සද්ධර්ම නමැති රත්න සම්මර්‍ශනය

star_outline

ඉක්බිත්තෙන් දෙවියෝ ඒ ශ්‍රි මහා බෝධියට වායව්‍යා කොනෙහි රුවන් ගෙයක් බුදුන්ට මැවූහ. එකල ස්වාමිදරුවෝ තුන්වන සතියෙහි රුවන් සක්මනැ මෙසේ දවස් යවා සතරවන සතියෙහි දෙවියන් මැවූ රුවන් ගෙට සක්මනින් බැස පලක් බැඳ වැඩ හිඳ රජයක් ලද්දා වූ සක්විති රජකු නොයෙක් රුවනින් පිරූ භාණ්ඩාගාරවල දොර හරවා සිත් සේ වෙන වෙන නන් විසිතුරු රුවන් බලා අගයකොට ලේකම් බලා සතුටුවන්නා සේ, මාගේ ඒ සද්ධර්ම චක්‍රවර්තීන් වහන්සේ ද බුද්ධරාජ්‍යය ලදින් සද්ධර්ම නමැති රත්න සමූහයන් සත්දවසක් මුළුල්ලෙහි විශේෂයෙන් වෙන වෙන බලා වදාළ සේක.

කෙසේ බැලූ සේක් ද? යත්:-

මම බුද්ධරාජ්‍යය ලදින් පන්සාළිස් හවුරුද්දක් හිඳ බුද්ධ ශ්‍රී විඳිමි යි මාගේ ශාසනයෙහි ශාරිපුත්‍ර ස්ථවිර ප්‍රධාන අසීති මහා ශ්‍රාවකාදි කෝටිගණන් භික්‍ෂුගණයා චන්‍ද්‍ර සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයන් සේ ශෝභාවත් ව සසුන් බබුළුවති යි මාගේ මේ ශාසනය මෙයින් මතු පන්දහසක් හවුරුදු පවතී. මාගේ භික්‍ෂූන්ට අනුශාසනා පිණිස විනය පිටකය දේශනා කෙරෙමි යි විනයෙජනයන් නිසා සූත්‍ර පිටකය දේශනා කෙරෙමියි මාගේ ප්‍රඥාවගේ සාර ය දක්වා දිව්‍ය බ්‍රහ්මයන්ට විජම්පිටක ය දේශනා කෙරෙමි යි මෙසේ සංක්‍ෂෙපයෙන් තුන්පිටකය කල්පනාකොට බලා වෙන වෙන පරීක්‍ෂාකරන්නා වූ මාගේ ස්වාමිදරුවෝ: තවද: විනය පිටකයෙහි පරිජි නම් මේ ය. පචිති ය නම් මේ ය. මහවග විනය නම් මේ ය. සුළුවග විනය නම් මේ ය. පරිවාර නම් මේ ය. ඊට සමන්තපාසාදිකා නම් වූ විනය අටුවා නම් මේ ය. සාරාර්ථදීපනී නම් වූ විනය ටීකා වශයෙන් නවඅනූදහස් දෙසිය පනස් ග්‍රන්‍ථසඞ්ඛ්‍යාවෙකැ යි බලා දැක්ක.

තව ද දෙවැනිව සූත්‍රපිටකයට වැද එහි පඤ්චමහාසඟියක් දැක, පළමුවන දික්සඟියෙහි ශීලස්කන්‍ධවර්ගය නම් මේ ය. මහා වර්ගය නම් මේ ය. පාළිවර්ගය නම් මේ යි තුන්වර්ගයක් දැක්ක. තව ද දෙවන මධ්‍යම සඟියෙහි මූලපණ්ණාස නම් මේ ය. මජ්ඣිම පණ්ණාස නම් මේ ය. උපරි පණ්ණාස නම් මේ යයි තුන් පණ්ණාසයක් දැක්ක. තවද තුන්වන සංයුත්සඟියෙහි [1]සගාථ වර්‍ගය නම් මේ ය නිදාන වර්‍ගය නම් මේ ය. ස්කන්‍ධ වර්‍ගය නම් මේ ය. සළායතන වර්‍ගය නම් මේ ය. මහා වර්‍ගය නම් මේ ය යි පඤ්චමහා වර්‍ගයක් දැක්ක. තව ද සතරවන වූ අංගුත්තර සඟියෙහි එක-ද්වික තිකනිපාත නම් මේ ය. චතුක්ක නිපාත නම් මේ ය. ඡ-සත්තක නිපාත නම් මේ ය. අට්ඨ-නවක නිපාත නම් මේ ය. දසෙකාදස නිපාත නම් මේ යයි ෂට්ප්‍රකාරයක් දැක්ක. තවද පස්වන කුදු ගොත් නම් සගියෙහි චූළනිර්දේශ නම් මේ ය. මහා නිර්දේශ නම් මේ ය. ප්‍රතිසම්භිදා නම් මේ ය. මහාවර්ගය නම් මේ ය. ජාතකපාඨ නම් මේ ය. නෙත් පවුරුණු නම් මේ ය යි ෂට්ප්‍රකාරයක් දැක්ක. තව ද සුමඞ්ගල විලාසිනී නම් වූ සූත්‍ර අටුවා මේ ය. ප්‍රපඤ්ච සූදනී නම් වූ සූත්‍ර අටුවා මේ ය. සාරාර්ථප්‍රකාශනී නම් වූ සූත්‍ර අටුවා මේ ය. මනොරථ පූරණී නම් වූ සූත්‍ර අටුවා මේ ය. සද්ධම්මජොතිකා නම් වූ සූත්‍ර අටුවා මේ ය. ප්‍රතිසම්භිදා නම් වූ සූත්‍ර අටුවා මේ ය. පරමාර්ථ ජොතිකා නම් වූ සූත්‍ර අටුවා මේ ය. උදාන නම් වූ සූත්‍ර අටුවා මේ ය. විමානවස්තු නම් වූ සූත්‍ර අටුවා මේ ය. ප්‍රේත වස්තු නම් වූ සූත්‍ර අටුවා මේ ය. ථෙරගාථා නම් වූ සූත්‍ර අටුවා මේ ය. ථෙරිගාථා නම් වූ සූත්‍ර අටුවා මේ ය. චර්‍ය්‍යාපිටක නම් වූ සූත්‍ර අටුවා මේ ය. බුද්ධ වංශ නම් වූ සූත්‍ර අටුවා මේ ය. දම්පියා නම් වූ සූත්‍ර අටුවා මේ ය. පන්සියපනස් ජාතක නම් වූ සූත්‍ර අටුවා මේ ය. විශුද්ධිමාර්ග නම් වූ සූත්‍ර අටුවා මේ ය. නෙත් පවුරුණු නම් වූ සූත්‍ර අටුවා මේ ය යි. මෙසේ සූත්‍ර පිටකයට වැද වෙන වෙන බලා තමන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාරණ පාළි හා අටුවා කථා සාරලක්‍ෂ එකොළොස් දහස් පන්සියයක් ග්‍රන්ථයෙන් සම්පූර්ණවී ය යි මෙසේ සූත්‍ර පිටකය දැක්ක.

තව ද අභිධර්‍මපිටකයට වැද ධම්සඟුණු නම් වූ විජම පාළි මේ ය. විභඞ්ග නම් වූ විජම් පාළි මේ ය. ධාතු කථා නම් වූ විජම් පාළි මේ ය. පුද්ගලප්‍රඥප්ති නම් වූ විජම් පාළි මේ ය. කථාවස්තු නම් වූ විජම් පාළි මේ ය. යමක නම් වූ විජම්පාළි මේ ය. පට්ඨාන නම් වූ විජම් පාළි මේ ය. අර්ථසාලිනී නම් වූ විජම් අටුවා මේ ය. සම්මොවිනොදනී නම් වූ විජම් අටුවා මේ ය. පඤ්චක නම් වූ විජම් අටුවා මේ ය යි මෙසේ විජම් පිටකයෙහි ශ්‍රීමුඛ පාළි හා අටුවා කථා එක්ලක්‍ෂ විසිදහස් දෙසිය පනස් ග්‍රන්ථ සඞ්ඛ්‍යාවෙකැයි දැක්ක.

මෙසේ තුන්පිටකය මුලපටන් අග දක්වා යැ. අගපටන් මුල දක්වා යැ. දෙකෙළවර පටන් මැද දක්වා යැ. මැද පටන් දෙකෙළවර දක්වා ය යි මෙසේ අනුලෝම ප්‍රතිලෝමාදී වසයෙන් සකසා පරීක්ෂා කොට බලා වදාරා, තව ද ඒ මාගේ ධර්‍මසංඛ්‍යාව විශේෂයෙන් බලත් නම්: රස වසයෙන් එකෙක් වෙයි. පිටක වසයෙන් තුනෙක් වෙයි. නිකාය වසයෙන් පසෙක් වෙයි. අඞ්ග වසයෙන් නවයෙක් වෙයි. ස්කන්‍ධ වසයෙන් සුවාසූ දහසක් පමණ වෙයි. ශ්‍රී මුඛ පාළි වසයෙන් මාම කරන්නා වූ දේශනාවෝ දෙලක්‍ෂ පන් සැත්තෑදහස් දෙසිය පනසක් පමණ ග්‍රන්ථ සඞ්ඛ්‍යාවෝ වෙති. මතු ශ්‍රී ලඞ්කාද්වීපයෙහි දී කප් ලක්‍ෂයක් පැරුම් පුරා ආ බුද්ධඝෝෂ නම් ආචාර්‍ය්‍ය ස්ථවිරයන් විසින් මාගේ අභිප්‍රාය දැන ලියනලද අටුවා කථා වසයෙන් තුන්ලක්‍ෂ එක් සැට දහස් සත්සිය පනස් ග්‍රන්ථ සඞ්ඛ්‍යාවෝ පමණ වෙති. ඒ මාගේ ආගම කථාවෝ හැමදෙන ම ග්‍රන්ථ සඞ්ඛ්‍යාවෙන් සලක්‍ෂ සත්තිස් දහසක් පමණ වෙති. භාණවාර සඞ්ඛ්‍යාවෙන් පස්විසි ලක්‍ෂ අටසාළිස් දහසක් බණවර වෙති. අක්‍ෂර ගණනාවෙන් දෙකෙළ තුන්ලක්‍ෂ සුවාසූ දහසක් අක්‍ෂරයෙන් පිරුණේ යැ. නය වසයෙන් අසඞ්ඛ්‍ය ගණන් නය යැ. ඒ මාගේ සියලු ධර්ම සමූහයෝ මැ අවීනෂ්ටවැ පන්දහසක් අවුරුදු පවත්නාහු ය යි මෙසේ මාගේ ස්වාමිදරුවෝ “අනෙකජාති සංසාරං” කියා පළමු ඔසවාගත් ශබ්දයෙහි පටන් ගෙන කෙළවර යමහල වැදහෙවැ “අප්පමාදෙන සම්පාදෙථ” යි යන මේ ශබ්දය අන්තකොට ඇති සියලු ධර්ම සමූහයන් ඒ දෙවියන් මැවූ රුවන් ගෙයි වැඩහිඳ ඒ සතරවන සතිය මුළුල්ලෙහි මෙනෙහි කොට නිමවා වදාළ සේක. ඒ සද්ධර්ම රත්නය වැඩහිඳ සම්මර්ශනය කළා වූ ස්ථානය දැන් රත්නඝරචෙතිය නම් වි යැ.

මෙසේ මාගේ ස්වාමිදරුවෝ සද්ධර්ම සම්මර්ශනයෙන් සතර වන සතිය යවා පස්වන සතියෙහි අජපාල නම් නිග්‍රොධ මූලයට වැඩැ පූර්වදිග් බලා වැඩහිඳ විමුක්ති සුව විඳ දවස් යවන සේක.

එසමයෙහි මාරදිව්‍යපුත්‍රයා පැරද ගොස් යහන් මතුයෙහි මුහුණින් හෙව බොහෝ දෙවියන් තමාට කරන නින්‍දා ඉවසාගත නොහී තමාගේ ඒ දිව්‍යභවනයෙන් සැඟවී ගොස් දඹදිව මාවතක් මැද මගී වෙසක් ගෙන දෙපා දිගුකොට ලා එක් අතක් නිකටට දීලා කරබා හිඳ සිතනුයේ “සිද්ධාර්ථ කුමාරයා මා නො කැමැති කරවා ම මහබිනික්මන් කෙළේ ය. සාවුරුද්දක් මුළුල්ලෙහි මට අවකාශයකුත් නොපෑයේ ය. දැන් මට මේ සා පරිභවයක් කොට බුදුව ගියේ ය. ඉතිකින් මාගේ විෂය ඉක්ම ගිය මාගේ ඒ සතුරාට සතර සතියෙක් ඉක්ම ගියේ යැ. ඒ සතුරා නොබෝ දවසකින් බොහෝ බණ කියා සියලු සතුන් නිවන් පුරයෙහි ඇදලා පීයයි. බොහෝ කලක් අඩුවක් නැති ව තුබූ මාගේ නරකවල අවකාශ කරවයි. මතු තබා තමා මවුකුස උපන් වේලෙහි ද, බිහි වූ වේලෙහිද, මහබිනික්මන් කළ වේලෙහි ද, බුදුවූ වේලෙහි ද, මාගේ නරකවල ඇවිලෙන ගිනිකඳ නිවා හැල් කරවා මා මුහුණ දැලිගා පී ය. ඒ සතුරා කෙසේ පිටු දකිම් දෝ හෝ” සිත සිතා ශෝක කරනුයේ සොළොස් කාරණයක් සිත සිතා සොළොස් හිරක් මග අවුරා ඇඟිල්ලෙන් ඇන්දේ ය.

කෙසේ ද? යත්;

මම සිද්ධාර්ථයාට දාන පාරමිතාවෙනුත් අඩුවෙම් මැ යි, ශීල පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, ප්‍රඥා පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, වීර්‍ය්‍ය පාරමිතාවෙනුත් අඩුවෙම් මැ යි, ක්‍ෂාන්ති පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, සත්‍ය පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, අධිෂ්ඨාන පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, මෛත්‍රී පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, උපෙක්‍ෂා පාරමිතාවෙනුත් අඩුවෙම් මැයි, තව ද ඉන්‍ද්‍රිය පාරවරඥානයෙනුත් අඩුවෙම් මැයි, ආශ්‍රවක්‍ෂයකර ඥානයෙනුත් අඩුවෙම් මැයි, මහා කරුණා සමාපත්තිඥානයෙනුත් අඩුවෙම් මැයි, යමක ප්‍රාතිහාර්‍ය්‍යඥානයෙනුත් අඩුවෙම් මැයි, අනාවරණඥානයෙනුත් අඩුවෙම් මැයි, සර්‍වඥතාඥානයෙනුත් අඩුවෙම් මැ ය යි මේ සොළොස් කාරණයෙන් ඒ සිද්ධාර්ථයා මට ශත ගුණයෙන් සහස්‍ර ගුණයෙන් වඩනේ මැයි, ශතසහස්‍ර ගුණයෙන් මම ඕහට අඩුවෙම් මැය යි මඟ අවුරා මෙසේ සොළොස් හිරක් ඇඳ ඒ බල බලා සුසුම් ලලා කර බාගෙන හුන්නේ ය.

  1. ශතවර්‍ගය