12. මහාබ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජා

star_outline

තව ද අප බුදුන් ධර්මාරාධනාවෙහි මහාබ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජා නම් කවරහ? යත්;

මෙසේ දීපඞ්කර පාද මූලයෙහි පටන් අනුක්‍රමයෙන් වැඩ බෝ මැඩ වැඩහිඳ මරසෙන් බිඳ බුදුවැ උදන් පවත්වා, එම වජ්‍රාසනයෙහි මැ ලෝවැඩ වඩා වැඩහුන්නා වූ මාගේ ස්වාමිදරුවෝ මෙසේ සිතා වදාළ සේක. සාරාසඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි ඉස් දී මස් දී ඇස් දී ලේ දී අඹුදරුවන් දී බොහෝ දුක්ඛ සම්භාරයෙන් බෝධිසම්භාර පුරා මේ වජ්‍රාසනය හා ශ්‍රී මහා බෝධිය ලදිමි, මේ පර්‍ය්‍යඞ්කය නම් මාගේ ජය පර්‍ය්‍යඞ්කය ය, මේ බෝධිය නම් මාගේ ජය මහාබෝධිය ය. මරහු මවාලු කල්පාන්තවාතයක් සේ පර්වත ඔසවා දිවන ඒ සා මහත් සැඩ පවනෙහි පත්‍රාඞ්කුරයකුත් සැලී නොනැංගේ ම ය. මෙම ආසනයෙහි මෙම බෝකඳ පිටලා වැඩහිඳ කෙලෙසුන් ගෙවා බුදුව මුළුලෝ මුදුන් පත්වීමි. මේ මේ කාරණයෙන් මේ විදුරස්න මට මහා වැඩ වැඩු ය. ඒ හැර නො නැගෙමියි සිතා; කෙළ ලක්‍ෂ ගනන් සමවත් සමවැද සත්දවසක් මුළුල්ලෙහි ම නොසැලී වැඩහිඳ එම වජ්‍රාසනයෙහි ම දවස් යැවූ සේක. එසේ වැඩහිඳිනාකල සමහර දෙවියෝ සිතන්නාහු සිද්ධාර්ථ කුමාරයෝ වජ්‍රාසනය හැර තව දක්වා නො නැගෙති. තව බුදු නුවූවාහු වන. තව බුද්ධකෘත්‍ය නො නිමියේ වනැ යි විතර්ක සිතුවහු ය.