චක්ඛුනා සංවරො සාධු සාධු සොතෙන සංවරො
ඝාණෙන සංවරො සාධු සාධු ජිව්හාය සංවරො.
ඇසින් (චක්‍ෂුර්ද්වාරයෙන්) සංවරය යහපති. කණින් (ශ්‍රෝත්‍රද්වාරයෙන්) සංවරය යහපති. නැහැයෙන් (ඝ්‍රාණද්වාරයෙන්) සංවරය යහපති. දිවින් (ජිහ්වාද්වාරයෙන්) සංවරය යහපති.
කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු සාධු සබ්බත්‍ථ සංවරො.
සබ්බත්‍ථ සංවුතො භික්ඛු සබ්බදුක්ඛා පමුච්චති.
කයින් (කායද්වාරයෙන්) සංවරය මැනැවි. වචසින් (වාග්ද්වාරයෙන්) සංවරය යහපති. සිතින් (මනෝද්වාරයෙන්) සංවරය යහපති. චක්‍ෂුරාදි වූ සදොර රැකීම මැනැවි. චක්‍ෂුරාදි සදොරෙහි ම සංවෘත වූ භික්‍ෂු තෙම සියලු සසර දුකින් මිදෙයි.
සැවැත් නුවර වැසි පස් නමක් භික්‍ෂූන් වහන්සේලා, එක් නමක් චක්‍ෂුර්ද්වාර ය, එක් නමක් ශ්‍රෝත්‍රද්වාර ය, එක් නමක් ඝ්‍රාණද්වාර ය, එක් නමක් ජිව්හාද්වාර ය, එක් නමක් කායද්වාර ය’යි ඒ ඒ ද්වාරයන් වෙන් වෙන් ව රැකියහ. දවසක් මේ පස් දෙනා වහන්සේ එක් තැන් ව “මම ඉතා දුකසේ රැකිය යුතු වූ දොර රකිමි, මම රකින්නෙම් ඉතා අපහසුවෙන් රැකිය යුතු වූ දොරැ”යි උනුන් වාදයට වැටී බුදුරජුන් වෙතින් මෙය දැනි ගණිමු”යි බුදුරජුන් වෙත ගියහ. ගොස් වැඳ එකත් පසෙක්හි සිට “ස්වාමීනි! අපි එකෙකා එකෙක දොරටු රකින්නමෝ තම තමන් රක්නා දොරටුව ම දුකසේ රැකිය යුතු ය’යි අදහස් කොට සිටින්නෙමු, ස්වාමීනි! අප අතුරෙහි කවරෙක් ඉතා අපහසුවෙන් රැකිය යුතු වූ දොරටුව රක්නේ දැ?”යි ඇසූහ. එකල්හි බුදුරජානන් වහන්සේ උන්ගෙන් එක් නමකුත් බැහැර නො කොට “මහණෙනි! මේ සියලු දොරටු ඉතා පරීක්‍ෂායෙන් දුකසේ ම රැකිය යුතු ය, තව ද තමුසේ ලා දැන් පමණක් ම මේ පස් දොරෙහි සංවර නැති ව විසුවෝ නො වහු, පෙරත් මෙහි සංවර නැත්තෝ වූ වහු ය, එසේ අසංවෘත වූ බැවින් ම නුවණැත්තන්ගේ අවවාදයෙහි නො පිහිටා ක්‍රියා කොට විනාශයට පැමිණියහු”යි වදාළ සේක. “ස්වාමීනි! ඒ කවදා දැ?”යි ඒ භික්‍ෂූන් ඇසූ කල්හි උන්වහන්සේ “මහණෙනි! යටගිය දවස තමුසේලා පස් දෙන රජ කුලයෙහි ඉපද සිටියේ ආයුධ ගත් අත් ඇති ව මහසතුන් පිරිවරා ගෙණ තක්සලා නුවර වටලා ගන්නට මග බැස ගියහ, අතර මගදී තමුසේලා රකුසියන් විසින් උන් උන් පොළොඹවා ගන්නට පෑ රූපයෙහි ද උන් කියූ ගීතිකායෙහි ද උන්ගේ ශරීරගන්‍ධයෙහි ද උන් එළවා ලූ දිවබොජුන් රසයෙහි ද උනගේ ඇඟ පසඟ පහසෙහි ද ඇලී ගත්තහු ඇස් කන් නාස් ඈහි සංවර නැත්තහු මහ සතුන්ගේ අවවාදයෙහි නො පිහිටා මහසතුන් හැර පසු බැස්සහු රකුසියන් විසින් අල්ලා කන ලද්දහු ජීවිතක්‍ෂයට පැමිණියාහු ය, ඒ රූපාදී වූ අරමුණුවල නො ඇලුනා වූ ඒ හැම තැන්හි සංවෘත වූ මම මා පසු පස එළවා ආ දෙව්වෙස් ගත් ඒ යකින්න කියූ බස් නො පිළිගෙණ සුව සේ තක්සලාවට ගොස් එහි රජකම් කෙළෙමි”යි ජාතකය ගළපා “මහණෙනි! මහණහු විසින් නම් සියලු දොරටු රැකිය යුතු ම ය, මේ දොරටු රකින්නේ ම සියලු දුකින් මිදේ ය”යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
චක්ඛුනා සංවරො සාධු සාධු සොතෙන සංවරො,
ඝානෙන සංවරො සාධු සාධු ජිව්හාය සංවරො.
.
කායෙන සංවරො සාධු සාධු වාචාය සංවරො,
මනසා සංවරො සාධු සාධු සබ්බත්‍ථ සංවරො,
සබ්බත්‍ථ සංවුතො භික්ඛු සබ්බදුක්ඛා පමුච්චතීති.
ඇසින් සංවරය යහපති. කණින් සංවරය යහපති. නැහැයෙන් සංවරය යහපති. දිවෙන් සංවරය යහපති.
කයින් සංවරය යහපති. වචසින් සංවරය යහපති. මනසින් සංවරය යහපති. හැම තැන සංවරය යහපති. හැම තැන සංවෘත වූ මහණ සියලු දුකින් මිදෙයි.
චක්ඛුනා සංවරො සාධු = ඇසින් සංවරය යහපත් වේ.
ඇසට ගොදුරු වූ ඇසට පෙණෙන ඉෂ්ටරූපයෙහි නො ඇලෙන කල්හි අනිෂ්ටරූපයෙහි දූෂිත නො වන කල්හි විසම බැලීමෙන් මෝහය නො ද උපදවන කල්හි ඇස්දොර සංවරය වන්නේ ය. ඇස්දොර රැකුනේ නම් හික්මුනේ නම් වන්නේ ය.
සාධු සොතෙන සංවරො = කණින් සංවරය යහපත් වේ.
කණට ගොදුරු වූ කණේ වැටුනු ඉෂ්ටශබ්දයෙහි නො ඇලෙන කල්හි අනිෂ්ටශබ්දයෙහි දූෂිත නො වන කල්හි විසම බැලීමෙන් මෝහය නො ද උපදවන කල්හි කන්දොර සංවරය වන්නේ ය. කන් දොර රැකුනේ නම් හික්මුනේ නම් වන්නේ ය.
ඝානෙන සංවරො සාධු = නැහැයෙන් සංවරය යහපත් වේ.
නාසයට ගොදුරු වූ නාසයෙහි ගැටුනු ඉෂ්ටගන්‍ධයෙහි නො ඇලෙන කල්හි අනිෂ්ටගන්‍ධයෙහි දූෂිත නො වන කල්හි විසම බැලීමෙන් මෝහය නො ද උපදවන කල්හි නාස්දොර සංවරය වන්නේ ය. නාස්දොර රැකුනේ නම් හික්මුනේ නම් වන්නේ ය.
සාධු ජිව්හාය සංවරො = දිවෙන් සංවරය යහපත් වේ.
දිවට ගොදුරු වූ දිවෙහි වැදුනු ඉෂ්ටරසයෙහි නො ඇලෙන කල්හි අනිෂ්ටරසයෙහි දූෂිත නො වෙන කල්හි විසම බැලීමෙන් මෝහය නො ද උපදවන කල්හි දිව්දොර සංවරය වන්නේ ය. දිව්දොර රැකුණේ නම් හික්මුනේ නම් වන්නේ ය.
සංවරය හෝ අසංවරය ඉපැදෙනුයේ චක්‍ෂුර්ද්වාරාදීන්හිමය. ඔබ්බෙහි මෙය ජවනවීථියෙහි ලැබෙන්නේ ය. එහි අකුසල වීථියෙහි අස්සද්ධා - අක්ඛන්ති - කොසජ්ජ - මුට්ඨසච්ච - අඤ්ඤාණ යන මුන් ලැබීමෙන් අසංවරය වන්නේ ය. කුසලවීථියෙහි සද්ධා - ඛන්ති - විරිය - සති - ඤාණ යන පස ලැබීමෙන් සංවරය වන්නේ ය.
මෙසේ චක්ඛු - සෝත - ඝාන - ජිව්හා යන දොරටු සතරට මන වඩන්නා වූ ද මන නො වඩන්නා වූ ද රූප - සද්ද - ගන්‍ධ - රස යන අරමුණු සතර හමුවූ කල්හි සිහි එළවා නුවණින් මෙනෙහි කොට ඒ රූපාදිය අරමුණු කොට උපදනා ජවනවීථියෙහි ලෝභ - දෝස - මෝහයන් නො ද උපදවා කෙලෙසුන් කෙරෙන් සිත රැක ගැණීම සංවරය යි දතයුතු ය.
කායෙන සංවරො සාධු = කයින් සංවරය යහපත් වේ.
ප්‍රසාදකාය යි ගැණෙන කායද්වාරයට මන වඩන්නා වූ හෝ මන නො වඩන්නා වූ පහසක් හමු වූ කල්හි අයෝනිසෝමනසිකාර හේතුයෙන් ජවනක්‍ෂණයෙහි උපදනා ලොභ ද්වේෂ මෝහාදී වූ නන්වැදෑරුම් වූ කෙලෙසුන්ගේ වශයට නො යාදීමෙන් ද කාය විඥප්ති යි කියූ කායද්වාරයෙන් ජවනක්‍ෂණයෙහි සිද්ධ වන පාණාතිපාත - අදින්නාදාන - කාමමිච්ඡාචාර යන ත්‍රිවිදකායදුශ්චරිතයෙන් දුරුවීමෙන් ද කායද්වාරයෙහි සංවරය වන්නේ ය. කායද්වාරය රැකුනේ නම් හික්මුනේ නම් වන්නේ ය.
වාචාය සංවරො සාධු = වචසින් සංවරය යහපත් වේ.
වාග්විඥප්ති යි කියූ වාග්ද්වාරයෙන් සිද්ධ වන මුසාවාද - පිසුණවචන - ඵරුසවචන - සම්ඵප්පලාප යන චතුර්විධ වාග්දුශ්චරිතයෙන් වැළකීමෙන් වාග්ද්වාරයෙහි සංවරය වන්නේ ය. වාග්ද්වාරය රැකුනේ නම් හික්මුනේ නම් වන්නේ ය.
සබ්බත්‍ථ සංවරො සාධු = හැම තැන සංවරය යහපත් වේ.
චක්ඛු - සෝත - ඝාන ජිව්හා - කාය - මන යන මොවුනට ගොදුරු වන රූපාදී අරමුණු වල ලොභ - දෝස - මෝහාදී වූ කෙලෙසුන්ට ඉපදීමට ඉඩ නො තබා සිහි නුවණින් යෙදී මෙ හැම තැන් හා වචනයෙන් සිදුවන පව්කම් වලින් වැළකී වාග්ද්වාරය රැක ගැන්ම සියලු තැන්හි සංවරය වන්නේ ය. සියලු තැන් රැකුනේ නම් හික්මුනේ නම් වන්නේ ය.
සංවර අටෙකි. චක්ඛුසංවර - සෝතසංවර - ඝානසංවර - ජව්හාසංවර - පසාදකායසංවර - චොපනකායසංවර - වාචාසංවර - මනෝසංවර යි. මේ හැම සංවරය ‘සබ්බත්‍ථ’ යන මෙහි ඇතුළත් ව සිටියේය. මෙහි විස්තර විභාගය, අත්‍ථසාලිනී ධම්ම සඞ්ගණී අටුවායෙහි එන්නේ ය. බැලිය යුතු ය.
සබ්බත්‍ථ සංවුතො භික්ඛු සබ්බදුක්ඛා පමුච්චති = හැම තැන රැක ගත් මහණ සියලු දුකින් මිදෙයි.
මෙහි ඉතා සැකෙවින් කියූ සදොර හා වාග්ද්වාරය රැකගත් මහණ තෙමේ සසර දුකින් මිදී ගන්නේ ය. එසේ නො වූයේ සසර දුකින් නො ද මිදෙන්නේ ය.
භික්ඛු, යනු සසුන් පැවිද්ද ලැබූ තැන් පටන් රහත් ඵලය ලබා ස්කන්‍ධපිරිනිර්‍වාණය තෙක් ඒ ඒ අරුත් විසින් මහණහු කෙරෙහි නැගී සිටියේ ය. ඒ අරුත් සමහරෙක් මෙසේ ය.
“සමඤ්ඤාය = භික්ඛු” ප්‍රඥප්තියෙන් ව්‍යවහාර විසින් භික්ඛු නම්. බතින් පැවරීම් ආදියෙහි භික්‍ෂූන් ගනින කල්හි හෙරණුන් ද ගණනට ගෙණ භික්‍ෂූන් සියයෙක, භික්‍ෂූන් දහසෙකැයි කියන්නේ ය. මෙහි හෙරණ තෙමේ ව්‍යවහාරමාත්‍ර විසින් භික්ඛු යි නැගී සිටියේ ය.
“පටිඤ්ඤාය = භික්ඛු” ‘මෙහි කවරෙකැ’යි විචාළ කල්හි ‘මම භික්‍ෂුයෙමි’ පිළින කරණුයේ ප්‍රතිඥා මාත්‍ර විසින් භික්ඛු නම්. මේ ප්‍රතිඥාව අනඳ මහතෙරුන් විසින් කළ බැවින් ධාර්මික ය. භික්‍ෂුත්වය ඇති බැවිනි. දුසිල් මහණුන් විසින් ‘අපි භික්‍ෂු වම්හ’යි කරන ප්‍රතිඥාව අධාර්මික ය. දුසිල්හට භික්‍ෂුත්වය නැති බැවිනි.
“භික්ඛතීති = භික්ඛු” පිඬු සිඟන සැහැවි ඇතියේ භික්ඛු නම්.
“භික්ඛාචරියං අජ්ඣූපගතොති = භික්ඛු” මද වූ හෝ බොහෝ වූ හෝ ධන ධාන්‍යරාශිය හැර දමා ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි ව සීසෑම් ගෙරිරැකීම් ආදියෙක් කෙරෙණ දිවි පැවැතුම් හැරදමා මහණ වෙස් දැරීමෙන් පිඬු සිඟා යනුයේ, පරා අයත් දිවි පැවැතුම් ඇති බැවින් වෙහෙර මැදට කරින් ගෙණවුත් දුන් බත වළඳනුයේ කෙණ්ඩාබලයෙන් පිඬු පිණිස හැසිර ලත් බොජුන් නිසා පැවිද්දෙහි හටගත් උත්සාහ ඇතියේ භික්‍ෂාචරණාර්‍ත්‍ථ විසින් භික්ඛු යි නැගී සිටියේ ය.
“භින්නපටධරොති = භික්ඛු” අගය - පහස - පැහැය වෙනස් වීමෙන් බුන් පිළී දරණුයේ භික්ඛු නම්. රන්මසු දහසක් වටිනාකම් ඇති වස්ත්‍රයෙක් සැතකින් කඩ කඩ කොට සිඳින ලද්දේ පළමු පැවැති වටිනා කමින් අඩකුත් නො වටිනා බවට යන්නේ ය. සුවපහස් ඇත්තා වූ ද වස්ත්‍රය නූල්වලින් ගෙත්තම් කරණ ලද්දේ නැසී ගිය පහස් ඇත්තේ රළු පහස් ඇති බවට පැමිණෙන්නේ ය. ගෙත්තම් කිරීමෙහි දී අත් මල ඩහ මල රජස් ආදියෙන් ද අවසානයෙහි රඳන් ගැන්වීමෙන් හා කප් බිඳු තැබීමෙන් ද වෙනස් වූ පැහැය ඇත්තේ පියවි පැහැය හැර සිටියේ වේ. මෙසේ ගිහින්ගේ ඇඳුම් කැඩුම් වලට වෙනස් වූ කසාවණින් රැඳූ සිවුරු දරණුයේ භික්ඛු යි නැගී සිටියේ ය.
“භින්‍දති පාපකො අකුසලෙ ධම්මෙති = භික්ඛු” සෝවන් මගින් සක්කාය දිට්ඨි - විචිකිච්ඡා - සිලබ්බතපරාමාස - ලොභ - දෝස යන පස් වැදෑරුම් පාපධර්‍ම නසනුයේ, සෙදගැමි මගින් ලොභ - දෝස - අහිරික - අනොත්තප්ප යන සිවුවැදෑරුම් පාපධර්‍ම නසනුයේ, අනගැමි මගින් ලොභ - දෝස - අභිරික - අනොත්තප්ප යන පාපධර්‍ම නසනුයේ, රහත්මගින් රූපරාග - අරූපරාග - මෝහ - මාන - ථීන - උද්ධච්ච - අහිරික - අනොත්තප්ප යන පාපධර්‍ම නසනුයේ භික්ඛු යි නැගී සිටියේ ය. මෙයින් චතුර්විද මාර්‍ගස්ථ පුද්ගලයෝ ගැණෙත්.
“භින්නත්තා පාපකානං අකුසලානං ධම්මානං = භික්ඛු” ස්‍රෝතාපන්නපුද්ගල, සෝවන්මගින් යට දැක් වූ පාපධර්‍ම පසක් නසා සිටියේ ය. සකෘදාගාමීපුද්ගල, සෙදගැමි මගින් පාපධර්‍ම සතරක් නසා සිටියේ ය. අනාගාමීපුද්ගල, අනගැමි මගින් පාපධර්‍ම සතරක් නසා සිටියේ ය. අර්‍හත්පුද්ගල, රහත් මගින් පාපධර්‍ම අටක් නසා සිටියේ ය. එහෙයින් මේ චතුර්විධ ඵලස්ථ පුද්ගල තෙමේ ලාමක වූ අකුශල ධර්‍ම නසා සිටියේ භික්ඛු යි නැගී සිටියේ ය.
“ඔධිසො කිලෙසානං පහාණා = භික්ඛු” මාර්‍ගසීමා - ක්ලේශසීමා යි සීමා දෙකෙකි. සීමා, ඔධි නම්. සෝතාපන්නපුද්ගලයා විසින් චතුර්විධ ආර්‍ය්‍යමාර්‍ගයන් අතුරෙහි එක් ම මාර්‍ගසීමාවක් කරණ කොට කෙලෙස් නසන ලද්දේ ය. මාර්‍ග සතරින් ම නො නසන ලද ය. සකෘදාගාමී, අනාගාමී පුද්ගලයන් කෙරෙහි ද මෙසේ දත යුතු ය. සෝතාපන්නපුද්ගලයා, ප්‍රහීණ කළ යුතු කෙලෙස් අතුරෙහි කෙලෙසුන් සීමා කොට ගෙණ ම කෙලෙස් නැසී ය. මෙසේ මාර්‍ගසීමා - ක්ලේශසීමා දෙකින් කෙලෙසුන් නසා සිටියේ භික්ඛු යි නැගී සිටියේ ය.
“අනොධිසො කිලෙසානං පහාණා = භික්ඛු” රහතුන් වහන්සේ මාර්‍ගසතරින් ම පිරිසිඳීමක් නැතිව ම කෙලෙස් නසා සිටියහ. එක් ම මාර්‍ගසීමාවකින් නො ද නැසූහ. නැසිය යුතු කෙලෙසුන් පිළිබඳව ද පිරිසිඳීමක් නො කොට ම කෙලෙස් නැසූහ. මෙසේ මාර්‍ගසීමා - ක්ලේශසීමා රහිත ව පිරිසිඳීමක් නැති ව කෙලෙසුන් නසා සිටි බැවින් රහත් තෙමේ භික්ඛු යි නැගී සිටියේ ය.
“සෙක්ඛො = භික්ඛු” කල්‍යාණ පෘථග්ජනයා සමග සප්තවිධ ආර්‍ය්‍ය පුද්ගලයෝ ත්‍රිවිධශික්‍ෂාවන්හි හික්මෙනුවෝ භික්ඛු යි නැගී සිටියේ ය.
“අසෙක්ඛො = භික්ඛු” ශෛක්‍ෂ්‍යපුද්ගලයන්ගේ ධර්‍මයන් ඉක්මවා රහත්පලයෙහි සිටි, හේතුඵලයෙන් මතුයෙහි හික්මිය යුත් දහමක් නැතියේ භික්ඛු යි නැගී සිටියේ ය.
“නෙවසෙක්ඛනාසෙක්ඛො = භික්ඛු” පුහුදුන් මහණ ත්‍රිවිධ ශික්‍ෂාවන්හි නො ම හික්මෙනුයේ, ත්‍රිවිධ ශික්‍ෂාවන් අවසන් කොට නො හික්මී සිටියේ භික්ඛු යි නැගී සිටියේ ය.
“අග්ගො = භික්ඛු” ශීලසමාධාප්‍රඥාවිමුක්තිසඞ්ඛ්‍යාත අග්‍රභාවයට පැමිණ සිටියේ භික්ඛු යි නැගී සිටියේ ය.
“භද්‍රො = භික්ඛු” කල්‍යාණපෘථග්ජනයා පටන් අර්‍හත්පුද්ගලයා තෙක්, උතුම් වූ ශීලසමාධාප්‍රඥාවිමුක්තිවිමුක්තිඥානදර්‍ශනයෙන් යුක්ත වන බැවින් භද්‍ර වූයේ භික්ඛු යි නැගී සිටියේය.
“මණ්ඩො = භික්ඛු” පහන් වූ ගිතෙලක් මෙන් නො කැලත්වූයේ වෙසෙසින් පහන් වූයේ භික්ඛු යි නැගී සිටියේ ය.
“සාරො = භික්ඛු” ශීලසාරාදිසාරයන්ගෙන් යුක්තවූයේ නිල් ගුණය හා එක් වූ නිල් පැහැති වතක් මෙන් ශීලාදිහර ඇතියේ පහ වූ කෙලෙස් මල ඇතියේ භික්ඛු යි නැගී සිටියේ ය.
මෙහි කියූ මෙයරුත් අතුරෙහි “භින්‍දති පාපකෙ අකුසලෙ ධම්මෙති = භික්ඛු, ඔධිසො කිලෙසානං පහාණාති = භික්ඛු, සෙක්ඛො = භික්ඛු” මෙ තුන් අරුත්නි සප්තවිධ ශෛක්‍ෂ්‍යයෝ භික්‍ෂු නම් වෙති යි ද, “භින්නත්තා පාපකානං අකුසලානං ධම්මානන්ති = භික්ඛු, අනොදිසො කිලෙසානං පහාණාති = භික්ඛු, අසෙක්ඛො = භික්ඛු, අග්ගො = භික්ඛු, මණ්ඩො = භික්ඛු” යන මේ පසරුතින් රහතුන් වහන්සේ භික්‍ෂු නම් වෙති යි ද කියන ලදහ. “නෙවසෙක්ඛනාසෙක්ඛ” යන මෙයරුතෙහි පෘථග්ජන තෙමේ ගැණෙන්නේ ය. අන් හැම තැනින් මතු වන්නෝ කල්‍යාණපෘථග්ජන - සප්තශෛක්‍ෂ්‍ය - ක්‍ෂීණාස්‍රව යන මෙ තුන් දෙන ය.
“සමග්ගෙන සඞ්ඝෙන ඤත්තිචතුත්‍ථකම්මෙන අකුප්පෙන ඨානරහෙන උපසම්පන්නො = භික්ඛු” උපසම්පදා කර්‍මයට සුදුසු වූ භික්‍ෂූන් පැමිණි සිටි කල්හි ඡන්‍දය ගැණීමට සුදුසු වූ භික්‍ෂූන්ගේ ඡන්‍දය ගෙණ ආ කල්හි හමු වූ භික්‍ෂූන් නො වළහා උපසම්පදා කර්‍මයෙහි සමග වූ කල්හි අන්තිම පරිච්ඡෙදයෙන් උපසම්පන්න භික්‍ෂූන් පස් නමකින් පමණ වන සඞ්ඝයා වහන්සේ විසින් වත්‍ථු - ඤත්ති - අනුසාවණ - සීමා - පරිස්සම්පත්තීන් සම්පූර්‍ණ කොට ශාස්තෘශාසනයට අනුරූප වූ ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසපන් කරණ ලද්දේ භික්ඛු නම් වේ. මෙයින් දැක්වුනේ උපසම්දායෙන් භික්‍ෂුත්වයට පැමිණියේ ය. භික්‍ෂුත්වය නම්: උපරිභාවය ය. ඒ මේ උපරිභාවයට උපසම්පත්තිය මුල් වේ. උපසම්පත්තිය ලෞකික සම්පත්තීන් අතුරෙහි උසස් තැන සිටියා.
මෙහි ආ උපසම්පන්න, යන වචනයෙන් එහි භික්ඛූපසම්පදා - සරණගමනූපසම්පදා - ඔවාදපටිග්ගණූපසම්පදා - පඤ්හබ්‍යාකරණූපසම්පදා - ගරුධම්මපටිග්ගහණූපදසම්පදා - දුතෙනූපසම්පදා - අට්ඨාවාචිකූපසම්පදා - ඤත්තිචතුත්‍ථකම්මූපසම්පදා යන අටවැදෑරුම් උපසම්පදාවෝ ගැණෙත්. විස්තර කියන ලද්දේ ය.
අර්‍හත්ඵලස්ථභික්‍ෂූන් වහන්සේ හැර අනෙක් හැම දෙනා වහන්සේ චක්ඛු - සෝත - ඝාන - ජිව්හා - කාය - මන යන සදොර රැකියෝ ම සසර දුකින් මිදෙන්නෝ ය.
රූපාදී අරමුණු ඇතුළට වැද ගන්නා ඇස් කන් නාස් ඈ ස දොරින් එක් දොරක් පමණක් රැක ගැණීම නිවන් පිණිස නො පවත්නේ ය. එක් දොරක් රැක ගෙණ අන් දොර නො රැකි කල්හි ඒ නො රැකි දොරින් නන් වැදෑරුම් කෙලෙස් සිතට වැද ගන්නේ ය. එකල්හි රැක ගත් දොර ද ඒ හේතුයෙන් ම විවෘත වන්නේ ය. එහෙයින් සියලු කල්හි සියලු තැන්හි සිහි එළවා ම විසිය යුතුය. මේ ස දොර රැකිය යුත්තේ සිහියෙනි. සිහියෙන් යුක්ත වූයේ අප්‍රමත්ත යි කියනු ලැබේ. අප්‍රමාද සඞ්ඛ්‍යාත වූ සිහිය නිවනට කරුණු වන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ පස්දෙනා වහන්සේ සෝවන් පලයෙහි පිහිටා ගත්හ. ධර්‍මදේශනා තොමෝ පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය.
පඤ්චභික්‍ෂූ වස්තුව නිමි.