මේ තාක් මෙහි දක්වන ලද්දේ විදර්ශනා භාවනාව පිළිබඳ කථා මාර්ගයකි. එයම මාර්ග භාවනාව යයි ද කිය යුතු ය. නිවන් පසක්කර ගන්නාට ලෝකෝත්තර මාර්ග ඥානයන් ලැබෙන හෙයිනි. මේ මාර්ග භාවනාවට විශේෂයෙන් උපකාර වනුයේ ශමථ භාවනාවයි. එහෙයින් ශමථ භාවනාව පිළිබඳ කෙටි විස්තරයක් දැක්වීමට බලාපොරොත්තු වනු ලැබේ.
භාවනාවක යෙදීමට සිතෙහි ඕනෑකම පහළ වන්නේ සසර පිළිබඳ භය ජනක ස්වභාවය මැනවින් සිතට වැටහී කෙලෙසුන්ගේ ආදීනවයන් තේරුම්ගත් කෙනෙකුන් හටය. කලණ මිතුරු ඇසුරෙකින් හෝ බණපොත් බැලීමෙන් හෝ තේරුම්කර ගැනීමෙන් හෝ පුරුදු පරිදි යෝනිසෝ මනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) ක යෙදීමෙන් හෝ මේ අදහස සිත්හි තහවුරු කර ගත්තකුට ඇතුළත පිටත කොතරම් වැඩ තිබේ යයි කියාවත්, සනීප නැතිකම් කියාවත් නැවතීමෙක් සිදු නොවේ. භාවනාවේ යෙදී ඉදිරියට මැ යාමට ඔහුට අප්‍රතිහත ධෛර්යයෙක් පහළ වෙයි.
මෙබඳු පුද්ගලයනට අවවාද අනුශාසනා ඕනෑකරන්නේ ඉතා සුළු වශයෙනි. එය ද භාවනාව ගැන දතයුතු උපදෙස්ටික පමණ ය. මෙසේ නො වන අය භාවනාවට සුදුසු නැතැයි නොකිය යුතුය. බුදුරජාණන් වහන්සේ ළඟට පවා පැමිණ, ක්‍රියා පරිහානිය හේතු කොට ගෙන, ලැබෙන්නට තිබූ මග-පල නිවන් සුවය මග හැරී ගොස් තිබෙන සැටි ඇතරු පුත්, ‛පෙස්ස’ නම් තැනැත්තාගෙන් තේරුම් ගත හැකිය.[1] එහෙයින් භාවනා උපදෙස් දෙන්නා විසින් තමාට හමුවෙන හැම පුද්ගලයාමැ මෙයට යොමුකර ගැනීමට තම උත්සාහය යොදාලිය යුතු වෙයි. එහෙත් එකවරට මැ භාවනාවට බස්සන්නට මහන්සි ගත යුතු නොවේ. ඒ අවස්ථාවට යන්තම්වත් සුදුස්සකු වන්නට මූලික අවවාද ටිකක් කලින්මැ දිය යුතුය. මෙහි මීට පළමුවෙන් ප්‍රකාශ වූ අදහස් එයට බොහෝ සින් උපකාර වන්නට ඉඩ තිබේ.
මේ භාවනාව නම් සිත හදාගැනීමේ, සිත දියුණුවට පත්කර ගැනීමේ වැඩපිළිවෙළ පදනම් කොට ගෙන පවත්නා මනෝමය[2] ක්‍රියා පරිපාටියෙකි. එය ප්‍රධාන වශයෙන් සිත මුල්කොට ගෙන පැවතුනත් කයේ උසස් උපකාරය ද එයට ආවශ්‍යක බව කිය යුතු ය. එහෙයින්මැ මූලික පුහුණුවේ දී කය තැන්පත්කර ගැනීම බරපතල වැඩක් ලෙස භාවනාවේ යෙදීමේ දී ඔබට වැටහෙන්නට ඉඩ තිබේ. කෙනෙකුන්ගේ ධර්මමය කථාවකට සවන් යොදාලීමෙන් හෝ හොඳ බණපොතක් කියවීමෙන් හෝ ධර්මමය කරුණු වටහා ගත හැකිවන බව ඔබ දන්නවා ඇත. එහෙත් එය හිතේ තහවුරු වන්නේ නැත. ඒ ධර්ම කොටස්වලට ප්‍රතිපක්‍ෂවැ පැවැති කෙලෙස් අදහස් අයින්කොට හෝ කඩා බිඳ දමා හෝ ඒ හොඳ අදහස් සිතෙහි පැළපදියම් නොවූ හෙයිනි. භාවනාවක් නිසිලෙස සිත්සතන්හි ක්‍රියාකරවීමේ දී ඒ අනුව සිතට ලැබෙන පුහුණුව එයට වැඩියෙන් ශක්තිමත් වන්නේ නොදැනීම් රැසක් මුල්කොට ගෙන පැවැති කෙලෙස් ගොමුව බලයෙන් ඉවතට තල්ලු වී යන හෙයින් බව සලකන්න. මෙසේ භාවනා වැඩපිළිවෙළ ආධ්‍යාත්මික බරපතල ක්‍රියා රාශියක් වනහෙයින් එය පටන් ගැනීමට මත්තෙන් සාරවත් පදනමක් සාදාගත යුතු ය. භාවනා පූර්වකෘත්‍යයන් මැනැවින් පුහුණුකර ගැනීමත් භාවනා අභිනිවේශය[3] තේරුම් කරගෙන සිටීමත් භාවනාව පවත්වාගෙන යන සැටි තේරුම් කොටගෙන සිටීමත් මෙයට අත්‍යාවශ්‍යක බව කිය යුතුව ඇත.