7. අශුභ භාවනාව

සත්ත්වයෝ තමන්ගේ ශරීරය ශුභ වශයෙන් ද, සැප වශයෙන් ද, ස්ථිර වශයෙන් ද වැරැදි ලෙස ගැනිමෙන් මුළාවෙන් දුක දික් කර ගන්නාහ. තණ්හාවෙන් දුක දික්කර ගන්නාහ. මානයෙන් දුක දික්කර ගන්නාහ. නොයෙක් විදියේ විපතට ගොදුරු වන්නාහ. සසර දුකට යට වන්නාහ. සැනැසිල්ලක් නොලබන්නාහ. යෝනිසො මනසිකාරයකට ඉඩ අවුරා ගන්නාහ. මේ විපත්ති මාර්ගයෙන් ඉවත්ව සම්පත්තිකර මාර්ගයකට එළඹීමට කය පිළිබඳ යථා තත්ත්වය වටහා ගැනීමට මේ අශුභ භාවනා මාර්ගය මහෝපකාරී වනු ඇත. එහෙයින් මෙලොව හිත පිණිස ද, පරලොව හිත පිණිස ද මේ භාවනාවේ යෙදීම මැනැවි. මේ භාවනාවට කායගතාසති භාවනාව යයි ද, පටික්කූල මනසිකාර යයි ද, පිළිකුල් භාවනාව යයි ද ව්‍යවහාරය වෙයි.

මේ භාවනාව කිරීමේ දී උද්ධුමාතකාදී (ඉදිමීම් භාවයට පැමිණි) මළසිරුරක් හෝ මිනිස් ඇටසැකිල්ලක් හෝ ඉදිරියෙහි සිටගෙන,

“අවිඤ්ඤාණ සුභනිභං - සවිඤ්ඤාණසුභං ඉමං,

කායං අසුභතො පස්සං - අසුභං භාවයෙ සතිං”

යන්නෙන් දැක්වෙන පරිදි, ශුභ වශයෙන් සිතා ඉන්නා ඔබගේ ශරීරය ජීවිතින්‍ද්‍රියයෙන් හා විඤ්ඤාණයෙන් තොර වූ මේ මළකුණට සමානය කියා, මෙසේ සිතින් බලමින් මේ අශුභ භාවනාව පවත්වන්න.

තවද මරණයෙන් දින කීපයක් ඉක්ම ගිය, ඉදිමුණ, තැන් තැන්වලින් පණුවන් සහිත සැරව වැගිරෙන, නිලමැස්සන් ගැවැසීගත්, මළ සිරුරක් දෙස බලා ඒ අශුභ දර්ශනය සිතේ තැන්පත් කරගෙන, නැවැත නැවැතත් ඒ දෙස සිත යොදමින් මෙනෙහි කිරීමෙන් නීවරණයෝ සන්සිඳෙති. විතක්කාදී අංග ප්‍රකට වෙති. එය උපකාර කොට ගෙන විදර්ශනාව පැවැත්විය හැකි වෙයි.

තචපඤ්චක කමටහන

කෙසා, ලොමා, නඛා, දන්තා, තචො.

තචො, දන්තා, නඛා, ලොමා, කෙසා,

කෙසා, ලොමා, නඛා, දන්තා, තචො.

මේ කුලපුත්‍රයකු සසුන් ගතවන අවස්ථාවේ දී උපාධ්‍යායයන් වහන්සේ විසින් දෙනු ලබන නිවන් පසක්කර ගැනීම සඳහා මහෝපකාරී කමටහනයි. මෙයින් රහත් බව සිදුකොට නිවන් සුවයෙන් සැනසීගත් උතුමෝ අප්‍රමාණ වෙති. උතුම් සුවයෙන් සැනැසෙනු කැමැති ඔබත් ලද විවේකයෙන් අමරණීය ප්‍රයෝජනයක් සලසා ගැනීම පිණිස ඒ පැවිදි උතුමන්ගේ මූලකර්මස්ථානය නවීභාවයට පමුණුවා ගන්න.

මේ කමටහන කරන ක්‍රම දෙකක් බව පෙනෙයි. මෙයින් දක්වන්නේ එයින් කෙටි ක්‍රමයයි. මේ කොටස් පහම හොඳටම ප්‍රකටයි. ඇසින් බලා දැන ගැනීමට හැකිවන හෙයිනි. මෙසේ මේවා හඳුන්වාදීමට හෝ තිබෙන තැන් සෙවීමට හෝ උත්සාහයක් නොවන බව කිව යුතුය.

පළමු භාවනාවේ දී කී පරිදි විවේකස්ථානයකට පැමිණ එහි කියන ලද පරිද්දෙන් මේ භාවනාව පටන්ගත මැනවි.

  1. කෙසා: බඹයක් පමණ වූ මේ සිරුරට සම්බන්ධ වූ හිසෙහි පිහිටියා වූ මේ කේශයෝ පැහැයෙන් ද පිළිකුලය, සටහන් වශයෙන් ද පිළිකුලය. ගඳින් ද පිළිකුලය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුලය. පිරිසිඳීම් වශයෙන්[1] ද පිළිකුලය. පිළිකුලය. පිළිකුලය.
  2. ලොමා: බඹයක් පමණ වූ මේ ශරීරයෙහි පැතිර පිහිටියා වූ ලෝමයෝ පැහයෙන් ද පිළිකුලය. සටහනින් ද පිළිකුලය. ගඳින්ද පිළිකුල ය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුලය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුලය. පිළිකුලය. පිළිකුලය.
  3. නඛා: බඹයක් පමණ වූ මේ ශරීරයට අයත් වූ දෙ අත් හා දෙපා ඇඟිලි අග පිහිටියා වූ නියපොතු ද පැහැයෙන් ද පිළිකුලය. සටහන් වශයෙන් ද පිළිකුලය. ගඳින් ද පිළිකුලය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුලය. පිහිටි තැන් වශයෙන් ද පිළිකුලය. පිරිසිඳීම් වශයෙන් ද පිළිකුලය. පිළිකුලය. පිළිකුලය. පිළිකුලය.
  4. දන්තා: බඹයක් පමණ වූ මේ ශරීරයේ මුඛයෙහි ඇතුළත වූ දෙතල්ලෙහි පිහිටියා වූ දත් ද පැහැයෙන් ද පිළිකුලය. සටහන් වශයෙන් ද පිළිකුලය. ගඳින් ද පිළිකුලය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුලය. පිරිසිඳීම් වශයෙන් ද පිළිකුලය. පිළිකුලය. පිළිකුලය.
  5. තචො: බඹයක් පමණ වූ මේ ශරීරයේ මුළුල්ල වසාගෙන තිබෙන්නා වූ සිවි සම ද පැහැයෙන් ද පිළිකුලය. සටහන් වශයෙන් ද පිළිකුලය. ගඳින් ද පිළිකුලය. පිහිටි දිසා වශයෙන් ද පිළිකුලය. පිරිසිඳීම් වශයෙන් ද පිළිකුලය. පිළිකුලය. පිළිකුලය.

මේ ක්‍රමයෙන් මුල පටන් අග දක්වා පස් (5) වරක් කියනු. අග සිට මුලට (5) වරක් කියනු. නැවැත මුලසිට අගටත් අගසිට මුලටත් (5) වරක් කියනු. නැවැත එසේම පසළොස් (15) වරක් සලකනු. සිත තැන්පත් කොට ගෙන මෙසේ භාවනාවේ යෙදීමෙන් විශේෂ චිත්ත ශක්තියක් ලැබෙනවා ඇත.

  1. සීමාවන් වශයෙන්