අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූප විභාගය

නිෂ්පන්න රූප, අනිෂ්පන්න රූප යයි රූපයෝ විවිධ වේ. එයින් නිෂ්පන්න රූපයෝ නම් කර්මාදී ප්‍රත්‍යයන් ගෙන් නිපදවන ලද රූපයෝ යි. කර්මාදී ප්‍රත්‍යයන් ගෙන් නූපදවන ලද රූපයෝ අනිෂ්පන්න රූපයෝයි. නිෂ්පන්න රූපයෝ අටළොසකි. අනිෂ්පන්න රූපයෝ දස දෙනෙකි. නිෂ්පන්න රූපයන්ට ස්වභාව රූප යයි ද, සලක්‍ෂණ රූප යයි ද, රූපරූප යයි ද, සම්මර්ෂන රූප යයි ද, ව්‍යවහාර කරනු ලැබේ.

නිෂ්පන්න රූප 18

මහා භුත රූප සතර 4

පඨවි ධාතුව

ආපො ධාතුව

තෙජො ධාතුව

වායො ධාතුව

ප්‍රසාද රූප පස 5

චක්‍ෂු ප්‍රසාද රූපය

සොත ප්‍රසාද රූපය

ඝාණ ප්‍රසාද රූපය

ජිව්හා ප්‍රසාද රූපය

කාය ප්‍රසාද රූපය

අනිෂ්පන්න රූප 10

පරිච්ඡේද රූපය

(ආකාශ ධාතුව) 1

විඤ්ඤත්ති රූප දෙක 2

කාය විඤ්ඤත්ති රූපය

වාග් විඤ්ඤත්ති රූපය

විකාර රූප තුන 3

ලහුතා රූපය

මුදුතා රූපය

කම්මඤ්ඤතා රූපය

ගොචර රූප සතර 4

රූපය (වර්ණය)

ශබ්ද රූපය

ගන්ධ රූපය

රස රූපය

භාව රූප දෙක 2

ස්ත්‍රීභාව රූපය

පුරුෂ භාව රූපය

හදය වස්තු රූපය 1

ජීවිතෙන්‍ද්‍රිය රූපය 1

කබලිකාරාභාර රූපය 1

ලක්‍ෂණ රූප සතර 4

උපචය රූපය

සන්තති රූපය

ජරතා රූපය

අතිච්චතා රූපය

සියළුම රූපයෝ ලක්‍ෂණ අටෙකින් එකවිධ වේ.

එනම්.

  1. අහේතුක
  2. සප්පච්චය
  3. සාසව
  4. සඞ්ඛත
  5. ලෞකික
  6. කාමාවචර
  7. අනාරම්මණ
  8. අප්පහාතබ්බ

1. අහේතුක බව. නාම ධර්මයන් වූ චිත්ත චෛතසික ධර්මයන් අරමුණෙහි ස්ථිරව පිහිටීමට උපකාරවන හේතු ධර්ම සයකි. එනම්.

  1. ලොභ
  2. දොෂ
  3. මොහ
  4. අලොභ
  5. අදොෂ
  6. අමොහ

අටවිසි රූපයන්හි මේ හේතු ධර්ම එකක්වත් යෙදී නැති බැවින් සියළුම රූපයෝ අහේතුක බව කියන ලදී.

  1. සප්පච්චය බව. රූපයන්හි සම්ප්‍රයුක්ත භේතු ධර්‍මයන් නැතත්, ඔව්හු කම්ම, චිත්ත, සෘතු, ආහාර යන සතර ප්‍රත්‍යයන් අතුරෙන් යම්කිසි ප්‍රත්‍යයකින් හටගන්නාහු වෙත්. එහෙයින් රූපයෝ ප්‍රත්‍ය සහිත බැවින් සප්පච්චය යයි කියනු ලැබේ.
  2. සාසව බව. කාමාදී ක්ලේශයන්ට ආශ්‍රවයෝ යයි කියති රූප ධර්‍ම, තමාම අරභයා උපන් ආශ්‍රව සහිත බැවින් සාසව යයි කියන ලදී.
  3. සඞ්ඛත බව. ප්‍රත්‍යයෙන් නිපදවනු ලබන සියල්ල සඞ්ඛතය. නිර්‍වාණ ධර්‍මය පමණක් ප්‍රත්‍යයෙන් හටගත් ධර්‍මයක් නොවන බැවින් අසඞ්ඛතය. අනිකුත් සියලුම රූපාරූප ධර්‍ම ප්‍රත්‍යයෙන්ම හටගන්නා බැවින් සඞ්ඛතය. එහෙයින් රූපයෝ සඞ්ඛත ධර්‍ම බව දතයුතුයි.
  4. ලෞකික බව. නවලෝකෝත්තර ධර්‍ම හැර සෙසු සියල්ල උපාදානස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකයෙහි ඇතුළත්ය. රූප ධර්‍මයෝද උපාදානස්කන්‍ධයක් වන බැවින් ලෞකිකය.
  5. කාමාවචර බව. කාම භූමියට අයිති, කාමයෙහි ඇතුළත්වූ කාමතෘෂ්ණාවට උපකාරවන ධර්‍ම සියල්ලම කාමාවචර ධර්‍මයෝයි. රූපයද කාම ධර්‍මයක් වන බැවින් කාමාවචරය.
  6. අනාරම්මණ බව. චිත්ත චෛතසික සඞ්ඛ්‍යාත නාම ධර්‍මයෝ අරමුණක් එල්බගෙනම පහළවන ධර්‍මයෝ යි. නමුත් රූප ධර්‍ම එවැනි අරමුණු නොගන්නා බැවින් අනාරම්මණය.
  7. අප්පහාතබ්බ බව. තදඞ්ග, විෂ්කම්භණ සමුච්ඡේදාදි වශයෙන් ප්‍රහීණ කළයුතු ධර්‍මයෝ පහාතබ්බ ධර්‍මයෝ යි. එනම්: ක්ලේශයෝ යි. රූපයෝ පහකළයුතු ධර්‍ම නොවෙති. පහකළ යුත්තේ රූපයන් පිළිබඳවූ යම් ඡන්‍දයෙක්, රාගයෙක්, නන්‍දියෙක්, තෘෂ්ණාවෙක් වේ නම් එයයි. රූප තණ්හාව නැති කළ කල්හි රූපයද ප්‍රහීණවූයේ වෙයි.

තවද, රූපයෝ නොයෙක් ආකාරයෙන් විවිධ වේ.

  1. අජ්ඣත්තික රූප හා බාහිර රූප
  2. වස්තු රූප හා අවස්තු රූප
  3. චාර රූප හා අචාර රූප
  4. ඉන්‍ද්‍රිය රූප හා අනින්‍ද්‍රිය රූප
  5. ඔදාරික රූප හා සූක්‍ෂම රූප
  6. උපාදින්න රූප හා අනුපාදින්න රූප
  7. සනිදස්සන රූප හා අනිදස්සන රූප
  8. ගොචරග්ගාහික රූප හා අගොචරග්ගාහික රූප
  9. අවිනිබ්භොග රූප හා විනිබ්භොග රූප