25-6 පඤ්චග්ගදායක බ්‍රාහ්මණ

සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං

අසතා ච න සොචති ස වෙ භික්ඛූ’ති වුච්චති.

යමකුහට නාමරූප දෙක්හි සර්‍වප්‍රකාරයෙන් ම මමායනයෙක් (මම ය මගේ යැ යි ආත්ම ආත්මීය වශයෙන් ගැන්මෙක්) නැද්ද, ඒ නාමරූප නැසී යෑම හේතු කොට ගෙණත් ශෝක නො කෙරේ ද, ඒ ක්‍ෂීණාස්‍රව තෙම භින්නක්ලේශ බැවින් භික්‍ෂු යැ යි කියනු ලැබේ.

පඤ්චග්ගදායක බ්‍රාහ්මණ තෙමේ ගොයම්, කෙතෙහි තිබියදීම ඛෙත්තග්ග නම් දානයක, ගොයම් කපා කමතෙහි ලූ කල්හි ඛලග්ග නම් දානයක, ගොයම් කපා කමතෙහි ලූ කල්හි ඛලග්ග නම් දානයක, ගොයම් පාගා වී එක් තැන් කළ කල්හි ඛලභඬග්ග නම් දානයක, බත් පිසන්නට සහල් සැළියෙහි ලූ කල්හි කුම්භග්ග නම් දානයක, බත් පිස බත් තලියෙහි ලූ කල්හි පාතග්ග නම් දානයකැ යි එක් ම ගොයමෙහි දන් පසක් දෙන්නේ ය. බත් කන වේලෙහි පැමිණියවුනට බත් නො දී නම් තෙමේ නො කන්නේ ය. මේ නිසා මොහු පඤ්චග්ගදායක යි ප්‍රසිද්ධ වූයේ ය. ‍බුදුරජානන් වහන්සේ මේ බමුණාටත් බමුණු බිරියටත් සෝවන් - සෙදගැමි - අනගැමි පල තුන ලැබීමට තුබූ වාසනාශක්තිය දැක බමුණා බත් කන වේලෙහි බමුණු ගෙදරට වැඩ ගෙදොර වැඩ සිටි සේක. බමුණා ද ගෙට මූණ ලා දොරකඩ හිඳ බත් අනුභව කෙළේ ය. එහෙයින් ගෙදොර වැඩ සිටි බුදුරජානන් වහන්සේ ඔහු විසින් නො දක්නා ලදහ. බැමිණිය එහි ඔහුට බත් එළවමින් සිටියා බුදුරජුන් දැක “මේ බමුණු එක් ම ගොයමෙහි ඒ ඒ අවස්ථා බලා දන් පසක් දීලා අවසන් කොට දැන් බත් අනුභව කරන්නේ ය, ශ්‍රමණ ගෞතමයන් මෙහි අවුත් සිටි යි, යම් ලෙසකින් බමුණු ශ්‍රමණ ගෞතම දුටුය් නම් තමන්ගේ බත්ටික මොහුට දෙන්නේ ය, එසේ වී නම් මට තව වරක් බත් පිසින්නට සිදු වන්නේ ය, නැවැතත් බත් පිසනු ද අපහසු ය, එහෙයින් බමුණුට ශ්‍රමණ ගෞතම නො පෙණෙන සේ සිට ගනිමි” යි බුදුරජුන් දෙසට පිටු පා බමුණාගේ පසු පසට වී පුන්සඳ වසන්නියක සේ බුදුරජුන් වසාලමින් නැමී සිටගත්තා ය. එසේ වරින්වර “ශ්‍රමණ‍ ගෞතම ගියේ දැ”යි හොර ඇහින් බුදුරජුන් දෙස බලන්නී ය. බුදුරජානන් වහන්සේ ද එහි ම වැඩ සිටියහ. බැමිණිය බමුණාට ඇසේ දෝ යන බියෙන් ‘අරුණු’යි කියාගත නො හී වටපිට බලා මදක් පසු බැස ඉතා හීන් හඬින් අරුණු යි කිවු ය. එකෙණෙහි බුදුරජානන් වහන්සේ ‘නො යමි’යි හිස සැලූ සේක. උන්වහන්සේ හිස සලා ලූ කල්හි බැමිණියට සිනහ ගියේ ය. ඒ හා ම බුදුරජානන් වහන්සේ බමුණුගෙය තුළට ආලෝක ධාරාවක යැවූ සේක. බමුණු ද පිටුපා හුන්නේ ම බැමිණියගේ සිනාහඬ අසා සවණක් බුදුරැස් ද දැක හැරී බැලූයේ බුදුරජුන් දුටුයේ ය.

බුදුවරු වනාහි ගමෙහි හෝ වෙනෙහි වසන හේතු සම්පත් ඇතියනට තමන් නො දක්වා පෙරළා නො වඩින සේක. බමුණු බුදුරජුන් දැක “රාජපුත්‍රයා මෙහි අවුත් සිටින බව මට නො කීමෙන් තී විසින් කරණ ලද්දේ මා නසාලීමෙක, ඉතා බැරෑරුම් සැහැසි කමෙකැ”යි අඩක් කා තුබූ බත්තලිය ගෙණ බුදුරජුන් වෙත ගොස් “භවත් ගෞතමයන් වහන්ස! මම පස් විටක් ම අගබත් දී අවසන් කොට මේ බත බුදින්නෙමි, මේ බත් තලියත් ආ කෙනකුන්හට දෙන්නට සිතා මැදින් වෙන් කොට තබා එක් කොටසක් ම මම කෑයෙමි, දෙන්නට සිතා වෙන් කළ කොට ඉතිරි ව තිබේ, මාගේ මේ බත් කොටස පිළිගන්නහු දැ?”යි ඇසී ය. බුදුරජානන් වහන්සේ “තාගේ ඉඳුල් බතින් මට වැඩෙක් නැතැ”යි නො වදාරා ම “බමුණ! අග බතත් සුදුසු මටම ය, අඩක් කා ඉතිරි කළ බතත් සුදුසු මට ම ය, අන්තිම බත් පිඩත් මට ම සුදුසු ය, බමුණ! අපි අනුන් දෙන ‍දැයින් දිවි යවන ප්‍රේතයන් වැනියම්හ” යනු වදාරා,

“අන්හු දුන් අග මැද - බතිනි සෙසු ලමු බතිනී,

දිවි යවන ඒ පයිනෙව් - යම් බත් පිඩක් ලැබුනෙ ද,

එබත් පිට නො ලැබුන - නමුත් ගැරහුම් නො කරණ,

ඔහුට මුනි යී කියතී - පසසති දනෝ නුවණැති”

යන මේ ගය දෙසූ සේක.

බමුණු එය අසා පහන් සිත් ඇතියේ “ඉතා පුදුමයෙක, දීපස්වාමී වූ රාජපුත්‍ර තෙමේ ‘තාගේ ඉඳුල් බතින් මට ප්‍රයෝජන නැතැ’යි නො කියා මෙලෙස කියන්නේ ය” යි මිදුලෙහි සිටියේ ම “භවත් ගෞතමයන‍් වහන්ස! ඔබ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් භික්‍ෂූහු යි කියහු, කො පමණකින් භික්‍ෂූහු වෙත් දැ?”යි මේ ප්‍රශ්නය බුදුරජු අතින් විචාළේ ය. එවිට බුදුරජානන් වහන්සේ “කෙබඳු දහමෙක් මොහුට හිත වන්නේ දැ”යි විමසන සේක්, “මේ දෙ දෙනම කසුප් බුදුරජුන් දවස නාමරූපධර්‍ම පිළිබඳ දහම් දෙසන්නවුන් අතින් නාම රූප පිළිබඳ දහම් අසා ඇතියහ, එහෙයින් නාමරූප ධර්‍ම කථාව නො හැර ම මොවුනට දහම් දෙසන්නට වටී ය”යි දැන “බමුණ! නාමධර්‍මයන්හි හා රූපධර්‍මයන්හි නො ඇලෙනුයේ එහි නො ගැලෙනුයේ එහි ශෝක නො කරණුයේ භික්‍ෂු නම්‍ වේ”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං,

අසතා ච න සොචති සවෙ භික්ඛූති වුච්චතීති.

යමක් හට නාම - රූප දෙක්හි මුළුමනින් මමත්වයෙක් නැත්තේ ද (ඒ නාම - රූප) නැසී යෑම් හේතුවෙන් ශෝක නො කෙරේ ද හෙතෙමේ එකාන්තයෙන් භික්‍ෂු යි කියනු ලැබේ.

සබ්බසො නාමරූපස්මිං යස්ස නත්‍ථි මමායිතං = යමක්හට නාම රූප දෙක්හි මමත්වයෙක් නැත්තේ ද,

යමක්හට රූප - වේදනා - සඤ්ඤා - සඞ්කාර - විඤ්ඤාණ යන පඤ්චස්කන්‍ධයෙහි මම ය, මාගේ ය’යි ආත්ම - ආත්මීය වශයෙන් ගැන්මෙක් මුළුමනින් නැත්තේ ද.

මේ ස්කන්‍ධ පස, නාම - රූප විසින් දෙ කොටසකට බෙදනු ලැබේ. රූප කොටස එක් ම රූපස්කන්‍ධ ය යි ද වේදනා - සංඥා - සංස්කාර - විඥාන යන මේ කොටස් සතර එක් ස්කන්‍ධ ය යිද් බෙදන ලද්දේ ය. විස්තර කථාව යට කියන ලදි. [1]

‘සබ්බසො’ මුළුමනින්, එකකුත් නො හැර, නාමයෙහි ඇතුළත් ‍එක ද ධර්‍මයකුත් රූපයෙහි ඇතුළත් එක ද ධර්‍මයකුත් නො හැර යන අරුත් ගන්නේ ය.

ස‍ංක්‍ෂෙප විසින් එකුන් අනූවක් වූ මද්ධ්‍යම විසින් එක්සිය විස්සක් පමණ වූ විස්තර විසින් බොහෝ වූ චිත්තයෙහි ද, දෙ පණසක් පමණ වූ චෛතසිකයෙහි ද, භූතොපාදාය විසින් අටිවිස් වැදෑරුම් කලාප විසින් එක් දහස් පන්සිය එකක් පමණ වූ රූපයෙහි ද යන මේ ධර්‍මයන්හි ආත්ම ආත්මීය වශයෙන් කරණ මමායනය ‘මමායිත’ නම්. නාම - රූපධර්‍මයන්හි මමායනය කරණුයේ රූපාදී වූ ස්කන්‍ධ පස ආත්ම වශයෙන් ගෙණ මමායනය කරන්නේ ය. එසේ ම රූපාදී වූ ස්කන්‍ධ පස තමා සතු ය යි ගෙණ ආත්මීය වශයෙන් මමායනය කරන්නේ ය. එසේ කරණු ලබන මමායනය යමක්හට නැත්තේ ද, එසේත්,

අසතා ච න සොචති සො වෙ භික්ඛු ඉති වුච්චති - (ඒ නාම රූප) නැසීයෑම් හේතුවෙන් ශෝක නො කෙරේ ද, හෙතෙමේ එකාන්තයෙන් භික්‍ෂු යි කියනු ලැබේ.

නාම - රූප දෙක නැසී ගිය කල්හි ‘මාගේ රූපය නැසී ගියේ ය, මාගේ වේදනාව නැසී ගියා ය, මාගේ සංඥාව නැසුනී ය, මාගේ සංස්කාර නැසුනේ ය, මාගේ විඥානය වැනසුනේ ය” යි ශෝක නො කරන්නේ ද, නැසෙන වැනසෙන සැහැවි ඇති ධර්‍ම නැසී ගියේ යි දක්නේ ද, මෙසේ විද්‍යමාන වූ නාම රූප දෙක්හි මමත්‍වයෙන් තොර වූයේ ඒ නැසීමෙන් ශෝක නො කරණූයේ ‘භික්‍ෂු’යි කියනු ලැබේ. රහතුන් වහන්සේ ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි දෙ මහල්ලෝ ම අනගැමි පලයෙහි පිහිටියාහු ය. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටියවුනට ද වැඩ සහිත වූ ය.

පඤ්චාග්‍රදායක බ්‍රාහ්මණ වස්තුව නිමි.

  1. 4-1 ‘කො ඉමං පඨවිං විජෙස්සති’ යනු බලනු.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.