙමි”යි හෙරණුන් කී විට “ඔය නමට එය කළ හැකි දැ?”යි ඇසූහ. “එසේ ය ස්වාමීනි! මට ගෙණ ආ හැකි” යි කී කල්හි “අනවතප්තවිලෙහි මා ගුණ දන්නා මා හඳුනන පන්තක නම් නාරජෙක් ඇත්තේ ය, ඔහුට කියා බෙතේ පිණිස පැන් කළයක් ගෙණෙව”යි යන්නට අවසර දුන්හ. හෙරණ තෙරුන් වැඳ අහසට නැගී යොදුන් පන් සියයක් ඔබ්බෙහි වූ අනවතප්ත විලට ගියේ ය. එදවස නාරජ තෙමේ නා නළුවන් පිරිවරා දිය කෙළි කෙළනා පිණිස සැරසී හුන්නේ ය. නාරජ, අහසින් එන හෙරණුන් දැක “මේ මුඩු මහණ, තමන්ගේ පා දූවිලි මා හිර වගුරුවමින් අහස හැසිරෙන්නේ ය, අනවතප්තවිලෙන් පැන් ගෙණ යෑමට මෙතෙමේ ආයේ වන, මොහුට පැන් නො දෙමි”යි පණස් යොදුන් පමණ වූ අනවතප්ත විල මහමලාවකින් සැළියක් වසාලන්නා සේ පෙණගොබින් වසා හොත්තේ ය. හෙරණ, නාරජුගේ සැටි දැක මෙ තමේ කිපී ගත්තේ ය’යි දැන:
“මහතෙද මහබලැති - නාරජ අසව මා බස්,
දෙනු පැනු පිරු කළයක් - ආයෙම් බෙහෙත් පිණිස ය”
යි මේ ගය කීයේ ය.
මෙයැසූ නාරජ,
“ගඟ නමින් පළ වූ - මහනදක් ඇත පෙරදිග,
ඕ ගලා යා මූදට - ගෙණ යව එයින් පැන් තෝ”
යනු කී ය. හෙරණ, මෙයසා “මේ නාරජ, තම කැමැත්තෙන් පැන් නො දෙන්නේ ය, මම මාගේ බලය පෙන්වා මිනිස් බව දක්වා මූ මැඬ පැන් ගෙණ යමි”යි සිතා “නාරජ! මාගේ උපද්ධ්‍යායන් වහන්සේ අනවතප්තවිලෙන් පැන් ටිකක් ගෙණ එව,යි මා මෙහි යෙදූ සේක, එහෙයින් මම මේ විලෙන් ම පැන් ගෙණ යමි, ගඟ නදියෙන් පැනක් ගෙණ යන්නට මට නො වදාළ සේක, පහ වෙව, මා නො වළකාලව” යි
“මෙයින් පැන් ගෙණ යමි - වැඩැතියෙම් මෙ පැනින් ම ය,
නාරජ තට බැලැති නම් - මා මෙයින් වළකාලනු”
යි කියා සිටියේ ය. එවිට නාරජ,
“හෙරණ! තට හැකි නම් - විකුම් පැරකුම් තා බස්,
පිළිගනිමි මම සතුටින් - හැකි නම් ගණුව මා පැන්”
යනු කී ය.
ඉක්බිති හෙරණ තෙමේ “මහරජ! ඉදින් හැක්කේ නම් පැන් ගෙණ යව යි තෙවරක් ම තෝ මට කීයෙහි ය, එහෙයින් පැන් ගෙණ යමි”යි නාරජු ගිවිස්වා “බුදු සසුනෙහි මහත් බව දක්වා මා විසින් පැන් ගෙණ යා යුතු ය”යි සිතා පළමු කොට ආකාශස්ථ දෙවියන් වෙත ගියේ ය. දෙවියෝ උන්වහන්සේ වෙත අවුත් වැඳ “ස්වාමීනි! මෙහි වැඩියහු කිනම් කාරියක් නිසාදැ?”යි ඇසූහ. “මේ අනවතප්තවිල මතුයෙහි වසන පන්තක නාරජු හා මාගේ යුද්ධයෙක් වන්නේ ය, එහි අවුත් අප දෙදෙනාගේ දිනුම් පැරදුම් බලා ගණිවු”යි හෙරණ කීයේ ය. මේ ලෙසින් හෙරණ තෙමේ සිවු මහරජුන් හා සක්කසුයාම සන්තුසිත නිම්මාණරති පරිනිම්මිතවසවත්ති දෙවියන් කරා ද, ඉන් ඔබ්බෙහි පිළිවෙළින් මහබඹුන් කරා ද ගෙගාස් මෙපුවත දන්වා දිනුම් පැරදුම් බලන්නට එවු”යි ඒ හැම දෙනාට කියා සිටියේ ය. මෙසේ හෙරණ තෙමේ එක් ම මොහොතින් අසංඥයන් හා අරූපී බ්‍රහ්මයන් හැර හැම බ්‍රහ්මයන් කරා මේ බව දැන්වී ය. හෙරණහුගේ ඉල්ලීම පිළිගත් සියලු දිව්‍යබ්‍රහ්මයෝ අනවතප්තවිලනළෙක පිරූ පිටිසුණු මෙන් අහස අතර නැති ව පුරා රැස් ව සිටියාහ. දෙවිබඹුන් අහස පුරා රැස් ව සිටි කල්හි හෙරණ තෙමේ නාරජුට,
“මහතෙද බහබලැති - නාරජ! අසව මා බස්,
දෙනු පැන් පිරූ කළයක් - ආයෙම් බෙහෙත් පිණිස ය”
යනු කීයේ ය.
එකල්හි නාරජ,
“හෙරණ! තට ඇත් නම් - විකුම් පැරකුම් තා බස්,
පිළිගණිමි මම සතුටින් - හැකි නම් ගණුව මා පැන්”
යි හෙරණහුට කී ය.
ඉක්බිති හෙරණ, නාරජුගෙන් තෙවරක් ම පිළින ගෙණ අහස සිටියේ ම දොළොස් යොදුන් පමණ වූ බඹ අත්බවක් මවා ගෙණ අහසින් බැස නාරජුගේ පෙණ ගොබය මිරිකා යටිකුරු කොට තදින් පෙළූයේ ය. ඒ වේලෙහි ශක්තිමත් පුරුෂයකු විසින් මැඩලූ කඹුරු උඳුනෙහි බැඳි සමක් මෙන් නාරජුගේ පෙණ ගොබය මැඩලූ ඇසිල්ලෙහි ගැලවී ගොස් හැඳිතලයක් සේ බොකු ගැසී හැකිළී ගියේ ය. මෙසේ පෙණගොබය බොකු ගැසී හැකිළී ගිය කල්හි එහි ඒ ඒ තැනින් තල් කඳන් පමණ වූ දියවැල් ගලා යන්නට වන හෙරණ, අහසැ සිට ම පැන් කළය පුරවා ගත්තේ ය. දිව්‍ය බ්‍රහ්මයෝ සාධුකාර දුන්හ. නාරජ, උපන් විළි ඇති ව හෙරණහුට කිපී ගත්තේ ය. ඔහුගේ ඇස් ගඬු ඔළිඳ ඇට පැහැය ගත්තේ ය. කෝපයෙන් ගැසෙන්නට වන. කෝපය ඉවසා ගත නො හැකි වූ නාරජ, “මූ දෙවිබඹුන් රැස් කොට මාගේ පෙණ ගොබයෙහි නැග මා ලජ්ජාවට පත් කෙළේ ය, මූ අල්වා කට තුළට අත බහා මූගේ හදමස් හෝ මිරිකා උපුටා හරිමි” පා අල්වා මුහුදින් එතෙරට හෝ දමා ගසමි”යි ඉතා වේගයෙන් ලුහු බැන්දේ ද හෙරණුන්ට ලං වන්නට අපොහොසත් වී ය. හෙරණ ගොස් උපාද්ධ්‍යායයන් වහන්සේට පැන් පිළිගන්වා “ස්වාමීනි! පැන් වළඳනු මැනැවැ”යි දන්වා සිටි කල්හි නාරජ පසු පස එළවා අවුත් “ස්වාමීනි! සුමන සාමණේරයා මා නො දුන් පැනක් ම ගෙණ පැන ආයේ ය, එහෙයින් පැන් නො වළඳනු මැනැවැ”යි කීයේ ය. “එසේ ද, හෙරණ! නො දුන්නක් ගෙණ ආ වහු?”යි විචාළ කල්හි “නැත, ස්වාමීනි! මා ගෙණ එන ලද්දේ නො දුන් පැනෙක් නො වේ, මොහු විසින් දෙනලද්දක් ම ගෙණ ආ යෙම්, එහෙයින් පැන් වළඳනු මැනැවැ”යි හෙරණ තෙමේ කීයේ ය. රහත් හෙරණෝ බොරු නො කියති යි දන්නා ස්ථවිරයන් වහන්සේ පැන් වැළඳූහ. එකෙණෙහි ම උන් වහන්සේගේ රෝගය සන්සිඳී ගියේ ය.
නැවැත නාරජ, “ස්වාමීනි! මේ සාමණේරයා ලොව ඇති තාක් දෙවි බඹුන් රැස් කොට උන් ඉදිරියෙහි මා ලජ්ජාවට පත් කෙළේ ය, මම මූගේ හදවත පළා ලන්නෙමි, නැත, පා දෙකින් අල්ලා මූ මූදෙන් එතෙරට දමා ගසන්නෙමි” යි කී විට “මහරජ! හෙරණ ඔබ සිතන තරමේ ලෙහෙසි පහසු එකෙක් නො වේ, මහත් ආනුභාව ඇත්තේ ය, එහෙයින් ඒ නමට පටහැනි නො වව, තට හෙරණුන් හා හැපෙන්නට පිළිවන් කමෙක් නැත, හෙරණුන් කමා කරවා ගෙණ යව”යි කී සේක. නා රජ ද හෙරණුන්ගේ මහත්කම දන්නේ ම ය. එහෙත් ලජ්ජාව නිසා දිගට ලුහුබැඳ ආයේ ය. මහතෙරුන්ගේ වචනයෙන් හෙරණුන් කමා කරවා ගෙණ හෙරණුන් හා මිතුරුව, “යම් දවසෙක අනවතප්තවිලෙහි දියෙන් වැඩෙක් වේ නම් ඔබ වහන්සේ එහි නො වැඩ මට දන්වා එවූ කල්හි මම එය ගෙණවුත් දෙමි”යි කියා ගියේ ය. මහාස්ථවිරයන් වහන්සේ ද හෙරණුන් ගෙණ බුදුරජුන් දක්නට වැඩිය සේක.
බුදුරජානන් වහන්සේ තෙරුන් එන බව දැක මෘගාරිමාතෘ ප්‍රාසාදයෙහි තෙරුන් බලා වැඩ හුන් සේක. සෙසු භික්‍ෂූන් වහන්සේලා ද එන තෙරුන් දැක ඉදිරියට ගොස් පා සිවුරු පිළිගත්හ. ඇතැම් කෙනෙක් හෙරණුන්ගේ හිසින් කණින් බාහුවෙන් අල්ලා සොලොවා “හෙරණ පැටව! සස්නෙහි නො කළකිරුණෙහි දැ?”යි ඇසූහ. බුදුරජානන් වහන්සේ ඔවුන්ගේ ඒ ක්‍රියා දැක “මේ මහණුන්ගේ ක්‍රියාව එකාන්තයෙන් ඉතා සැහැසි ය, බිහිසුණු ය, විෂඝොර සර්‍පයකු ගෙලින් අල්ලා ගන්නා සේ හෙරණහු අල්ලන්නෝ ය, මොවුහු හෙරණහුගේ සැටි නො දන්නෝ ය, ඒ නිසා අද මම සුමන හෙරණුන්ගේ සැටි ඒ නමගේ ගුණ මහත්කම මේ නමලාට කියා දෙමි”යි සිතා වදාළ සේක. ඒ අතර ම අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ අවුත් බුදුරජුන් වැඳ හුන් කල්හි බුදුරජානන් වහන්සේ ඒ තෙරුන් සමඟ පිළිසඳර කතායෙහි යෙදුනු සේක. ඒ නිමවා අනඳ තෙරුන් අමතා “ආනන්‍ද! මම අනවතප්ත විලෙහි දියෙන් පා දොවනු කැමැත්තෙමි, එහෙයින් හෙරණුන්ට කළගෙඩි දීලා යවා ඒ විලෙන් දිය ගෙන්වාලවු”යි වදාළ සේක. එවිට ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වෙහෙර විසූ පන් සියයක් පමණ හෙරණුන් රැස් කර වූහ. ඔවුනතර මේ සුමන සාමණේර තෙමේ ම හැම ට බාල ව සිටියේ ය. ආනන්‍ද ස්ථවිරයන් නවහන්සේ හැමදෙනාට ම වැඩිමහලු වූ හෙරණහු අමතා “හෙරණ! බුදුරජානන් වහන්සේ අනවතප්තවිලෙහි දියෙන් සිරිපා දොවනු කැමැති සේක, එහෙයින් කළයක් ගෙණ ගොස් අනවතප්ත විලෙන් දිය කළයක් ගෙණ එව”යි කීහ. ඒ හෙරණ, “එය කළ නො හැකි ය” යි පසු බැස්සේ ය. ඉනික්බිති ස්ථවිරයන් වහන්සේ සෙසු හෙරණුන් ද විචාළාහු ය. ඒ සාමණේරවරයෝ ද දිය ගෙණ එන්නට යෑමට අකැමැති වූහ. අනතුරු ව “මෙහි රහත් හෙරණෝ නැද්දැ”යි විචාළ විට ඔවුහු “ඇත්තාහ, මේ මල් ගොටුව අප සඳහා පිළියෙල කළ එකෙක් නො වේ, මෙය සුමන සාමණේරයන්ට පිළියෙල කළ මල්‍ගොටුවකැ”යි එයට නො කැමැති වූහ. පුහුදුන් හෙරණෝ තමන් අපොහොසත් බැවින් ම නො කැමැති වූහ.
කෙළවර සුමන සාමෙණ්රයන්ගෙන් අසන්නට වාරය පැමිණි කල්හි ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ “හෙරණ! බුදුරජානන් වහන්සේ අනවතප්තවිලෙහි දියෙන් සිරිපා දොවනු කැමැතියහ, එහෙයින් කළයක් ගෙණ ගොස් ඒ විලෙන් දිය කළයක් ගෙණ එව”යි කීහ. හෙරණ, බුදුරජුන් දිය ගෙන්වන කල්හි නො ගෙණ එන්නට පිළිවන් කමෙක් නැත, එහෙයින් ගෙණ එන්නෙමි”යි බුදුරජුන් වැඳ “ස්වාමීනි! මා ලවා අනවතප්තවිලෙන් දිය ගෙන්වන සේක් දැ’යි අසා “එසේය, සුමනැ!”යි වදාළ කල්හි විශාඛා මහා උපාසිකාවන් විසින් ගනරන් ඔබ්බවා කරවන ලද වෙහෙරසතු කළවලින් කළගෙඩි සැටක දිය ගන්නා කළයක් අතික් ඔසොවා කර තබා ගැණීමෙන් වැඩෙක් නැතැ යි එය අතින් එල්බ ගෙණ අහසට නැගී හිමවත බලා ගියේ ය. නාරජ, එන්නා වූ හෙරණුන් දුර දී ම දැක ඉදිරියට ගොස් “ස්වාමීනි! මාවැනි දාසයක ඉන්ද දී කුමක් නිසා කළයක් ඔසොවා ගෙණ මෙහි ආ වහු ද, දියෙන් ප්‍රයෝජන ඇතිවිට මට දන්වා එවිය යුතු නො වේ දැ?”යි කළය ගෙණ පැන් පුරවා කර තබා ගෙණ “ස්වාමීනි! පෙරටුව වඩිනු මැනැව, මම පැන් කළය ගෙණෙමි”යි කී ය. එකල්හි සාමණේර තෙමේ “මහරජ! සිටුව, බුදුරජුන් විසින් මෙහි අණකරණ ලද්දෙම් මම වෙමි”යි නාරජු නවතා පැන් පිරූ කළය කළකටින් අල්ලා ගෙණ අහස නැග ආයේ ය. බුදුරජානන් වහන්සේ එසේ එන හෙරණුන් දෙන බලා “මහණෙනි! හෙරණුන්ගේ විලාශය බලවු, හෙරණ අහස යන රන්වන් හස්පැටවකු සේ බබලා”යි භික්‍ෂූන්ට දක්වා වදාළ සේක. හෙරණ, බුදුරජුන් වෙත පැමිණ පැන් කළය තබා බුදුරජුන් වැඳ සිටි කල්හි “සුමන! කෙතෙක් වස් ඇතියහු දැ?”යි විචාළ සේක. “ස්වාමීනි! මම සත්වස් ඇතියෙම් වෙමි”යි හෙරණුන් කී කල්හි “සුමන! එසේ නම් අද පටන් උපසපන් වහු”යි ආවෙණික කොට දායජ්ජුපසම්පදාව දුන් සේක. මේ ශාසනයෙහි සොපාක - සුමන යන හෙරණහු දෙනම සත් වැසි ව උපසම්පදා ව ලැබුවෝ වෙති.
සොපාක හෙරණ ද, සුමන හෙරණුන් මෙන් පෙර බුදුරජුන් වෙත කළ අධිකාර ඇති ව එනුයේ ඒ ඒ භවයන්හි රැස් කළ පින් බෙලෙන් සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ කාලයෙහි බ්‍රාහ්මණ කුලයෙහි ඉපද ගත්තේ ය. නුවණැති වූයේ ද බමුණන් පිළිබඳ ධර්‍මශාස්ත්‍රයන්හි කෙළවරට පැමිණයේ කාමයෙහි දොස් දැක ගිහිගෙය හැරදමා, තවුස්පැවිද්දෙන් පැවිදි ව එක්තරා පර්‍වතයක් ඇසුරු කොට වාසය කෙළේ ය. බුදුරජානන් වහන්සේ එහි ඔහු මැරෙන්නට ලංව සිටුනා බව දැක ඔහු වෙත වැඩම කළ සේක. හේ බුදුරජුන් දැක පහන් සිත් ඇතියේ තමන් සිත් තුළ නැගි මහත් ප්‍රීතිය පසනු පිනිස මල්වලින් අසුනක් පිළියෙල කොට උන්වහන්සේට වැඩ හිඳින්නට සැලසී ය. එහි වැඩහුන් බුදුරජානන් වහන්සේ අනිත්‍යතාප්‍රතිසංයුක්ත වූ ධර්‍මකතාවක් වදාරි උන් බලාසිටියදී ම අහසින් වැඩිය සේක. හේ පෙර තමන් ගත් නිත්‍යග්‍රාහය දුරු කොට අනිත්‍යසංඥාව ලෙහි තබා කලුරිය කොට දෙව්ලොව උපන්නේ ය. මෙසේ මෙ තෙමේ නැවැත නැවැත දෙව්මිනිස් දෙගතියෙහි සැරිසරනුයේ අපගේ බුදුරජුන් දවස රජගහා නුවර සොපාකකුලෙහි උපන්නේ ය. ජාතිවශයෙන් සොපාක යි ප්‍රසිද්ධ වූයේ ය. එහෙත් සමහර කෙනෙක් මෙ තෙමේ වෙණඳකුලයෙහි උපන්නේ ය යි ද නාම මාත්‍ර විසින් සොපාක නම් වී ය යිද කියත්. මෙහි ඉපද සිවු මසක් ගෙවී යත් ම මොහුගේ පියා කලුරිය කෙළේ ය. එතැන් සිට මොහු වැඩූයේ මොහුගේ සුලු පියා ය. සත් වයස් ඇති සොපාක, “තමන්ගේ පුතු හා කලහ කෙරේය” යි සුලුපිය තෙමේ සොපාකට කිපී ගත්තේ සොපාක සොහොනකට ගෙණ ගොස් දෙඅත් එකතු කොට රැහැනකින් බැඳ එම රැහැනින් ම මළසිරුරෙක දැඩි කොට බැඳ “හිවල්ලු මූ කාදමත්වා”යි කියා ගියේ ය. එහෙත් සොපාක පශ්චිම භවික සත්ත්‍වයකු වූ බැවින් නො මැරී සිටියේ ය. හිවල් ආදී සත්තු ද ඔහුට ලං නො වූහ. සොපාක අඩ රැයක් ම:-
“කා හි මෙ අගති අස්ස කො වා බන්‍ධු අබන්‍ධුනො,
සුසානමජ්ඣෙ බද්ධස්ස කො මෙ අභයදායකො”
යනු විසින් විලාප කියමින් සිටියේ ය.
බුදුරජානන් වහන්සේ ඒ වේලෙහි ලොව බලා වදාරණ සේක් ඔහුගේ ලෙහි තුබූ රහත්වීමේ වාසනාශක්තිය දැක ආලෝකයක් පතුරුවා ඔහුට සිහි එළවමින්:-
“එහි සොපාක! මා භායි ඔලොකස්සු තථාගතං,
අහං තෙ තරියස්සාමි රාහුමුඛෙව චන්‍දිමං”
යි දහම් දෙසූ සේක. සොපාක බුද්ධානුභාවයෙන් සිඳුනු බැඳුම් ඇතියේ ගාථා කෙළවර සෝවාන් ව ගඳකිළිය ඉදිරියෙහි සිට ගත්තේ ය.
සොපාකගේ මවු තොමෝ පුතු නො දැක සුලුපියා විචාරා ඔහුගේන කිසිවක් දැන ගත නො හැකි වූවා ඒ ඒ තැන සොයා ඇවිදින්නී “බුදුවරු වනාහි අතීතානාගතප්‍රත්‍යුපන්නකාලයන් ගැණ දන්නා සේක”"යි පුතු ගැණ තොරතුරු අසා දැ ගන්නට බුදුරජුන් වෙත ගියා ය. බුදුරජානන් වහන්සේ ඍද්ධියෙන් සොපාක සඟවා සිටි සේක. එකල්හි ඕ තොමෝ “ස්වාමීනි! ඔබ වහන්සේ මා පුතු ගැණ කිසිවක් දන්නා සේක් දැ?”යි ඇසූ ය. එකල්හි බුදුරජානන් වහන්සේ :-
“න සන්ති පුත්තා නානාය න පිතා නපි බන්‍ධවා,
අන්තකොනාධිපන්නස්ස නත්‍ථි ඤාතීසු තානතා”
යි දහම් දෙසූහ. ඕ තොමෝ එය අසා සෝවන් වූ ය. සොපාක රහත්බවට පැමිණියේ ය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඍද්ධිය හළ සේක. ඕ තොමෝ පුතු දැක තුටුපහටු වූවා පුතු රහත් වූ බව වද අසා පැවිදි කරවා ගියා ය.
සොපාක, ගඳකිළි සෙවනැල්ලෙහි සක්මන් කරණ බුදුරජුන් වෙත එළැඹැ වැද උන්වහන්සේ අනුව සක්මන් කෙළේ ය. බුදුරජානන් වහන්සේ ඔහුට උපසම්පදාව අනුදනු කැමති ව “එක නාම කිං” යනාදී වූ ප්‍රශ්න දසයක් අසා වදාළ සේක. හෙතෙමේ ද බුදුරජානන් වහන්සේ ගේ අදහස් ගෙණ සර්‍වඥතාඥානය හා සසඳා ඒ ප්‍රශ්න විසඳී ය. එහෙයින් ඒ ප්‍රශ්නයෝ කුමාරප්‍රශ්න නම් වූහ. බුදුරජානන් වහන්සේ ඔහුගේ ප්‍රශ්නව්‍යාකරණයෙන් සතුටු වූ සේක් උපසම්පදාව අනුදැන වදාළ සේක. ඒ මේ උපසම්පදා තොමෝ ප්‍රශ්නව්‍යාකරණොපසම්පදා නම් වූ ය. මෙසේ සුමන හෙරණුන් උපසම්පදාව ලැබූ පසු “ඇවැත්නි! මහාපුදුමයෙක, මේ ලදරු හෙරණහුගේ ආනුභාවය ඉමහත් ය. අප මෙයට පෙර මෙබඳු මහත් ආනුභාව ඇතියෙක් නො දක්නා ලද ය”යි භික්‍ෂූන් වහන්සේලා ධර්‍මසභායෙහි කතා කරන්නට වූහ. ඒ අතර ධර්‍මසභාවට වැඩම කළ බුදුරජානන් වහන්සේ “මහණෙනි! කතා කරන්නහු කුමක් ගැණ දැ?”යි අසා “සුමනන සාමණේරයන්ගේ මහත් ආනුභාවය ගැණ ය”යි සැලකළ කල්හි “මහණෙනි! මාගේ ශාසනයෙහි ලදරු මහණ තෙමේ ද මැනැවින් පිළිපදිනුයේ මෙබඳු මහත් සම්පත් ලබා ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යො හවෙ දහරා භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ,
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තොච චන්‍දිමාති.
යම් ලදරු මහණෙක් තෙමේ බුදුසසුන්හි යෙදේ ද, ඒ මහණ තෙමේ වලායෙන් මිදුනු සඳමෙන් මේ ලෝකය එකාන්තයෙන් ඉතා තදින් බබුලුවන්නේ ය.
යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ = යම් ලදරු මහණෙක් තෙමේ බුදුසසුන්හි යෙදේ ද.
සො ඉමං ලොකං පහාසෙහති අබ්භා මුත්තො චන්‍දිමා ඉව = ඒ මහණ තෙමේ වලායෙන් මිදුනු සඳමෙන් මේ ලෝකය බබුලුවන්නේ ය.
දහරා, යනු මෙහි සත්වැසි බාල මහණහු කෙරෙහි නැගී සිටියේ ය. එහෙත් “දහරා ච මහන්තා ච” යන මෙහි හා “දහරො යුවා සුසු කාළකෙසො” යනාදී තැන්හි ද තරුණයා කෙරෙහි ආයේ ය.
යම් ලදරු මහණෙක් බුදුරජුන් වදාළ අප්‍රමාද ප්‍රතිපත්තියෙහි හා ශමථ - විදර්‍ශනා භාවනාවන්හි තදින් යෙදී වසා ද, ඒ මහණ තෙමේ වලාපටලින් මිදුනු පුන්සඳ අවකාශ ලෝකය බබුලු වන්නා සේ අර්‍හනමාර්‍ගඥානාලෝකයෙන් ස්කන්‍ධ - ධාතු - ආයතන සඞ්ඛ්‍යාත වූ මේ ලෝකය එකාන්ත විසින් ප්‍රකර්‍ෂයෙන් බබුලු වන්නේ ය.
‘අබ්භා මුත්තො’ යනු යට කියන ලදි. [1]
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ලාදියට පැමිණියාහු ය.
සුමනශ්‍රාමණේර වස්තුව නිමි.
13-5 ‘අබ්භා මුත්තො’ යනු බලනු. ↑