එපාවීම

භාවනා මනාසිකාරයෙහි යෙදෙන්නාහට භාවනා කිරීමේ ඕනෑකම (කුසලච්ඡන්දය) හැම විටමැ ඒකාකාරයෙන් පවතින්නේ නැත. ඇතැම්විට ඕනෑකම තිබේ. ඇතැම් විටෙක ඒ ඕනෑකම මැකීගෙන ගොස් භාවනා අරමුණ සිතට නොඅල්ලන ස්වභාවයකට පත්වෙයි. මෙය කීප ආකරයෙකින් පහළ වීමට ඉඩ තිබේ. ඡන්දාදී සෘද්ධිපාද අඩුකරමින් ද මේ පාඩුව සිදුවෙයි. ඇතැම්විට භාවනාව දියුණුවට පත්වීමෙන් පසු ද මෙය සිදුවීම ඉඩ තිබේ. යෝගාවචරයාගේ චිත්තාචාරය පිළිබඳ හොඳ තේරුමක් ඇතිව ගෙන උපදෙස් දෙන ආචාර්යවරයාට මෙය තෝරාගැනීම එතරම් අපහසු නොවේ. එයින් දියුණුවේදී එපාවීම පළමුවෙන් කීම පහසු ය. කෙටි හෙයිනි.

විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරයා පළමුවෙන් යම්කිසි නාමරූප සංඛාර කොටසක සිත් තබාගෙන, මනසිකාරය පැවැත්වීමට පටන් ගනියි. නොකඩවා එහි යෙදීමේ දී මුලින් පැවැති දුබලකම් මගහැරී ගොස් සිතේ පැවැත්ම හොඳ අතට හැරෙයි. එයින් එහි පුහුණුව සැලැසෙයි. මේ පුහුණුව සැලැසීමෙන් පසු මෙනෙහි කිරීම පහසු වෙයි. පළමුගත්ත අරමුණේ නොනැවතී, එය පැතිරයාමෙන් සෙසු සංස්කාර කොටස් කෙරෙහි ද සල්ලක්ඛන චිත්තපරම්පරාව[1] යෙදෙයි. නාමරූප වශයෙන් වැටහීමත්, ඔවුන් ප්‍රත්‍යය සහිතව වැටහීමත් මේ මනසිකාරයට අසුවෙයි. මෙයින් ඥාත පරිඥාව[2] සපිරීමෙන් වැඩීගොස්, සම්මසන ඥානයට බැස මෙනෙහි කිරීමේ දී, සියලු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් වැටහෙන්නට පටන් ගනිති. ඔවුන් උපදනා සැටිත්, බිඳෙන සැටිත්, එක විදියට නො පවත්නා සැටිත් වැටහෙයි. මෙසේ පෙරැළීම මැ දුක් වශයෙන් සලකන්නට සිදුවෙයි. මේ සංස්කාර සියල්ල දුකට බිම්වන සැටි පැහැදිලිවැ වැටහෙයි. මෙයින් මැ අනාත්ම ලක්ෂණය ද පැහැදිලි ව වැටහෙන්නට පටන් ගනියි. මෙසේ තීරණ පරිඥාව[3] පිරෙයි.

මෙය දියුණුවට මෙනෙහි කිරීමේ දී, වැටහෙනතාක් සංස්කාරයන් බිඳීම් රැසක් සේ දැනෙයි. මෙය ද තවත් ඔබ්බට මෙනෙහි කරගෙන යනවිට බිදීම් රැස අරමුණු කරන හැම වාරයක දී මැ බිය සිත් පහළ වෙයි. මේවා මෙනෙහි නො කර හැරියහොත් බිය සිත්මැ වැඩි වැඩියෙන් පහළ වෙයි. මෙය දියුණුවට පත්වීමෙන් ආදීනව රාසියක් සේ ද ඒවා තබාගෙන සිටීම මහා බරක්සේ ද වැටහෙයි. මේ අවස්ථාවේ දී මැනැවින් මැ මෙනෙහි කළ යෝගාවචරයා ද නොයෙක් විදියේ විකාර දේ කරන්නට පටන් ගනියි. එක විදියකට එක ඉරියව්වක වැඩි වේලාවක් කල්ගෙවීමට

නො රිසි වෙයි. හැම දෙයක් මැ සකස් කිරීමට පටන් ගනියි. ස්ථානය ශුද්ධ පවිත්‍ර කිරීමට පටන් ගනියි. මෙය දික්වීමෙන් ගුරුවරයාත්, සෙනසුනත්, ඇසුරු කරන්නනුත් එපා වී ස්ථානයෙන් පිට වී නික්ම යාමට ද සුදානම් වෙයි. උපදෙස් දෙන ගුරුවරයා මෙහි දී නුවණින් ක්‍රියා කළ යුතු ය. වළක්වාලීමෙන් සිත් රිදවීම ද හොඳ නැත. සම්පූර්ණයෙන් එක වරට වළක්වාලීමෙන් වන්නේ අනතුරෙකි. ඔහුගේ අදහසට ඉඩ දීමෙන් සිදුවන්නේ ද එබන්දෙකි. එහෙයින් උපායෙන් නවත්වා ගෙන භාවනා මනසිකාරයෙහි යොදාලිය යුතුය. නො නවත්වා භාවනා මනසිකාරයෙහි යෙදෙන්නා හට කීප දිනෙකින් හෝ පැය කීපයෙකින් හෝ මේ මානසික තත්ත්වය සංසිඳී ගොස් යථා තත්ත්වයට පත්වෙයි.

  1. මෙනෙහි කිරීමේ (සැලකීමේ) සිත් පිළිවෙල

  2. ධර්‍මයන්ගේ පෞද්ගලික ලක්‍ෂණය දැනගැනීම

  3. ධර්‍මයන්ගේ සාමාන්‍ය ලක්‍ෂණය දැනගැනීම