1. ශමථ භාවනාවය, 2. විදර්ශනා භාවනාව යැ යි භාවනාව දෙවැදෑරුම් වෙයි. භාවනාවේ යෙදෙන්නා මේ දෙක ගැන මැ තරමක හැඳිනීමක් මුලැදී මැ තබාගැනීම ප්‍රයෝජනවත් වෙයි. එහි 1. ශමථ භාවනා නම්: සිත් තුළ පහළ වන්නා වූ කෙලෙසුන් යටපත් කොට උපචාර ධ්‍යාන අර්පණා ධ්‍යානයන් ලැබගන්නා ක්‍රමයයි.
2. විදර්ශනා භාවනාව නම්: සංස්කාරයන් නාම රූප වශයෙන් ප්‍රත්‍යක්‍ෂව තේරුම් කරගෙන, එහි ලැබෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණයන් සමාධිමත් සිතින් ප්‍රත්‍යක්‍ෂ වැ කෙලෙස් ප්‍රහාණයෙන් ප්‍රතිවේධය කරගන්නා ඥාන පූර්වක කෘත්‍ය ක්‍රමයයි.
තවද මජ්ඣිම නිකායෙහි මහාසච්චක සූත්‍රයෙහි කාය භාවනාව සහ චිත්ත භාවනාව යයි භාවනා දෙකක් දැක්වින. ඒ මෙසේයි: “ගිනිවෙස්න, කෙසේ නම් අභාවිත කාය හා අභාවිත චිත්ත වෙත්ද යත් “ගිනිවෙස්න, මෙලොව අශ්‍රැතවත්[1] පෘථග්ජනයාහට සුඛ වේදනා උපදී. හේ සුඛ වේදනාව විසින් ස්පර්ශ කරන ලදුයේ සුඛයෙහි ඇල්ම ඇතිවෙයි. සුඛයෙහි ඇලීමෙන් යුක්ත ඔහුගේ සුඛවේදනා නිරුද්ධ වේ. සුඛවේදනා නිරෝධයෙන් කයෙහි දුක්ඛ වේදනා උපදියි. හේ දුක්ඛවේදනා විසින් ස්පර්ශ කරන ලදුයේමැ ශෝක කෙරෙයි. විඩාපත් වෙයි. වැලපෙයි. ළෙහි අත් පැහැරැ හඬනේ වෙයි. සිහිමුළාවට වදනේ වෙයි. ගිනිවෙස්න, ඔහුට තෙල උපන් සුඛ වේදනා ද සිත ගෙවාගෙන සිටුනීය. කය අභාවිත (නොවැඩූ) වන බැවිනි. උපන් දුක් වේදනා ද සිත ගෙවාගෙන සිටුනීය. සිත අභාවිත වන බැවිනි. ගිනිවෙස්න, යම් කිසිවක් හට කය අභාවිත වන බැවින්, මෙසේ සුඛය එක් පසෙකැ, දුක එක්පසෙකැ යි පක්‍ෂ දෙකින් උපන් සුඛ වේදනා ද සිත් ගෙවාගෙන සිටුනීය. චිත්ත අභාවිත වන බැවින් උපන් දුක්ඛ වේදනා ද සිත ගෙවාගෙන සිටුනීය. ගිනිවෙස්න, මෙසේ අභාවිත කාය ද, අභාවිත චිත්ත ද වෙයි.
ගිනිවෙස්න, මෙලොවැ ශ්‍රැතවත්[2] ආර්‍ය්‍යශ්‍රාවකයාහට සුඛ වේදනා උපදියි. හේ සුඛ වේදනා විසින් ස්පර්ශ කරන ලදුයේ මැ සුඛ සංරාගයෙන්[3] සමන්වාගත ද නො වෙයි. සුඛ සංරාගයෙන් සමන්වාගත සෙයට ද නොපැමිණෙයි. ඔහුගේ ඒ සුඛවේදනා නිරුද්ධ වෙයි. සුඛවේදනා නිරෝධයෙන් මතුයෙහි දුක්ඛ වේදනා උපදී. හේ දුක්ඛවේදනා විසින් පහස්නා ලදුයේ[4]මැ නොසොස්නේය[5]. කලකුළු නොවන්නේය[6]. නොවලප්නේය. ළෙහි අත්පැහකැර නොහඬනේ ය. සිහිමුළාවට නොවදනේය. ගිනිවෙස්න, ඔහුගේ තෙල[7] උපන් සුඛවේදනාත් සිත ගෙවාගෙන නොසිටුනේය. කය භාවිත බැවින. උපන් දුක්ඛවේදනාත් සිත ගෙවාගෙන නොසිටුනේය. සිත භාවිත වන බැවින. ගිනිවෙස්න, යම්කිසිවක් හට මෙසෙයින් උභතඃ පක්‍ෂවැ[8] උපන් සුඛ වේදනාත්, කය භාවිත වන බැවින් සිත ගෙවාගෙන නො සිටුනේ වේ ද? උපන් දුක්ඛ වේදනාත් සිත භාවිත වන බැවින් සිත ගෙවාගෙන නොසිටුනේ වේ ද? ගිනිවෙස්න, මෙසෙයින් භාවිතකාය වෙයි. භාවිත චිත්ත ද වෙයි.”
මෙහි කාය භාවනා නම්: විදර්ශනාව යි. සච්චකගේ කථාව අනුව එහි යෙදීමෙන් චිත්ත වික්‍ෂේපයට-උමතු බවට පැමිණෙන්නේ නැත.
චිත්තභාවනා නම්: සමථ භාවනාව යි. එයින් ඌරු තදවීම්[9] ආදිය ද නො වෙයි. මෙයින් කායභාවනාව ඕලාරික[10]යයි ද, චිත්ත භාවනාව සුඛුම[11]යයි ද මේ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාළහ. මෙය මතභේදයට හේතු විය. මහාසිව හිමියෝ මෙහි ඉදිරිපත් වී “දිස්සති භික්ඛවෙ ඉමස්ස චාතුම්මහාභූතිකස්ස කායස්ස ආචයොපි අපවයොපි ආදානම්පි නික්ඛෙපම්පි” යන පාඨය අසා ඕළාරික කය පරිග්‍රහ කරන්නාහට උපන් විදර්ශනාව ඕළාරික යයි කීමට සුදුසු යයි සැලැකූහ.
කාය භාවනායෙන් යුතු වූවහුට සුඛවේදනාව ද, කුශල චිත්තය මැඩගෙන නොසිටියි. විපස්සනාව වැඩූ හෙයිනි. උපන් දුක්ඛ වේදනාව ද කුසල්සිත මැඩගෙන නොසිටියි. ශමථය වැඩූ බැවිනි. මෙහි කායභාවනා නම්: විදර්ශනාව බව මුලැදී කියන ලදී. චිත්ත භාවනාව ද සමාධිය බව එසේමැ කියන ලදී. විදර්ශනාව ද සුඛයට ප්‍රතිවිරුද්ධ ය. දුකට ආසන්න ය. සමාධිය දුකට ප්‍රතිවිරුද්ධය. සුඛයට ආසන්නය.
කෙසේ ද? විදර්ශනාව ආරම්භ කොටැ හුන්නහුට ටික කලක් ගතවන විට, ඒ ඒ තැන ගිනි පිටවෙන්නාක් මෙන් වෙයි. කිසිලිවලින් ඩහදිය වැගිරෙයි. හිස මුදුනෙන් උණුසුම් වැටියක් පැන නගින සේ වැටහෙයි. සිත් පෙළෙයි. තදින් පෙළෙයි. සැළෙයි. මෙසෙයින් විදර්ශනාව සැපයට ප්‍රතිවිරුද්ධ ය. දුකට ආසන්න ද වෙයි. කය පිළිබඳ වූ හෝ සිත පිළිබඳ වූ හෝ දුකක් උපන් කල්හි, ඒ දුක වික්ඛම්භනය[12] කර සමාපත්තියකට සමවදින්නහුට සමාපත්ති අවස්ථාවේ දුක ඈතට යයි. ඉතා බොහෝ වූ සැපයකට බැස ගනියි. මෙසෙයින් සමාධිය දුකට ප්‍රතිවිරුද්ධය. සැපයට ආසන්නය. විදර්ශනාව සුඛයට ප්‍රතිවිරුද්ධ වුවත්, දුකට ආසන්න වුවත්, සමාධිය එසේ නොවේ. සමාධිය දුකට ප්‍රතිවිරුද්ධ වුවත්, සැපයට ආසන්න වුවත්, විදර්ශනාව එසේ නොවේ. “උප්පන්නාපි සුඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති, භාවිතත්තාකායස්ස උප්පන්නාපි දුක්ඛාවෙදනා චිත්තං න පරියාදාය තිට්ඨති, භාවිතත්තා චිත්තස්ස”[13] යයි වදාළේ එහෙයිනි.
“සමථොති චිත්තෙකග්ගතා, විපස්සනාති සංඛාරපරිග්ගාහික ඤාණං[14]” මේ දෙක විජ්ජාභාගිය ධර්මයි[15]. සමථය වැඩීමෙන් ලැබෙන ප්‍රයෝජනය කිම? මාර්ග චිත්තය එයින් වැඩීමට පත්වෙයි. සිත වැඩීමේ ප්‍රයෝජනය නම්: ඇලීමේ ආකාරයෙන් පහළවන රාගය එයින් පහවෙයි. රාගය මාර්ගචිත්තයට ප්‍රතිවිරුද්ධ වේ. මාර්ගචිත්තය ද රාගයට ප්‍රතිවිරුද්ධ වේ. රාගචිත්තයේ පවත්නා කාලයෙහි මාර්ගචිත්තයේ පැවැත්ම නැත. මාර්ගචිත්තයේ පවත්නා කාලයෙහි ද රාගයේ පැවතීම නැත. යම්කලෙක රාගය උපදී ද, එකලැ මාර්ගචිත්තයේ උපත වළක්වයි. ප්‍රතිෂ්ඨාව සිඳ දමයි. යම්කලෙකැ මාර්ගචිත්තය උපදී ද, එකල රාගය සහමුළින් උදුරාදමමින් මැ උපදි යි. “යො රාගො සො පහීයති” යි වදාළේ එහෙයිනි. විදර්ශනාව වැඩීමෙන් ලැබෙන ප්‍රයෝජනය කවරේ ද? විදර්ශනාව වැඩීමෙන් මාර්ගය පහළවීමට ඕනෑකරන ප්‍රඥාව වැඩෙයි. මාර්ග ප්‍රඥාව වැඩීමෙන් ලැබෙන ප්‍රයෝජනය කවරේ ද? අට තැනෙක දැඩිවැ ගෙන හටගන්නා භවයේ පැවතීමට ප්‍රත්‍යය වැ පවත්නා මහ අවිද්‍යාව ප්‍රහීණවෙයි. අවිද්‍යාව වනාහි මාර්ගප්‍රඥාවේ පැවැත්මට, දියුණුවට යාමට ප්‍රතිවිරුද්ධ වෙයි. මාර්ග ප්‍රඥාවද අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ වෙයි. අවිද්‍යාව පහළ වී ඇති මොහොතෙහි මාර්ගචිත්තයට සම්බන්ධ ප්‍රඥාව නැත. මාර්ගප්‍රඥාවේ පවත්නා මොහොතෙහි අවිද්‍යාව නොලැබෙයි.
ඒ මෙසේයි: යම් කලෙකැ අවිද්‍යාව සිත් හි පහළවෙයි නම් එකල එය මාර්ගප්‍රඥාවේ උපතට බාධා කෙරෙයි. පිහිට සිඳදමයි. යම් කලෙක මාර්ග ප්‍රඥාව පහළවෙයි නම් එකල එය අවිද්‍යාව සහමුලින් උදුරා සිඳදමමින් මැ උපදනේය. “යා අවිජ්ජා සා පහීයති” යනු එහෙයින් දෙසන ලදී. මෙහි සඳහන් මාර්ග චිත්තයත්, මාර්ග ප්‍රඥාවත් එකට උපදනා ධර්ම බව සලකා ගත යුතුය.
සිත රාගයෙන් කිලිටි වෙයි නම් මාර්ගචිත්තයේ දී ලැබිය යුතු කෙලෙසුන්ගෙන් මිදීම සිදු නොවෙයි. සිත අවිද්‍යාවෙන් කිලිටි වෙයි නම් මාර්ග ප්‍රඥාව නොවැඩෙයි. රාගයේ ඛය විරාගයෙන්[16] ඵලසමාධි නම් වූ චේතෝ විමුත්තිය[17] වෙයි. අවිද්‍යාවේ ඛයවිරාගයෙන් ඵලප්‍රඥාව නම් වූ පඤ්ඤා විමුක්තිය[18] ලැබෙයි. මෙහි ප්‍රකාශ වූයේ නානාක්‍ෂණික විදර්ශනා සමාධියයි[19].
ඛන්ධසංයුත්තයෙහි ථෙරවර්ගයෙහි අස්සජි සූත්‍රයෙහි සඳහන් පරිදි: භාග්‍යවතුන් වහන්සේ රජගහා නගරයේ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි අස්සජි නම් හිමි නමක් කස්සප සිටුහුගේ ආරාමයෙහි දැඩි ගිලන්කමින් පෙළෙමින් වෙසෙයි. උන්වහන්සේ උවටැන් කරන භික්‍ෂූන්හට ආමන්ත්‍රණය කොට තමන් දැඩි ගිලන්කමින් පෙළෙන බවත්, භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන බවත් මතක් කොට, අනුකම්පා කොට බුදුරජාණන් වහකන්සේ තමන් වෙත වැඩම කරන ලෙස ආරාධනා කරන බවත් දන්වා යැවූහ.
එය ඇසූ බුදුරජාණන් වහන්සේ කරුණු සලකා බලා අස්සජි හිමියන් වෙත වැඩමකළහ. අස්සජි හිමියෝ ද බුදුරජාණන් වහන්සේ වඩිනු දුරදීම දැක, හොත් අස්නෙන් නැගිටීමට උත්සාහ කළහ. එය දුටු බුදුරජාණන් වහන්සේ අස්සජි තෙරුන් වළකා පනවා තිබූ අස්නෙක වැඩහුන්හ. වැඩහිඳ අස්සජි හිමියන්ගෙන් අසනීප තොරතුරු විමසූහ. ඒ හිමියන් අසනීපය බලවත් බව දැන්වූ කල්හි, බුදුරජාණන් වහන්සේ, “අස්සජි, ඔබේ සිත ඔබට සීලයෙන් දොස් නඟන්නේදැ”යි විමසූහ. අස්සජි හිමි එබන්දෙක් නැතැයි කීය. “එසේ නම් ඔබේ කුකුස කිම? විපිළිසර කවරේදැ”යි විචාළහ. අස්සජි හිමි, “ස්වාමීනි, මම පළමුවෙන් ගිලන්කම යටකොට චතුර්ථධ්‍යානයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් වළකා වෙසෙමි. ඒ මම සමාධිය කැඩි කැඩී යන නිසා, ‘කිම මම සසුනෙන් පිරිහෙම්දෝ’යි විපිළිසර ඇතිවීමි, යනු පැවසීය. බුදුරජාණන් වහන්සේ “අස්සජි, මේ සස්නෙන් බැහැර වූවෝ සමාධිය ම සාරයයි ගන්නාහ. ශ්‍රමණ භාවයද එයමැයි ගන්නාහ. මාගේ සසුනෙහි එය සාරය නොවේ. මෙහි මාගේ සසුනෙහි සාරය විදර්ශනා මාර්ග ඵලයෝ ය. එහෙයින් ඔබ සමාධියෙන් පිරිහෙනු සිතා කුමට විපිළිසර වන්නෙහි ද?” යනු වදාරමින් තෙරුන් සනසමින් තිපරිවට්ඨ දේශනාව[20] ඇරඹූ සේක. දෙසුන් කෙළවර උන්වහන්සේ ධර්මාවබෝධය කළහ. (විදර්ශනා කාණ්ඩය බලනු.)
-
ආර්‍ය්‍ය ධර්මය නොඇසූ ↑
-
ආර්‍ය්‍ය ධර්‍මය ඇසූ ↑
-
සැපය පිළිබඳ ඇලීමෙන් ↑
-
ස්පර්‍ශ කරන ලද්දේ ↑
-
ශෝක නොකරන්නේය ↑
-
ක්ලාන්ත නොවන්නේය ↑
-
ඒ ↑
-
දෙපැත්තකින් ↑
-
කලවා තදවීම ↑
-
ගොරෝසු ↑
-
සියුම් ↑
-
යටපත් කර ↑
-
මහා සච්චක සූත්‍රය ↑
-
මනො: දුක ↑
-
විද්‍යා පක්‍ෂයෙහි ලා ගැනෙන ධර්‍ම අට ↑
-
ගෙවී-මැකී යාමෙන් ↑
-
අර්හත් ඵල සමාධිය ↑
-
අර්හත් ඵල ප්‍රඥාව ↑
-
නොයෙක්වර පහළවූ විදර්ශනා සමාධිය ↑
-
පරිවෘත්ත (ස්වභාව) තුනකින් යුත් දේශනාව ↑