අභිධර්මාර්ථ ප්‍රදීපිකා

8. ගෝචරග්ගාහික රූප සහ අගෝචරග්ගාහික රූප

ගොදුරු ගන්නා රූපයෝ ගෝචරග්ගාහික රූපයෝයි. ගෝචරග්ගාහික රූපයෝ පස් දෙනෙකි. එනම්:

  1. චක්ඛු ප්‍රසාද රූපය
  2. සොත ප්‍රසාද රූපය
  3. ඝාණ ප්‍රසාද රූපය
  4. ජිව්හා ප්‍රසාද රූපය
  5. කාය ප්‍රසාද රූපය

මේ පඤ්ච ප්‍රසාද රූපයන් විසින් ගනු ලබන ගොදුරු නම් රූප, ශබ්ද, ගන්‍ධ, රස, පොට්ඨබ්බ යන විෂය රූපයෝයි. අනිකුත් තෙවිසි (23) රූපයෝ මෙසේ ගොදුරු නොගන්නා බැවින් අගෝචරග්ගාහික රූප නම් වේ. ගොදුරු ගැනීමේදී චක්ඛුප්‍රසාද රූපය, ආලෝකය ඇති කල්හි, පිටත තිබෙන්නාවූ රූපය ප්‍රසාද වස්තුවෙහි නොහැපී චක්‍ෂුර් විඥානය ඉපදීමට වස්තු භාවයෙන් උපකාර වන්නේ ය. එමෙන්ම සොත ප්‍රසාද රූපයද විවරාකාශය ඇතිකල්හිප්‍රසාද වස්තුවෙහි නොහැපී ශබ්ද ශ්‍රවණය පිණිස හෙවත් සොත විඤ්ඤාණය ඉපැද්මට උපකාර වන්නේ ය. එබැවින් චක්ඛු සොත යන මේ ප්‍රසාද රූප දෙක අසම්පත්ත ගොචරග්ගාහික රූප නම් වෙත්. ඉතිරි රූප එනම් ඝාණ ජිව්හා, කාය යන ප්‍රසාද රූප තුන ගන්‍ධ, රස, පොට්ටබ්බ යන ගොදුරු ගැනීමේදී එකිනෙකට හැපීමෙන් ඝාණ විඤ්ඤාණාදිය ඉපැදමට උපකාර වන්නේ ය. නොසැපුනු කල්හි ගොදුරු ගැනීමට අසමත්වේ. එබැවින් ඝාණ; ජිව්හා, කාය යන ප්‍රසාද රූප තුන සම්පත්ත ගොචරග්ගාහික රූප නම් වේ.