භාවනානුයෝගය නම් කිම?

භාවනානුයෝගය ඉතා ගැඹුරු වැඩෙකි. එය ලෙහෙසියෙන් සපයන්නෝත් ඇත. දුකසේ සපයාගන්නෝත් ඇත. ඇත්ත විසින් බලතොත් මෙහි ඇති ලෙහෙසියෙක් නැත. මෙහිදී ජයග්‍රහණයකට පැමිණීමට නම් බලවත් ශක්ති රාශියක් යෙදිය යුතුය. එමගින් ඉතා උසස් ගුණ රැසක් මතුකොට ගන්නා ලැබේ. ගුණ රැසක් අත්පත්කොට ගැනීමෙන් ලැබුවමනා මේ ජයග්‍රහණය ඔබට ප්‍රත්‍යක්‍ෂ වන්නේ එකහි යෙදීමෙන්මැයි. ගුණය ගුණයක් වශයෙන් ප්‍රකට වන්නේ ප්‍රත්‍යක්‍ෂ ධර්මයක් හමුවේ ජයග්‍රහණය දැක්වීමෙන්මය.

යෝගාවචරය, ඔබේ හපන්කම් කොතරම් කියාපෑවත්, හැඟෙව්වත්, යෝගාවචරයකු වශයෙන් ඔබට එයින් ලැබෙන ප්‍රයෝජනය කිම? ඔබේ කයේත්, සිතේත්, ප්‍රකට විය යුතු යෝගානුකූල වැඩිදියුණුව මැ ඔබ උසස් වශයෙන් සැලකිය යුතුව ඇත.

භාවනානුයෝගය ලෙහෙසි නැතැ යි කීවේ එහි යෙදෙන්නා හට තනිව මැ මගහරවා ගත යුතු බාධක රැසක් ලැබෙන හෙයිනි. ඉතා උසස් අදහසක් ඉදිරිපත්කොට ගෙන භාවනා මනසිකාරයට බැස්සහුට ඉදිරියට ඔසවාගෙන යායුතු සිත් පෙළ නවතාලන්නට ද සිත පහළ වෙයි. මෙය කල් ඇතිව තේරුම් නොගත්තොත් යෝගාවචරයා ගේ ඉදිරි ගමන වැළකී යයි.

ඇතැම් යෝගීන් භාවනාවේ යෙදෙන අතරමග දී පමණ ඉක්මගෙන බියපත්වන සැටි පෙනේ. ඔවුනට බිය වැඩිකම නිසාමැ ආහාර රුචිය ද නවතියි. නින්ද ද නැත. සතුටෙකුත් නැත. මෙසේ නුපුරුදු සිත් පෙළකට යට වී කල් ගෙවන්නට සිදුවනු ඇත.

ඇතැම් විට දොස් කෝපයෙන් තමා ගේ සිතේ පහළවන සිතිවිලි අනුන් කියන දේ හැටියට තමාගේ කනටමැ ඇසෙන්නට ඉඩ තිබේ. යෝගාවචරයා මෙහි රහස නොදන්නා හෙයින් ඔහු සිතාගන්නේ ඔහු ගේ කනට යම්කිසි දෙවියකු කථාකොට නොයෙක් දේ කියන සැටියටය. මෙයින් ඔහු කොතරම් මුළාවට වැටෙනවාද කියතොත් ගුරුන්ගේ බස් පවා නො අදහා එහි ඇලී ඒ සිතුවිලි මාලාවේමැ බැඳී කල්ගෙවනු පෙනේ. මෙබඳු අවස්ථාවල දී තදින් අවවාද කොට ඔහු එයින් වළක්වා ගැනීම ගුරුවරයාට ඇති උපාය ශක්තිය අනුව වන්නේය. මෙහි දී ගුරුවරයා අතිශයින් සාවධාන විය යුතු ය. නොඑසේ නම් එම යෝගාවචරයා බිහිසුණු සිදුවීම්වලට යටවන්නට ද සදාකාලික අභව්‍යකු[1] වන්නට ද ඉඩ තිබේ.

ඇතැම්විට කිසිදු පිරිසිදු හේතුවක් නොමැති ව යෝගාවචරයෝ බියෙන් පෙළෙන්නට වන්නාහ. උමතු රෝගියකුගේ සිත් තුළ හටගන්නා බියවැනි බියක් ඔහු තුළ පෙළෙමින් පවත්නා සැටි ද පෙනෙයි. මෙහි දී දොස් කෝපයෙක් ද නො මැති නම් භාවනාව නිසා හටගත් විපරීතයෙක්දැ[2] යි මැනැවින් මෙය පරීක්ෂාකර බැලීම වටියි. පළමු පළමු හටගත් බිය මෙනෙහි නොකිරීම නිසා ද මේ බිය පිළිබඳ දියුණුව සැලසෙන සැටි පෙනෙයි. භාවනාව නවත්වා සිටන විට ද මේ බිය තිබේ නම් දොස් කෝපය සොයා සුදුසු ලෙස පිළියම් කරවීමට ඉදිරිපත්වීම මැනවි. මෙයට රස්මි චිකිත්සාව වැනි පිළියම් යෙදීම මානසික ශක්ති පරිහානියට හේතුවන හෙයින් දොස් සන්සිඳීමට උදවු වන පිළියම් කරවිය යුතුය. එසේ නොවුවහොත් චිත්ත ප්‍රවෘත්තිය[3] දුර්වල වෙන්නට ඉඩ තිබේ. මෙය භාවනානුයෝගීන් කෙසේ වෙතත් ආචාර්යවරුන් විසින් විශේෂයෙන් සැලකිය යුතු කරුණක් බව කිව යුතුය.

මේ නිසා යෝගාවචරයා භාවනා මනසිකාරයේ දී සදොරට හමුවන ලොකු කුඩා හෝ හොඳ නරක හෝ භේදයක් හිතට නො ගෙන හැම සිදුවීමක්මැ මෙනෙහි කිරීමට උනන්දු විය යුතු ය. මෙය කඩ කිරීම හේතුකොට ගෙන මේ විදියේ නොයෙක් විපත්ති මාර්ගයෝ පෑදෙන්නාහ. මෙනෙහි කිරීමේ බලය අනුව මෙබඳු හැම උවදුරක් මැ දුරුවන බව හොඳින් සලකාගත යුතුය. රූප දැකීම ද, ශබ්ද ඇසීම ද, මේ ආකාරයෙන් සැලකිය යුතුය. මේවා මෙනෙහි නොකිරීමෙන් දිගට මැ මේ උවදුරු පැවැතුණු සැටිත්, එයින් භාවනා මනසිකාරය පවත්වාගත නුහුණු සැටිත් දැක තිබේ.

  1. භාවනාවෙන් ප්‍රතිඵල ලැබීමට නුසුදුස්සකු

  2. විකාරයක්

  3. සිතෙහි පැවැත්ම