6. මෙත් වැඩුම

සුඛී භවෙය්‍යං නිද්දුක්ඛො - අහං නිච්චං අහං විය

හිතා ච මෙ සුඛී හොන්තු - මජ්ඣත්තා’ථ ච චෙරිනො.

  1. මම නිති සුවපත් වෙම්මා ..............
  2. මා නිති සුවපත් වන්නාක් මෙන්, මාගේ හිතවත් සත්ත්‍වයෝ ද නිති සුවපත් වෙත්වා..........
  3. මාමෙන් මා හිතවතුන් මෙන් මැදහත් සත්ත්‍වයෝ ද නිති සුවපත් වෙත්වා..........
  4. මා මෙන්, මා හිතවතුන් මෙන්, මැදහත් සතුන් මෙන්, අහිතවත් වූ සත්ත්‍වයෝ ද නිති සුවපත් වෙත්වා.

මේ අපට පුරුදු මෙත් වඩන ගාථා පෙළේ මුල්ගාථාවේ අදහසය. මෙහි (සුඛී) “සුවපත් වෙම්වා! සුවපත් වෙමි! සුවපත් වෙත්වා!” යනු මෛත්‍රී සිතක් සත්ත්ව වස්තු කෙරෙහි සම්බන්ධ කරන වචනයෝ ය. ඒවාට අපි ‘මෛත්‍රී හැඟීම්’ යන වහර යොදමු. මේ මෛත්‍රී හැඟීම පවත්වන සත්ත්ව වස්තූහු කොටස් සතරකට බෙදී මෙහි පෙනෙති.

  1. මම
  2. හිතවත්හු
  3. මැදහත්හු
  4. වෛරීහු

යනුවෙනි.

මේ සත්ත්ව කොටස් සතර තමාගෙන් පටන්ගත් බවද සිත තබා ගන්න. එකල භාවනා වාක්‍ය සතරෙකි. ඒ මෙසේ යි.

  1. මම සුවපත් වෙම්වා....... සුවපත් වෙමි.
  2. මා මෙන් මාගේ හිතවත්හු ද සුවපත් වෙත්වා........
  3. මා මෙන් මාගේ හිතවතුන් මෙන් මැදහත්හු ද සුවපත් වෙත්වා......
  4. මා මෙන් මාගේ හිතවතුන් මෙන් මැදහතුන් මෙන් වෛරීහු ද සුවපත් වෙත්වා. යනුවෙනි.

පළමුවෙනි පියවර

භාවනාව පටන්ගන්නා පිළිවෙළ මෙසේ යි :-

පළමුවෙන් අත් පා සිරුරු ශුද්ධ පවිත්‍ර කරගෙන, විවේක ස්ථානයක පහසු අන්දමින් (බද්ධපර්යඞ්කයෙන් නම් වඩා හොඳයි) හිඳගෙන තමාගේ ශීලය සලකා තුණුරුවන් ගුණ සිහිකර එයින් ප්‍රීතිය උපදවා ගෙන, තමාගේ සිරුරේ හිස පටන් දෙපතුල දක්වා කීප වාරයක් සිත යොමු කරන්න. දැන් ඔබේ සිතට ඔබ පෙනෙයි. ඒ සිතට පෙනෙන ඔබ වෙත සිත තබාගන්න. ඊළඟට පළමු සඳහන් මුල් වාක්‍යය සිතන්න. “මම සුවපත් වෙම්වා” කීප වරක් සිතන්න. අන්තිමට “මම සුවපත්වෙමි” යි සිතන්න. එය ම කීපවරක් සිතන්න. දැන් ඔබේ සිත සුවපත් (සැපවත් -සැනැසිලිමත්) බව ඔබට දැනෙයි. අන්තිමට ඔබ සැපවත්ව සැනැසිලිමත්වැ ඉන්නා සැටි ඔබ සිතට දැනෙයි.

තවමත් නියම මෛත්‍රියට බැස්සේ නැත. එහි ස්වරූපය සිතට දැනුණා පමණි. මෛත්‍රිය සිතට තේරුම් ගැනීමටයි තමාට මෙසේ මෛත්‍රිය පැවැත්වූයේ. මෛත්‍රිය තේරුම් නොගෙන මෛත්‍රිය කළ නොහැකිය. මෛත්‍රිය පැහැදිලි කරගැනීමට තවත් වචන කීපයක් මතුකර දෙන්නට තිබේ.

මෛත්‍රිය නම් හොඳ මෘදු මොළොක් සිතක ස්වභාවයයි. එය පිපුණු රෝසමලක් වැනියයි කිව හැකි ය. මෛත්‍රිය නැති සිත කුණු වූ දෙයක් වැනිය. ඇතැම්විට තද ය.

  1. වෛර සිත,
  2. තරහ සිත,
  3. කායක පීඩා යුත් සිත,
  4. මානසික පීඩා (කණගාටු) යුත් සිත,

මේ මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ සිත් පැවතුම්ය. නියමයෙන්[1] මෛත්‍රිය තම සිත් තුළ පැළපැදියම් කර ගැනීමට ස්ථිරව මතුකොටගෙන පවත්වා ගැනීමට මේ කරුණු සතර අනුව ද සිත සකස්කර ගත යුතු ය. ඒ මෙසේ යි:-

  1. මම වෛර නැති වෙමි............
  2. මම තරහ නැති වෙමි.............
  3. මම දුක්පීඩා නැති වෙමි.........
  4. මම සුවපත් වෙමි............

මේ වාක්‍යයන් හෙමින් කියන්න. සිතන්න.

දෙවෙනි පියවර

මීළඟට ඔබ සලසාගත් මේ මෙත්මය, සැනැසිල්ල ඔබේ හිතවතාට ද දෙන්න. හිතවතකු තෝරා ගැනිමේ දී ඔබ පරිස්සම් වන්න. එසේ කීවේ මෛත්‍රියේ ලැබෙන රාගපැත්ත ගැන සලකාගෙනය. මෛත්‍රී භාවනාවට ඇතුළත සහ පිටත වශයෙන් සතුරෝ දෙන්නෙකි. ඇතුළත සතුරා නම් රාගය යි. පිටත සතුරෝ සතර දෙනෙකි. මුලින් සඳහන් වූයේ ඒ සතර දෙනා පිළිබඳවය. එබැවින් ඔබේ අති ප්‍රියයන් හැර ප්‍රිය මනාප සම්භාවනීය ගරු ස්ථානීයයකු[2] තෝරා ගෙන ඒ පින්වතා අරමුණට (සිතින්) ගෙන,

  1. මා මෙන් මාගේ මේ හිතවතා ද වෛර නැති වේවා!
  2. මා මෙන් මාගේ මේ හිතවතා ද තරහ නැති වේවා!
  3. මා මෙන් මාගේ මේ හිතවතා ද දුක්පීඩා නැති වේවා!
  4. මා මෙන් මාගේ මේ හිතවතා ද සුවපත් වේවා!

එකක් එකක් වෙන වෙන ම කියා ද සිතා ද භාවනාවේ යෙදෙන්න. එය සම්පූර්ණ වූ පසු හිතවතුන් කිහිපදෙනෙකුන් ද හිතට ගෙන මෙත් වඩන්න. අතිප්‍රියයන් ද ප්‍රියස්ථානයෙහි තබා මෙත් වඩන්න.

හිතවත් කමින් සිතට ගත් කීපදෙනාම අරමුණට ගෙන මෙත් වඩන්න. ඒ අරමුණේ සිත රඳවා ගෙන ටික වේලාවක් විසීමට පුරුදු වන්න. මේ පුහුණුවේ නිතර නිතර යෙදෙන්න. ඔබ සිතන කැමැති වේලාවක මෙහි යෙදීමට තරම් පුහුණුව දියුණුවට පමුණුවා ගැනීමට උත්සාහවත් වන්න. එසේ ම මේ පුහුණුව පිරිහෙන්නට නොදී රැකගන්න. නීවරණ පහෙන් වෙන් වී විසීමයි රැකගැනීම.

තුන්වෙනි පියවර

මීළඟට ඔබට කිරීමට තිබෙන්නේ ඉතා සැහැල්ලු වැඩ ටිකෙකි. එනම් මැදහත් හා වෛරී පුද්ගලයන් දෙකොටසකට ද වෙන වෙන ම මෙත් පැවැත්වීම යි. මෙහි දී මැදහත් පුද්ගලයාට මෙත් කිරීමේදී සිත උදාසීන වීමට ද ඉඩ තිබේ. එසේ වුවහොත් ඔබ මෙතෙක් පුරුදු කළ

මෛත්‍රී බලය යළිත් සිත් තුළ උපදවා ගෙන සිත දියුණුවට පත් කරගෙන පුද්ගලයා ද ප්‍රියත්ත්වයට පමුණුවා ගෙන මෙත් කරන්න. එසේ සිත් පැවැත්වීමට පුරුදුවීමෙන් මෙහි දී ඔබට ජයගත හැකි වනු ඇත. ප්‍රිය පුද්ගලයාට මෙන් ම මධ්‍යස්ථ වූ මේ පුද්ගලයාට ද මෙත් කිරීමට හොඳින් මෙත්සිත් පැවැත්වීමට ඔබ සමත් වනු ඇත. ප්‍රිය පුද්ගලයන් වැඩි දෙනෙකුන් සිතින් එකට සම්බන්ධ කරගෙන මෙත පැවැත් වූ ආකාරයෙන් ම මධ්‍යස්ථ පුද්ගලයන් කීපදෙනෙකුන් එකට එකතු කොට ගෙන මෙත් සිත් පැවැත්වීමට ඔබට පිළිවන් වනු ඇත.

මේ කොටසට පුහුණුව ලැබීමෙන් ඔබට ඔබ සිත් තුළ බලවත් ඡන්දයක් වැඩෙනු ඇත. එයින් නිසි ප්‍රයෝජන ගැනීමට මුල සිට මෛත්‍රිය අලුත්කර ගන්න. එයින් චිත්ත ශක්තිය වැඩෙයි. සිත කාර්‍ය්‍යක්ෂම වෙයි. චිත්තඉද්ධිපාදයට[3] ළං වෙයි. එයින් සතරවෙනි කොටස වූ වෛරි පුද්ගලයකු - අමනාප පුද්ගලයකු ඇතොත් ඔහු අරමුණු කොට මෙත් කරන්න. ක්‍රමයෙන් මෛත්‍රිය වඩ වඩා පවත්වාගෙන මෙතැනට පැමිණි හෙයින් ඔබේ අමනාප පුද්ගලයා හට ද මෙත් කිරීම ඔබට අපහසු නොවනු ඇත. එසේ නම් ඔබ මහා ජයග්‍රහණයක් මෛත්‍රිය සම්බන්ධව කළ සැටියට සිතාගත හැකි වෙයි.

යම්කිසි ආකාරයකින් තම අමනාප පුද්ගලයාගේ වැරදි මතුවීමෙන් ඔබ පවත්වාගෙන ආ මෛත්‍රිය බලය යටපත් කරගෙන ද්වේෂ හැඟීම් පහළ වන ලකුණු දැනුනහොත් වහාම ඒ පුද්ගලයා තුළ පවත්නා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියා ධාතු වශයෙන් වෙන්කොට සිතා බලා මේ ධාතුවලට ද්වේෂයක් නැති බව තේරුම් ගෙන සිත තුළ වැඩීගෙන ආ ද්වේෂය මර්දනය කර ගන්න. මෛත්‍රිය මතුකර ගන්න. ද්වේශයේ ආදීනවත් - වැරදි පැත්තත් ආනිසංස පැත්තත් සිතට තදින් ගෙන ඒ පුද්ගලයා ඇතුළු හැම අප්‍රිය අමනාප පුද්ගලයන්ම එක් අරමුණකට යොදා ගෙන මෙත් කරන්න. නැවත නැවත මෙත් කරන්න.

මෙසේ කිරීමේ යෙදුනු ඔබ දැන් සිතෙහි ප්‍රමාණවත් දියුණුවකට පත් වී ඉන්නා බව වැටැහෙනවා ඇත. එසේම ඔබ පුද්ගලයන් කීපදෙනෙකුන් එකට එකතු කොට සිතට ගන්නට හා අරමුණු වශයෙන් තබාගැනීමට ද සමත් බව තේරුම් ගෙන ඇත. මීළඟට ඔබට කිරීමට තිබෙන ක්‍රියාව ඉතාමත් සරලය. පහසුය. එනම්, මුලින් මෙත් කළ පුද්ගල කොටස් එකට ගෙන පිළිවෙළින් මෙත් කළ යුතුය.

ඒ මෙසේය :-

මම සුවපත් වෙම්වා.

මා හිතවත්හු ද සුවපත් වෙත්වා.

මා මැදහත්හු ද සුවපත් වෙත්වා.

මා අහිතවත්හු ද සුවපත් වෙත්වා.

මෙසේ මේ කොටස් සතරේ තම මෙත් සිත හැසිරවීම ඉතා බොහෝ වේලාවක් කරන්න. මේ සිත සිසෑරවීම කොපමණ වේලාවක් කළයුතුදැ යි ඔබ ප්‍රශ්න නගනවා ඇත.

මෙන්න එයට පිළිතුරු :- අසකු මණ්ඩලයෙහි හසුරුවන අසරුවකු ලෙසින් ඔබ මේ පුද්ගල මණ්ඩලයෙහි තමාගේ සිත හසුරුවන කල මුල දී පුද්ගල සීමාවනට සිත යට වී තිබූ බව ඔබ දන්නවා ඇත. පැහැදිලි ඇත. මෙසේ මෛත්‍රී සමාධියෙන් යුතු සිත දැන් දැන් ඒ ඒ කොටස් අරමුණු කරන විට පුද්ගල සීමා හැඟීම් ගෙවි ගෙවී යන හැටි ප්‍රකට වෙයි. වෛරී හැඟීම් නැමැති සීමාව දැන් ගෙවී ගොස් තිබේ. මධ්‍යස්ථ සීමා හැඟීම ද දැන් නැත. හිතවත් සීමාව ගෙවීයන සැටි පෙනේ. ආත්ම සීමාව අන්තිම දක්වා තිබේ.

තව ඉදිරියට මෙසේ සිත හසුරුවාලීමේ දී මේ කොටස් සතරේ ම සත්ත්ව සංඥාව[4] ප්‍රකට වෙන්නට පටන් ගනියි. සියලු සීමා එකට මුසු වෙයි. එකල ඒ සියලු සත්ත්වයන් එකට පිඬුකොට ගත් එසේ සමාධි සිතට “සබ්බෙ සත්තා” “සියලු සත්ත්වයෝ” යන අදහස පහළ වෙයි. දසදිසාවලට මෙත් පැතිරවීම ද කළ යුතුය. මේ අදහස් නැවැත නැවැත ඉබේ පහළ වෙයි.

  1. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
  2. සබ්බේ සත්තා සුඛිනො හොන්තු - සියලු සත්හු සුව ඇත්තෝ වෙත්වා!
  3. සබ්බේ සත්තා ඛෙමිනො හොන්තු - සියලු සත්හු නිර්භය වෙත්වා!
  4. සබ්බෙ තසා සත්තා සුඛිනො හොන්තු ඛෙමිනො හොන්තු - සියලු තැතිගන්නා සත්හු සුවපත්, බියනැති වෙත්වා!

සියලු සත්ත්වයන් එක රැසට එකපුඤ්ජයක්[5] වී ඔහුට පෙනෙයි. පැහැදිලිව පෙනෙන මේ සත්ත්ව නිමිත්ත ඉතා දීප්තිමත් ව ද ඔහුට පෙනෙන්නට පටන් ගනියි. සිතත් මේ සත්ත්ව නිමිත්තත් ඉතා කිට්ටු වෙමින් පවතියි. දැන් සිත මැනැවින් සමාධිමත් වී ඇත. මීට මුලැ දී ම නීවරණයන්ගේ පැලැඹීම නැවැතී තිබුණේ ය. මේ ළංවීමෙන් පැවැති සිතත්, සත්ත්ව නිමිත්තත් දෙක යම්කිසි ශාන්ත අවස්ථාවක දී එක්කාසු වෙයි. මේ ප්‍රථමධ්‍යානය ලැබීමයි.

සිව්වෙනි පියවර - වසීභාව පස දියුණුව

1-2. සමාපජ්ජන වසී හා වුට්ඨාන වසී

මේ සිදුවූයේ මහද්ගත අර්පණාව[6] ය. මෙහි දී ඔබ සුපරීක්ෂාකාරී විය යුතුය. මේ ලද තත්ත්වය ඉතා සැලැකිල්ලෙන් රැකගත යුතුය. විවේක ශාන්ත පරිසරයක හිඳගෙන, එසේ සත්ත්ව නිමිත්තට ඇතුළු වී ගත් සිත ඉක්මනින් පිටතට නිකුත් කරගත යුතුය. මුලදී මෙය මඳක් දුෂ්කර වුවත් නැවැත නැවැත සිත යෙදීමෙන් එය කරගතහැකි වනු ඇත. නැවැත සමාධිමත් නිමිත්තට ඇතුළු කරන්න. යළිත් පිටතට ගන්න. මෙය බොහෝ වාර ගණනක් කරන්න. පුරුද්ද වැඩිවෙන විට ඉතා පහසුවෙන් මෙය කළහැකි වෙයි. එය වසීභාවයයි. මෙහි සමාධිමත් සිත පටිභාග නිමිත්තට[7] ඇතුළු කිරීම සමාපජ්ජන යයි. එය ඉක්මනින් සිතූ කෙණෙහි ම කළ හැකිවීම වසීභාවයයි. මෙය සමාපජ්ජන වසියයි. නිමිත්තෙන් සමාධි සිත පිටතට ගැනීම - නිකුත් කිරීම වුට්ඨානයයි. එය සිතූ ඉක්මනින් කළ හැකිවීම වසීභාවයයි. මේ වුට්ඨාන වසියයි.

3. අධිට්ඨාන වසිය

සමාපජ්ජනයෙන් යම්කිසි කැමැති වේලාවක් තුළ සමාධි සිත එහි නවත්වා තබා ගැනීමේ පුහුණුව අධිට්ඨානවසිය යි. එය කිරිමේදී ධ්‍යානයට සමවැදී එයින් නැඟී මිනිත්තු දෙකක් හෝ තුනක් නියම කරගෙන “මෙපමණ මිනිත්තු ගණනකින් වුට්ඨානය වේවා”යි අධිට්ඨාන කොට සමාපජ්ජනය (සමවැදීම) කෙරෙයි. එහි නියමිත වේලාවට ඉබේම වුට්ඨානය සිදුවෙයි. කාලය ටික ටික වැඩිකිරීමෙන් මෙය දියුණුවට ගෙන යා යුතු වෙයි.

4-5. ආවජ්ජන පච්චවෙක්ඛණ වසිතාවෝ

මුලදී සමාපජ්ජන, වුට්ඨාන දෙක වැඩියෙන් දියුණු කළ යුතුය. ඒ දෙක හොඳ හැටි දියුණු වූ පසු අධිට්ඨානය කළ යුතුය. මේ වසීභාව තුන ම දියුණු නම් ආවර්ජන වසිය පටන් ගත යුතුය.

මෙහිදී සමාපත්තියට සමවැදී එයින් නැගී (වුට්ඨානයෙන් පසු) ධ්‍යානාඞ්ග සලකා බැලිය යුතුය. වුට්ඨානයෙන් පසු ධ්‍යාන චිත්ත යේ ලැබෙන විතක්ක, විචාර, පීති, සුඛ, එකග්ගතා[8] යන ධ්‍යානාඞ්ග ප්‍රකට වී පැනෙති. එය බොහෝ වාර ගණනක් මුලසිට අගටත් අගසිට මුලටත් සලකා බැලීම කළ යුතු ය. මෙහි පුහුණුව ආවජ්ජන වසියයි. එයින් සිදුවෙන ක්‍රියාවන් ද සලකා බැලීම පච්චවෙක්ඛණයයි. මේ දෙක්හි වසීභාව සැලැසීමෙන් ධ්‍යානසිතේ ලැබෙන ධ්‍යානාඞ්ගයන්ගේ තත්ත්වය පහැදිලි වෙයි.

ද්විතීයා දී ධ්‍යානයෝ

ප්‍රථම ධ්‍යානය පිළිබඳ වසීභාව පස සපිරෙන විට විතර්කයේ හෝ විතර්ක විචාර දෙකේම හෝ ආදීනව සිතට එයි. ප්‍රථම ධ්‍යාන නිකාන්තිය[9] අඩු වෙයි. එකළ යෝගාවචරයා ආදීනව වැටහුණ අංග නැති ඊළඟ අංගයන් ගෙන් යුතු ද්විතීයාදී ධ්‍යානයෝ ලැබෙත්වා යි, අධිට්ඨාන කර පටිභාග නිමිත්තට සිත යොදයි. පෙර පරිදි ධ්‍යානයෝ ලැබෙති.

විදර්ශනා භාවනාවේ යෙදෙන්නවුන් හට මේ ක්‍රමයෙන් හිතේ සමාධිය පිහිට කරගෙන සංස්කාරයන් සම්මර්ශනය කිරීම පහසු වෙයි.

  1. ඒකාන්තයෙන්

  2. ගුරු තන්හි සිටින්නකු

  3. සිතෙහි සමෘද්ධිමත් භාවයට උපකාරක ධර්‍මය

  4. ‘සත්වයා’ කියන හැඟීම

  5. එක පිඬක් වී

  6. රූප, අරූප ධ්‍යාන

  7. සමථ භාවනාවේ උද්ග්‍රහ අවස්ථාවෙන් පසුව ලැබෙන සමාධි නිමිත්ත

  8. එකඟ බව

  9. ඇල්ම