මේ බුද්ධානුස්සති භාවනාවයි. මෙය කලක් පුහුණු විය යුතු ය. ඒ සඳහා නවගුණ පාඨයේ සඳහන් ගුණයන් මැනවින් තේරුම් කරගත යුතුය. ඒ මෙසේ ය:
- ඒ මාගේ බුදුපියාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් හැම ආකාරයෙන් ඉවත් වූ හෙයින් ද, දිව්‍ය බ්‍රහ්මාදීන් විසින් කරනු ලබන ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු හෙයින් ද, “අරහං” නම් වන සේක.
- ඒ මාගේ බුදුපියාණන් වහන්සේ සියලු ධර්මයන් පිළිබඳවැ ස්වලක්ෂණ වශයෙන්[1] දතයුතුතාක් දැන සම්පූර්ණ කළ හෙයින් ඥාත පරිඥාව පුරා සිටි සේක. සාමාන්‍ය ලක්ෂණ වශයෙන් දතයුතුතාක් දැන සම්පූර්ණ කළ හෙයින් තීරණ පරිඥාව පුරා සිටි සේක. ප්‍රහීන කළයුතුතාක් ක්ලේශ හා ක්ලේශවාසනා[2] දැන ප්‍රහාණය සම්පූර්ණ කළ හෙයින් ප්‍රහාණ පරිඥාව[3] පුරාසිටිසේක. ප්‍රත්‍යක්ෂ කළයුතුතාක් ධර්ම ප්‍රත්‍යක්ෂ කොට සම්පූර්ණ කළ හෙයින් සාක්ෂාත් ක්‍රියා පරිඥාව[4] පුරා සිටි සේක. භාවනාවෙන් වැඩිය යුතු තාක් ධර්මයන් භාවනාවෙන් වඩා සම්පූර්ණ කළ හෙයින් භාවනා පරිඥාව[5] පුරා සිටිසේක. එහෙයින් “සම්මාසම්බුද්ධ” නම් වන සේක.
- ඒ මාගේ බුදුපියාණන් වහන්සේ විදර්ශනා ඥානයන් අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. මනෝමය සෘද්ධිය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. සෘද්ධිප්‍රභේද ඥානයන් අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. දිව්‍ය ශ්‍රොත්‍රඥානය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. පරචිත්ත විජානනඥානය අසමසමවැ සම්පූර්ණ කර සිටි සේක. පුර්වේනිවාසානුස්මෘතිඥානය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. ආශ්‍රවක්‍ෂයකරඥානය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. දිව්‍ය චක්‍ෂුඥානය අසමසමවැ සම්පූර්ණ කර සිටිසේක. මෙසේ අටවැදෑරුම් විද්‍යාවන්ගෙන් අසමසමවැ සම්පූර්ණ කර සිටි සේක. එසේමැ සද්ධාය, හිරිය, ඔත්තප්පය, බහුස්සුතභාවය, විරියය, සතිය, පඤ්ඤාව, පටිප්පස්සද්ධිපාරිසුද්ධි සීලය, ඉන්‍ද්‍රිය සංවරය, භෝජනෙ මත්තඤ්ඤුතාව, ජාගරියානු යෝගය, රූපාවචර ධ්‍යානයෝය. යන මේ පසළොස් චරණ ධර්මයෙන් ද අසමසමවැ සම්පූර්ණ වූ සේක. මෙසේ අෂ්ට විද්‍යායෙන් ද පසළොස් චරණ ධර්මයෙන් ද මැනැවින් සම්පූර්ණ හෙයින් “විජ්ජාචරණසම්පන්න” නම් වන සේක.
- ඒ මාගේ බුදුපියාණන් වහන්සේ ශෝභන වූ වචන ඇති හෙයින් ද, ශෝභන වූ ගමන් ඇති හෙයින් ද, ශෝභන වූ ශරීරයක් ඇති හෙයින් ද, අතීතයෙහි ද වර්තමානයෙහි ද පරිශුද්ධ ප්‍රතිපත්ති ඇති හෙයින් ද “සුගත” නම් වන සේක.
- ඒ මාගේ බුදුපියාණන් වහන්සේ සංස්කාර ලෝකය ද, සත්ත්‍ව ලෝකය ද, අවකාශලෝකය ද, මැනැවින් දැන වදාළ හෙයන් “ලෝකවිදූ” නම් වන සේක.
- ඒ මාගේ බුදුපියාණන් වහන්සේ අනුන් විසින් හික්මවිය නොහෙන දිව්‍ය බ්‍රහ්ම යක්‍ෂ නරනාගාදීන් මැනැවින් හික්මවා දමනය කොට තමන්වහන්සේගේ සසුන්දහම්හි යොදවා ලූ හෙයින් “අනුත්තර පුරිසදම්මසාරථි” නම් වන සේක.
- දෙව්මිනිසුන් හට සිල් පිරීමේ පටන් අමාමහ නිවන් සුවය තෙක් හැම පිළිවෙත් මගක්ම මැනැවින් කියාදීමෙන් නියම අනුශාසනායෙහි යෙදී වදාළහෙයින් දෙවිමිනිසුන් හට “ශෘස්තෘෘ” නම් වන සේක.
- චතුරාර්‍ය්‍යසත්‍ය ධර්මයන් තමන්වහන්සේ ද පරෝපදේශයක් නැතිව මැනැවින් අවබෝධකොට ගෙන අනුන් හට ද අවබෝධ කරවූ හෙයින් “බුද්ධ” නම් වන සේක.
- ඒ මාගේ බුදුපියාණන් වහන්සේ ස්වාසනා සකලක්ලේශයන් බිඳ දැමූ හෙයින් ද, උතුම් ලොවී ලොව්තුරා ගුණ සමූහය භජනය කළහෙයින් ද, භාග්‍යධර්මයන්ගෙන් සමන්විත වූ හෙයින්ද “භාග්‍යවත්” නම් වනසේක.
මේ භාවනාව කරන සැටි මෙසේ යි:-
මෙහි සඳහන් වන්නේ ගුණ නවයෙකි. එකක්පාසා කාවදින තෙක් තේරුම දියුණු කර ගත යුතුය. එසේකොට විවේකස්ථානයකට වී පරියඞ්කයෙන් හිඳගෙන සුළු වේලාවක් නිශ්ශබ්දව කල්ගෙවිය යුතුය. ඊළගට තමා සමාදන්ව ගත් ශීලයේ ශික්ෂාපදයන් තමාතුළ පිරිසිදුවැ නො කැඩී නොබිදී නොකෙලෙසී පවත්නා හැටි මුල සිට අගටත්, අග සිට මුලටත් මෙනෙහි කරගෙන යායුතුය. මෙසේ තමා ගේ සීලය හෙමින් සැලැකිල්ලෙන් මෙනෙහි කරන්නාහට සිත්හි ප්‍රීතියක් පහළවී ක්‍රමයෙන් වැඩි වැඩී යන සැටි දැනෙන්නට පටන් ගනියි. ඒ ප්‍රීතිය නවත්වාගෙන, මේ පුණ්‍යානුභාවයෙන් “මට සියලු ආශ්‍රවයන්ගෙන් මිදී නිවන් සුවය අත්පත්කර ගැනීමට ශක්තිය ලැබේවා” යි අධිෂ්ඨානය තබා ගෙන පළමුවන බුදුගුණයට සිත යොමුකරන්න. එය ටික වේලාවක් මෙනෙහි කොට දෙවෙනි බුදුගුණයට සිත යොමුකරන්න. මෙසේ ගුණ නවය ම අවසන් වනතුරු මෙනෙහි කොට නැවැත නැවතත් මෙසේ මෙනෙහි කරන්න. ඒ ක්‍රමය සිතට වැදීගිය පසු අගසිට මුලටත් මුලසිට අගටත් මෙනෙහි කරන්න. කලක් මේ මනසිකාරය පවත්වන කල්හි ඇතැම් ගුණ හොඳින් ප්‍රකට ව වැටහෙන්නට පටන්ගන්නවා ඇත. ඇතැම් ගුණයන් ප්‍රකට නොවී යනුද ඇත. ප්‍රකටවැ වැටහෙන ගුණයන් පමණක් සිතටගෙන මනසිකාරය පවත්වන්න. අන්තිමයේ දී ගුණ කීපයක් හෝ හොඳින් වැටහීගියේ නම් එහි සිතයොදා මනසිකාරය පවත්වන්න. මෙසේ මනසිකාරය පවත්වන කල්හි උතුරායන තරමට ප්‍රීතිය මතුවෙමින් සිතට සැනසුම් සලසනවා ඇත. බලවත් සැදැහැ මතුවෙමින් සිත් සනසනු ඇත. සිත තැන්පත් කරමින් මැ සිතට සැනැසුම් සැලැසෙනු ඇත. නීවරණයන්ගෙන් පිරිසුදු වූ සිත නිසාද සැනැසුම් සැලැසෙනු ඇත. අතීත දේවලින් සිත ඉවත් වී පවතිනු ඇත. අනාගතයට නොදුවනවා ඇත. නොවිසිරී තැන්පත් සිතක් පවතිනු ඇත. මේ මෙම බුද්ධානුස්සති භාවනාවේ ප්‍රයෝජනයයි. විදර්ශනා වඩන යෝගාවචරයා මේ භාවනාව කල්ඇතිව පුරුදුකොට ගෙන විදර්ශනාවට ප්‍රථමයෙන් මෙහි යෙදීමට පුරුදුවිය යුතුය. තවද විදර්ශනාව කරගෙන යන අවස්ථාවේ කමටහන එපාවීම් ආදී වශයෙන් සිතෙහි දුබලකමක් පහළ වුවහොත් මේ විදියේ පුරුදු කරගත් භාවනා අරමුණ සිතට මතු කරගෙන එහි ටික වේලාවක් මනසිකාරය පැවැත්විය යුතුය. ඇසිල්ලෙකින් සිතෙහි වූ දුබලකම් මගහැරී ගොස් නියම තත්ත්‍වයට පත්වෙනු ඇත. මෙසේ මේ භාවනාව චිත්තසම්පහංසනයට[6] උපකාර වෙයි.
බුදුගුණ මෙනෙහි කිරීමට තවත් ක්‍රමයක්
- සත්‍ථාරං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- සුගතං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- සම්මාසම්බුද්ධං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- සන්තං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- සමෙතාරං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- දන්තං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- දමෙතාරං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- පරිනිබ්බුතං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- පරිනිබ්බාපෙතාරං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං,
- සම්පන්න විජ්ජාචරණං ච වතාහං පස්සෙය්‍යං, භගවන්තමෙව පස්සෙය්‍යං.
සත්‍ථා මෙ භන්තෙ භගවා සාවකො හමස්මි.
සත්‍ථා මෙ භන්තෙ භගවා සාවකො හමස්මි.
සත්‍ථා මෙ භන්තෙ භගවා සාවකො හමස්මි.
මෙහි තේරුම:- මම ශාස්තෘවරයකු දක්නෙම් නම්, මේ භාග්‍යවතුන් වහන්සේ මැ මගේ ශාස්තෘවශයෙන් දක්නෙමි. මම සුගතයන් වහන්සේ කෙනෙකුන් දක්නෙම් නම්, මේ භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. මම සම්මාසම්බුදු කෙනෙකුන් දක්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. මම සපුරා සන්සුන් ගුණ ඇත්තකු දක්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. මම සන්සුන් ගුණයට උපෙදෙස් දෙන්නකු දක්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. සමාධිපාක්ෂිකදමගුණයෙන් සපුරා යුක්ත වූ කෙනෙකුන් දක්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. මම සමාධිපාක්ෂික දමගුණයන් සඳහා සපුරා උපදෙස් දෙන කෙනෙකුන් දක්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. මම කෙලෙස් පිරිනිවනින් පිරිනිවන් පෑ උතුමකු දන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. මම කෙලෙස් පිරිනිවනින් පිරිනිවන් පෑමට සපුරා උපදෙස් දෙන උතුමකු දක්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. මම අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් සම්පූර්ණ උතුමකු දක්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ මැ දක්නෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘෘන් වහන්සේ වනසේක. මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකවෙමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ ගෘස්තෘෘන් වහන්සේ වනසේක. මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශෘස්තෲන් වහන්සේ වනසේක. මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වෙමි.
මෙසේ තේරුමත් සිතට ගනිමින් කීප විටක් කියා තුන්වරක් නමස්කාර කොට යළි මෙසේද ඒ අනන්ත බුද්ධ ගුණයන් කෙරෙහි සිත යොදනු:-
- ඒ මාගේ ශාස්තෘෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමතිස් පෙරුම් දම් පිරීමෙන් දියුණුවට පත් අනන්ත පුණ්‍යයෙන් යුක්ත වූ සේක. ඒ අනන්තපුණ්‍යසම්භාරයෙන් සැදී ගත් රූපකාය සම්පත්තියෙකින් සමන්විත වූ සේක. ඒ මාගේ ශෘස්තෘන් වහන්සේට මම නමස්කාරය කරමි. උන්වහන්සේ මට පිහිට යි. සරණයි.
- ඒ මාගේ ශාස්තෘෘවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දස දහසක් සක්වල පිහිටි සියලු සචේතන අචේතන ධර්මයන් හේතුඵල වශයෙන් තේරුම් ගෙන අවබෝධ කරගත් අනන්ත ඥානයකින් සමන්විත වූ සේක. ඒ අනන්ත ඥානයෙන් සමන්විත වූ ඒ මාගේ ශාස්තෘන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිට යි, සරණයි.
- ඒ මාගේ ශෘස්තෘෘ වූ බුදුරජාණන් වහන්සේ සම්මාසම්බෝධිය ලැබැගැනීම සඳහා සම්පූර්ණකළා වූ සීලාදි වශයෙන් දියුණුවට පත්කොට ගත් අනන්ත ගුණසමුදායෙන් සමන්විත වූසේක. ඒ අනන්ත ගුණ ඇති මාගේ ශෘස්තෲන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිටයි. සරණයි.
- ඒ මාගේ ශෘස්තෘෘ වූ බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය නාග සුපර්ණාදීන්ගේ සියලු තේජස මැඩගෙන මතුවන්නා වූ අනන්ත තේජසකින් සමන්විත වූ සේක. ඒ අනන්ත තේජෝබල ඇති මාගේ ශාස්තෘෘන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිටයි, සරණයි.
- ඒ මාගේ ශාස්තෲවූ බුදුරජාණන් වහන්සේ හැම සත්ත්වයන්ගේ හැම සෘද්ධියක්ම අභිභවනය කොට[7] සිටි අනන්ත සෘද්ධියකින් සමන්විතවූ සේක. ඒ අනන්තසෘද්ධියක් ඇති මාගේ ශෘස්තෲන් වහන්සේට මම නමස්කාරය කරමි. උන්වහන්සේ මට පිහිටයි, සරණයි.
- ඒ මාගේ ශෘස්තෘෘ වූ බුදුරජාණන් වහන්සේ සියලු සචේතන අචේතන ජුතීන්[8] අභිභවනය කරමින් පැවැති අනන්තවූ ජුතියෙකින් සමන්විත වූ සේක. ඒ අනන්ත වූ ජුතියක් ඇති මාගේ ශෘස්තෲන් වහන්සේට මම නමස්කාර කරමි. උන්වහන්සේ මට පිහිටයි, සරණයි.
මෙයද හොඳට සිත තැන්පත් කොට ගෙන කිහිපවරක් කියනු. නැවත නැවත මෙනෙහි කරනු. සිත කමටහනෙහි නොරඳන අවස්ථාවල දී මෙය මැනැවින් පිහිට වෙයි.