1. තෙරුවන් කමාකරවා ගැනීම

මුලින් භාවනාව පටන් ගන්නා අවස්ථාවේ දී භාවනාවට උපදෙස් දෙන ගුරුවරයකු ඉදිරිපත් කරගෙන එතුමා ඉදිරියෙහි දී මේ පූර්වකෘත්‍යයන් සිදුකිරීමට සිතට ගැනීම ඉතා හොඳය. පළමුවෙන් තෙල් මල් පහන් ආදී පූජෝපකරණ සපයා ගෙන අවුත්, ශීලපාරිශුද්ධියක පිහිටා ගෙන චිත්ත ශක්තියෙන් යුතුවැ තෙරුවන් විෂයෙහි ඥාන සම්ප්‍රයුක්ත ව ඒවා පූජාකොට වන්දනා පවත්වා අවසානයෙහි තෙරුවන් කමාකරවා ගැනීම කළ යුතුය. එය කළයුතු අකාරය මෙසේ යි:

(අ) සංසාරයෙහි දී හෝ මේ ජීවිතයේ දී හෝ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා කෙරෙහි මාගේ කයින් බසින් සිතින් යන තුන්දොරින් යම්කිසි වරදක් සිදු වී නම්, බුදුරජාණන් වහන්සේලාගෙන් එයට මට කමාව ලැබේවා! කමාව ලැබේවා!! කමාව ලැබේවා!!!

(ආ) සංසාරයේ දී හෝ මේ ජීවිතයේ දී හෝ පසේබුදු රජාණන් වහන්සේලා කෙරෙහි මාගේ කයින් බසින් සිතින් යන තුන්දොරින් යම්කිසි වරදක් සිදු වී නම්, පසේබුදු රජාණන් වහන්සේලාගෙන් එයට මට කමාව ලැබේවා! කමාව ලැබේවා!! කමාව ලැබේවා!!!

(ඇ) අතීත සංසාරයේ දී හෝ මේ ජීවිතයේ දී හෝ නවලෝකාත්තර ධර්මරත්නය කෙරෙහි ද පර්යාප්ති[1] ප්‍රතිපත්ති ධර්ම කෙරෙහි ද මාගේ කයින් බසින් සිතින් යන තුන්දොරින් යම්කිසි වරදක් සිදු වී ඇතොත් එයට ඒ ධර්මරත්නයෙන් මට කමාව ලැබේවා! කමාව ලැබේවා!! කමාව ලැබේවා!!!

(ඈ) අතීත සංසාරයේ දී හෝ මේ ජීවිතයේ දී හෝ ආර්‍ය්‍ය සංඝරත්නය කෙරෙහි මාගේ කයින් හෝ බසින් හෝ සිතින් වරදක් සිදු වී ඇතහොත් ඒ ආර්‍ය්‍යයන් වහන්සේලාගෙන් මට කමාව ලැබේවා! කමාව ලැබේවා!! කමාව ලැබේවා!!!

මෙසේ කියා වන්දනා කළ යුතුය. මෙසේ කිරීමෙන් ආර්ය්‍යොවාද කර්මයන්[2] තම සන්තානයෙහි තැන්පත් වී තිබුණි නම් එයින් නිදහස් වී භවානාව සාර්ථකව ගෙනයාමට හැකිවන්නේය. ආර්ය්‍යොපවාද කර්මයන් තම සන්තානයෙහි ඇති නැති බව තමාට නොවැටහෙන හෙයින් භාවනා ආරම්භයේ දී හැමදෙනා විසින් ම මේ කමාකරවා ගැනීම කළ යුතු වෙයි.

  1. උගත යුතු ධර්‍ම

  2. ආර්‍ය්‍යයන් වහන්සේලාට දොස් පැවරීමේ පාපකර්‍මය