එ කල ඒ මාරයාගේ තණ්හා ය, රති ය, රාගා ය යි යන දූන් තුන්දෙන පියාණන්ගේ දිව්‍ය ප්‍රාසාදයට වැද, යහනේ වැදහොත් පියාණන් නො දැක අපගේ පියාණන් වහන්සේ කොයි ගියසේක් දෝ හෝ යි දිවසින් බලා මාවත් මැදෙක බිම ඇඟිලි ගගා සුසුම් ල ලා හුන්නවුන් දැක අසුරුසනක් කලින් එතනට දිව ‘පියාණන් වහන්ස! මේ කෙසේ වූ දුක්පත් කමෙක්ද? නුඹ සුසුම් ලන්නේ කුමන ශෝකයකින්දැ’යි විචාළහ. වසවත්මට කියනුයේ “දරුවෙනි! තෙපි නො දනු ද, මහණ භවත් ගෞතමයා දසදහසක් සක්වළ දෙවියන් බලා සිටියදී මා මරා ලුහුබඳවා මා මුහුණ දැලි ගා පී ය. දැන් මාගේ සතුරා බුදුව ගියේ ය. මට වූ ලජ්ජා නො දැනුද, මාගේ ආත්මාරක්‍ෂාවට තුබූ චක්‍රායුධය දක්වා දරුවෙනි! උදුරා ගත්තෙමේ වේදැ”යි කී ය. එ බසට දූ තුන්දෙන කියන්නාහු: “ස්වාමීනි! අපට නො කියා ඒ සා පිරිසක් ගෙන ගොස් කුමට විඩාවූ සේක්ද? අපට කිවහොත් එක බළ පිරිසකුත් නැති ව අපි තුන් දෙන ගොස් ඔහු කාම නමැති මලින් බදාගෙන මුවපොල්ලකු සේ පැලම්හ. දැනුදු ශෙක නොගෙන නුඹවහන්සේ දිව්‍යශ්‍රීන් ම හුන මැනව. ඇසිල්ලකින් ගොස් අප ඔහු නුඹ පාපිටට ගෙනන ලෙස් බලා වැටහුන මැනවැ”යි කීහ. එ කල මරදෙවි පිත් කියනුයේ “දරුවනි! කුමන බස් කියවු ද, සිද්ධාර්ථ කුමාරයා ඉතා මහත් වූ ආනුභාව හා මහත් වූ තේජස් ඇතියේ ය. ඔහු කා විසිනුත් ජයගත නොහැක්ක. සොලවාලිය හැකි සතෙත් නො වෙයි, මහා ධෛර්ය සම්පන්න පුරුෂයෙකැ”යි කී ය.
එ බසට දූන් කියන්නාහු “ස්වාමීනි අපගේ වසවර්ති දිව්‍යලෝකයට වඩා කාමභූමියක් නැති බැව් නො දන්නා සේක් ද ජීවිතයක් ඇති පුරුෂයෙක් ඉදිරියෙහි ඇසිල්ලෙක පෙනීගියමෝ නම් ඔහු කාමයෙන් පොළඹා ගැන්මෙහි අපට වඩා දක්‍ෂ වූ කාමාඞ්ගනාවෝ කාමලෝකයෙහි නැත්මය”යි මෙසේ පියාණන් ඉදිරියෙහි සිට වහසිබැණ පියා පියාණන් දෙව්ලොවට යවාලා තුමූ එතනින් අන්තර්ධානව දික්කළ අතක් වක් නොකරනතුරු ඇසිල්ලෙක බුදුන් වැඩහුන් අජපාල මූලයට ආසන්නව නොපෙනී සිට තුන් දෙන ඔවුනොවුන් හා මන්ත්‍රණ බණන්නාහු: “නගිනි, පුරුෂයන්ගේ සිත් නම් නොයෙක් ආකාරය, සමහර කෙනෙක් බාල ස්ත්‍රීන් කැමැති වෙති. සමහර කෙනෙක් යෙවෙන ස්ත්‍රීන් කැමැති වෙති. සමහර කෙනෙක් මධ්‍යම ස්ත්‍රීන් කැමැති වෙති. සමහර කෙනෙක් වෘද්ධ ස්ත්‍රීන් කැමැති වෙති. සිද්ධාර්ථ කුමාරයාගේ අදහස් නො වරදවා බලා ගනුම්හ”යි මන්ත්‍රණ කොටැ ලා.
දොළොස් හැවිරිදි කුඩා කෙලිරූ සියයෙක, සොළොස් හැවිරිදි පළමුවන යෞවනයෙහි ස්ත්‍රී රූ සියයෙක, එක දරුවන් ලද ස්ත්‍රී රූ සියයෙක. දෙදරුවන් ලද උත්තම ස්ත්‍රී රූ සියයෙක, එක දෙ නර දුටු ස්ත්‍රී රූ සියයෙක, විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙකැ යි මෙසේ සසියයක් වෙස් මවාගෙන සිද්ධාර්ථය, අප පියාණන් මුහුණ ගෑ දැලි අද පිස හරිමෝ මය. ඔහුගේ සිල් බිඳු මෝ ම ය”යි කිය කියා, නන්විසිතුරු මලින් සරහන ලද නිල් වරලසින් හා, කන් නමැති මධු ගුහාවට ගමන්ගත නීල භෘඞ්ග යුග්මයක් සේ ඉඳුමිණි නිල්වන් දිගු පුළුල් වූ ඇසින් හා, ගන නිල් වරල් නමැති මහ මේ කුළින් පැන නැගී දෙව්දුනුවන් දිලියෙන බැම සඟලින් හා, දුටුදුටුවන් දෙපා මසන රන් හැකිලි සේ සක්පතින් දිලියෙන කණින් හා කෙම්වැලවන් තඹුරු තොලින් හා කොඳකැකැළුවන් දත්පෙළින් දිවන සුදුරැසින් සඳරැස් පරදවමින් මුව පියුම් බල බලා කර ඔසවා සිටිනා වූ රන්වන් හංස පැටවුන් සේ ලීලෝපේතව සිටිනා පිරුණු තන සඟළින් හා, නැඹ පියුමට මුවරද ලෝලීන් බස්නා භෘඞ්ගාවලින් සේ දුටුදුටුවන් සිත් උමතු කරවන නිල් වසාරොදින් හා, රන්තැඹිලි කඳවන් අසුරෙන් ගන්නා සිඟු විලගින් හා, කාම පුරුෂයන් මනදොළ විශාරද කරවන්නා වූ රන්වන්වූ පුළුලුකුලෙන් හා පුරුෂයන්ගේ ධෛර්‍ය්‍ය මඩනා තිරිගි කද සේ රත්කෙහෙල් කදට නිගාදුන් මට සිලුටු වූ කලවා සඟලෙන් හා, නිවන්පුරට වදනවුන් බදා හෙළන මල සේ කර පුරා හෙලන ලද මුතුහර පැළඳ “කාම පුරුෂයෙනි! පිනැති එකෙක් වල නොගොස් අප කරා එව යි හඬගා කැඳවන්නා සේ රන්ලියවන් අතෙහි පිරූ මිණි වළලු රැවුදෙමින් සියලු සතුන් ඇසට ලූ ඉන්‍ද්‍රජාලා බඳුවූ නන් පැහැයෙන් විසිතුරු උතුරුසළු ලා, රතියට ආකර සේ, ලීලාවට සිය ගේ සේ, යොබ්බනයට මඟුල් ගෙවල් සේ, මඳ මද සිනායෙන් පිරුණු මුඛ නමැති සඳ පෙලින් දිවන දසනහරසින් සල්ලාල නමැති කෞමදයන් සතුටු කරවමින්, මෙසේ වූ දුටුවන් ඇසුවන් සිතුවන් සිත් සොලවා පියන සසිසයක් වෙස් මවා ගෙන ඔවුනොවුන්ගේ රූසිරි බල බලා ‘නගිනි, අද අපට එක පුරුෂයෙක් නම් සරු කිම්දැ’යි වහසි කිය කියා ඒ මාගේ ස්වාමිදරුවන්ගේ අභිමුඛයට අහසින් වගුළ සපුමල්දම් පෙළක් සේ රන්ලිය සමූහයක් සේ, විදුලිය සමූහයක් සේ, දෙවුදුනු සමූහයක් සේ, බුද්ධපූජාවට දමාලූ සසියයක් රන් කැටපත් සේ, දෙදෙනෙක් එකසැටියක නො සැරහී, දෙදෙනෙක් එක්වන් සළු නො හැඳ, මෙසේ වෙන වෙන නොයෙක් ස්ත්‍රී ලීලාවෙන් බුදුන් පෙරටවැ සිටගෙන මෙසේ කියති.
“යහළු සිද්ධාර්ථ නම් කුමාරයෙනි! තෙපි වසන්තයා බඳු කාන්ති ඇති කෙනෙකු ව, පන්තිස් හැවිරිදි හෙයින් නව යෞවනයෙහි පිහිටිය ව, රන්වන්වූ ශරීර ඇති කෙනෙකු ව, සියලු ස්ත්‍රීන්ගේ ප්‍රේම තොප කරා හයා ගන්නා කෙනෙකු ව, රසයෙන් සම්පූර්ණ කෙනෙකුව, ස්නේහයෙන් ආර්ද්‍රකෙනෙකු ව, එසේ වූ තෙපි රන්පවුලකින් රන්වන් වූ තෙල කය වසාගෙන කාම ස්ත්‍රීන්ගේ ශෝක නමැති ලැවු වනයෙහි ගිනිලන්නා සේ එකලාව, මේ නුගගස මුල කරබාගෙන හිඳුව, ස්වාමීනි! නො වලා කියව, තොප අඹුවෝ ඇද්ද නැද්ද? නොහොත් තොප හා ඩබරකොට ගියෝද? නොහොත් උත්තම ස්ත්‍රියක කල් දමා නො එන හෙයින් ඈ බල බලා හිඳූ ද? අහෝ සිද්ධාර්ථ කුමාරයෙනි! මේ අපට නොහඟවා කියවයි විචාළහ. එකල මාගේ ස්වාමිදරුවානෝ වෙස්සන්තර ජාතකයෙහි කෘෂ්ණජිනා නම් දියණියන් කියන ලද බොළඳ සුරතල් තෙපුල් කොට සිතා මුවෙන් නො බැන හුදු කරුණාවෙන් අඹාලූ රුවක් සේ, හුදු මුදිතාවෙන් මවාලූ රුවක්සේ, හුදු උපේක්‍ෂාවෙන් මවාලූ රුවක් සේ නො සෙල්වී මහපොළොව සේ වැඩවුන්සේක් මයැ.
ඉක්බිත්තෙන් මැහැලි වෙස්ගත් තණ්හා නම් දේවතාදූ “මේ පුරුෂයා එසේ මෙසේ සොලවාලිය නො හැක්ක. අප හැම දෙනා තමාගේ නුවන් කෙළවරිනුත් නො බලයි. පුරුෂයෝ නම් තමන් රූ වර්ණනා කළ කල මදනැගී ඇතුන් සේ උමතු වෙති. මොහුගේ රූපය ඉදිරියෙහි සිට වණා මා කරා නමා ගනිම්”යි සිතා ‘ස්වාමීනි, සිද්ධාර්ථ කුමාරයෙනි! තොපගේ සිද්ධාර්ථ නම් නම සියලු ස්ත්‍රීන්ගේ කාමාර්ථයන් සිද්ධකරන හෙයින්ම ලදහ යි සිතමි. තොපගේ මේ රන්වන් වූ ශරීරය ලෝකවාසීහු කරුණා මෛත්‍රීන් සම්පූර්ණ වී ය යි කියති. මම වනාහි පඤ්චකාමයෙන් පිරුණාහ යි සිතමි. තොපගේ තෙලෙ රන්කඳක් වන් පස්කඳ රන්මුුහුදින් පැනනැගී ස්වර්ණාංකුරයක් වැන්නැ යි නො කියමි. කාම ස්ත්‍රීන් තොපගේ තුනුවිලට බැස කෙළනා පස් මහ තොටෙකැ”යි කියමි. තව ද තොපගේ රන්මෙරක් බඳුවූ බුද්ධකායෙහි දිලියෙන ඉඳුමිණි නිල්වන් සිරස රන්මුහුදින් පැන නැගී ඉඳුමිණි නිල් පර්වතයක්හුගේ ශ්‍රී විභූතියක් වැන්නැ යි නො කියමි. කාමස්ත්‍රීන් නමැති බකාඞ්ගනාවන්ට ගබ්දෙන්නා වූ මහ මේ කුළක් දෝ හෝ යි කියා සිතමි.
තව ද තොපගේ තෙලෙ රන්තලාවක් වන් නළල් තල මැද දිලියෙන ඌර්ණරෝම ය රන් බිතෙක්හි දුන් මකුල් තිලකයක් වැන්නැයි කියා ත් නො කියමි. ස්වර්ණ සාගරයෙන් පැන නැගි දක්‍ෂිණ ශංඛයක් වැන්නැ යි කියාත් නො කියමි නො හොත් එම රන් මුහුදින් පැන නැගි දරණ ලා හොත් හැළි නාග රාජයකු වැන්නැයි කියා ත් නො කියමි. නොහොත් තොපගේ රූ මුහුදින් පැන නැගි අමා දධියක් වැන්නැ යි කියාත් නො කියමි. නොහොත් තොපගේ යශෝලතාවෙන් ප්‍රබෝධ වූ යසමල් කැනක් වැන්නැ යි කියාත් නො කියමි. නොහොත් නාසිකා නමැති පුඩු ඇති, බැම නමැති ඉඳුමිණි නිල්වන් සතෙහි මුදුන් දුන් රිදී කොතක් වැන්නැ යි කියා ත් නොකියමි. නොහොත් තොපගේ මුඛ නමැති මහපියුමට බැස මුව පුරා රොන් ගෙන නළල් නමැති රන්පෙත්තෙහි හිඳ රැවු නඟා මත් ව ගුවන් බලා හුන් ශ්වේත හංස පෝතකයෙකු වැන්නැ යි කියාත් නො කියමි. ඒකාන්තයෙන් කාම ස්ත්‍රීන් නමැති කෞමදයන් ප්‍රබෝධ කරන්නා වූ පුන් සඳක් වැන්නැ යි කියාත් නො සිතමි. නොහොත් තොප කරා පැමිණි යෞවන ස්ත්‍රීන්ගේ කාම ඩාහ නිර්වාණය පිණිස මවාලූ රිදී තල් වැටෙක් දෝ හෝ යි කියාම සිතමි. තව ද තොපගේ තෙලෙ වෙන වෙන පස්වනක් පැහැයෙන් දිලියෙන්නා වූ ඇස් සඟළ මුඛ පද්මයට බට නීල භෘඞ්ගරාජ යුගලයක් වැන්නැයි කියා ද, නීලොත්පල යුගලයක් වැන්නැ යි කියා ද, ඉන්‍ද්‍රනීල යුගලයක් වැන්නැ යි කියා ද නො කියමි. පඤ්චකාමයන්ගේ ජයගැන්මට වෙන වෙන ම මවා ලූ පඤ්චවර්ණයෙක් දෝ හෝ යි කියා ම සිතමි.
තව ද තොපගේ තෙලෙ උත්තුඞ්ග වූ නාසිකාව මුව පියුම බලා කර නගා උන් රන්වන් වූ හංස රාජයකු වැන්නැ යි කියාත් නො කියමි. තොප කරා පැමිණි ප්‍රේම කාන්තා නැමැති කෙණෙරඟනන් අනුන් කරා නො යාදී ගයා ගන්නා වූ ස්වර්ණාංකුශයෙක් දෝ හෝ යි කියා ම සිතමි. තව ද තොපගේ තෙලෙ බිඹුපල සමාන වර්ණ වූ අධරයුග්මය මුඛ නමැති පද්මයෙහි හටගත්තා වූ රත් පියුම්පෙති සඟළක් වැන්නැ යි කියා ත් නො කියමි. තොපගේ රූප නමැති ක්‍රීඩා ශාලාවෙහි කාම ස්ත්‍රීන්ට මවා තුබූ ප්‍රවාලමය වූ රා මඩම් සඟළක් වැන්නැ යි කියා ම සිතමි. තව ද තොපගේ තෙලෙ අධරයුග්අමාභ්‍යන්තරයෙන් අර්ධ රූප දක්වන්නා වූ දන්ත පංක්තීහු මුඛ පද්මයෙහි කේශර පංක්තියක් වැන්නැ යි කියා ත් නො කියමි. දුටු දුටු කාමස්ත්‍රීන්ගේ කාමාර්ථයන් සිද්ධ කෙරෙමි යි සන්‍ධ්‍යාවල ගබින් පෙනෙන්නා වූ ද්විතීය චන්‍ද්‍රයා දෝ හෝ යි කියා ම සිතමි. තව ද යහළු සිද්ධාර්ථ නම් රූසයුරාණෙනි, තොපගේ තෙලෙ රන්කුළු සඟළක් වන් උරසඟළේ පැහැර සිටිනා කන්පට සඟළ රත්ගල් මුදුනෙක නටන ස්වර්ණමයුර රාජජ යුග්මයක් වැන්නැ යි කියාත් නො කියමි. තොප කරා පැමිණි යෞවන ස්ත්‍රීන් අනුන් කරා නො යාදී දෙපා මසන රන්පමුදම් දෙකෙකැ යි සිතමි. තොපගේ තෙලෙ රන්වන් වූ ග්‍රීවය රන් මිහිඟක් වැන්නැ යි නො කියමි. කාමාඞ්ගනාවන් උමතු කරවන ඖෂධ ඝටිකායෙක් ම ය යි සිතමි. තොපගේ තෙලෙ රත් සිවුරුගබින් නිකුත් බාහු යුග්මය රත්වලා ගබින් නිකුත් විදුලිය දෙකක් වැන්නැ යි නො කියමි. තොපගේ රූ නමැති අමාගඞ්ගාවට වැද කාම ස්ත්‍රීන් සිත් සේ කෙළනා වූ රන් පලු පත්සඟළක් වැන්නැ යි සිතමි.
මෙසේ වූ රූපයකින් මේසා වන මැදෙක කාමස්ත්‍රීන් නැති ව තොප වැනි කෙනකුන් උදකලාව වසනු ඉතා නො යෙදෙයි. මේ ලෝකයෙහි ස්ත්‍රී නම් තොප වැනියන් පහස් ලත් ස්ත්‍රීම ය. එබැවින් වරෝ හිමි, එ කලාව මේ වෙනෙහි නො වසව, අද දක්වා පුරුෂයන්ගේ පහස් නො ලත් මාගේ මේ දොළොස් හැවිරිදි කුඩා නඟුන් සියය හෝ රක්‍ෂා කරව. නොහොත් නව යෞවනයෙහි පිහිටි සොළොස් හැවිරිදි නඟුන් සියය හෝ රක්‍ෂා කරව. නොහොත් එක් දරු වැදූ මේ රන්ලිය වන් නඟුන් සියය හෝ රක්‍ෂා කරව. දෙදරු වැදූ මේ විදුලිය වන් නඟුන් සියය හෝ රක්‍ෂා කරව. පුරුෂයන් පොළඹා ගැන්මෙහි අප මුත් නැතැයි ධ්වජ නැගුවා සේ එක දෙ නර නැගි නඟුන් සියය හෝ රක්‍ෂා කරව. නොහොත් කපු පිසමන් දී ගඳලගයෙන් පුරුෂයන් පොළඹා ගැන්මෙි දක්‍ෂ වූ අප මැහැල්ලන් සියය හෝ රක්‍ෂා කරව. ගිමි! තොප සිත ඇත්තක් නො වළා කියව. අප මුත් මෙතන අනික් කිසි කෙනකුන් නැති බැවින් කිසි විළියක් නො කරව” යනාදීන් මෙසේ ලද බොළඳ වූ නොයෙක් විරහ තෙපුල් කීව. එ විගස හැම මාරස්ත්‍රී ඔවුනොවුන් පරදවා අපි ම ලෝභ කරවා ගනුම්හ. අපි ම ලෝභ කරවා ගනුම්හ යි සිත සිතා සමහරු නටති. සමහරු ගී කියති. සමහරු අත්තල හෙළති. සමහරු අසුරු සන් දෙති. සමහරු වස්කුළල් පිඹිති. සමහරු දිව වෙණ ගයති. සමහරු නරු තනති, සමහරු බමති, සමහරු පුසුඹු ලති, සමහරු අත්වැල් බැඳ බුදුන් සිසාරා දිවෙති, සමහරු ලීලා දක්වති, යනාදීන් නොයෙක් ප්‍රකාරයෙන් අකට විකට පෑ පොළඹවන්නාහු මාගේ ස්වාමිදරුවා නන්සේ නුවන් කෙළවරින් බැලුම් පමණකුත් නො ලද්දාහු ය.
මෙසේ බොහෝ උත්සාහ කොට අවකාශයක් නො ලදින් වෙහෙසෙන්නාහු “ස්වාමීනි, සිද්ධාර්ථ කුමාරයෙනි, මේ ලෝකයෙහි තොප මහා ශ්‍රද්ධාවන්ත ය යි කියති. කාමඩාහයෙන් තොප කරා ආ අප තොපගේ තුනුවිල ගලා සන්සිඳුවා නූලු නම් අද අප දිවි තිබෙති යි නො සිතව. එසේ ත් ලෝභී වූ නම් තොපගේ තෙලෙ ශ්‍රීපාද නමැති පියුම් දෙකින් අප අපගේ නළල් මැද තිලකාභරණ දෙව. තව ද එසේත් ලෝභී වූ නම් ස්වාමි සශ්‍රීක වූ සුවඳ ගඳින් පිරුණා වූ තොපගේ මුඛ නමැති කරඬුව හැර මධුර වචනයක් දන් දී අප අපගේ කන් පුරව. එසේත් ලෝභී වූ නම් තොපගේ තෙලෙ පස් වණක් පැහැයෙන් දිලියෙන බැලුම් පමණකින් ලෝවැඩ කරන්නා වූ ඇස් සඟළින් අඩ බැලුම් දී ඒ ආස්වාදයෙන් තොප නිසා ම සැලෙන අප කම්කිළියන් කම්ගිනි නිවව. අද තොපගේ ශ්‍රද්ධාබල බලම්හයි”යි නොයෙක් ලෙස යාච්ඤා කළ ද මාගේ ස්වාමි දරුවාණන් ඒ දිව්‍ය ස්ත්‍රීන්ගේ භාවභව ලීල ජරාපත් වැඳිරියන් පානා වූ විකාර සේ, වෙස් බැඳ පානා විකාර සේ, සිතා අශුභ ලකුණු උපදවා මෛත්‍රීන් පින පිනා මහමෙර සේ නිශ්චල ව වැඩහුන්සේක් ම ය.
එ කල මාරස්ත්‍රීහු තමන් දිව්‍යාඞ්ගනාවන් හෙයින් මොහුගේ පූර්ව චරිතයෙන් මෝහට නින්දාකොට පොළඹා ගනුම්හ යි සිතා කියන්නාහු: “සිද්ධාර්ථ කුමාරයෙනි! දැන් අපට තොප තදවන්නේ ඇයි ද, තොප පෙර කුසරජ ව උපන්කළ ප්‍රභාවතින් තොප හැර පලාගිය කල එදා තොප ඒ සා රාජ්‍යයක් හැරපියා උන් පසු පස්සෙහි එක දා සියයක් යොදුන් දිවූ දවස් සඳහන් නැද්ද? තව ද සත්මසක් මුළුල්ලෙහි දර පැන් ඇද බත් මාලු පිස එම ස්ත්‍රිය නිසා අරක්කැමි කම් කොට තොප ගත් දුක් සඳහන් නැද්ද? තව ද වළන් කද කර තබාගෙන හිණි පාමුල හී මළගෙ වෙස්ගෙන ඇස පෙරළලා එදා තොප වැදහොත් ලෙස් මෙදා සඳහන් නැද්ද? තව ද තොප හුනු හඬ අසා ප්‍රභාවතීත් දිව අවුදින් කර දිගුකොට මේ මළදෝ හෝ නොමළ දෝ හෝ යි සිතා නාසයට අත පෑ බලන වේලෙහි ඒ ස්ත්‍රිය දැක ප්‍රේම ධරාගත නොහී කටපුරා කෙළ ගෙන ඇගේ මුව පියුමට දැමූ ලෙස් සඳහන් නැද්ද? තව ද එම ස්ත්‍රිය නිසා වීර්යය කරන තොප එදා කැසපට ගොතාගෙන, කළල්මැද සිට බඳුන් සේදූ ලෙස් සඳහන් නැද්ද? පෙර සසර මෙසේ ගෑණුන් කෙරෙහි ලොභ තැනැත්තන් දැන් අප වැනි ස්ත්‍රීන් කෙරෙහි මඳකුත් ලෝභ නොකරනු තොප වරද නො වෙයි. අප කළා වූ අකුසල් බල මය.
තව ද පෙර තොප රජ වූ ජාතියෙක පඤ්චකාමය මා මුත් අනිත් සතකු අනුභව කළ නො හැක්කැ යි කියා කාමයෙහි ගිජුව කිලෙහි සිටි බල්ලන් දක්වා කඩුවෙන් පොලුගෙන කාමොන්මත්තව එදා ඇවිදි ලෙස් මෙදා තොප සඳහන් නැද්ද? තව ද එක් කලෙක චුල්ලපදුම ජාතකයෙහි ප්‍රිය වූ කාන්තාවක නිසා රජය හැර ගොස් ඈ පය බිම ගෑ නොදෙමි යි කර හිඳුවාගෙන දුරුමග ගෙවා යනදා ඈ පැන් බොමි යි කී වේලෙහි පැන් නැත්තෙන් තොපගේ තෙලෙ පුළුල් උරමඬල පළා ලෝදිය හොවා ඈ පිපාසා නිවා ඇවිදි ලෙස් මෙදා තොප සඳහන් නැද්ද? තවද තොප සුභලක්‍ෂණ ජාතකයෙහි සුභලක්‍ෂණා නමා බිසවුන් කර හිඳුවාගෙන රාජවීථි මධ්‍යයෙහි වනමධ්‍යයෙක යන්නා සේ කාමයෙන් අන්‍ධ ව එදා තොප ගියසැටි මෙදා දැන් සඳහන් නැද්ද? තවද සංකප්ප ජාතකයෙහි තොප බරණැස් රජුගේ අග මෙහෙසුන් බිසවුන් දැක ලෝභකොට එකෙණෙහි ම පත් සිඳපු පක්‍ෂියකු සේ ආකාශයෙන් බිම හී එ බඳු වූ ධ්‍යානසුවය හැර උයනට ගොස් සද්දා මුළුල්ලෙහි නො කා නො බී එ සමයෙහි තොප කළ ස්ත්‍රී ශෝකය මෙ සමයෙහි දැන් සිහි මඳ ව ගියේ ද? තව ද පෙර තොප තක්ක ජාතකයෙහි ගංබඩ පන්සලක් කොට ධ්‍යානසුවයෙන් වසන කල දියෙන් යන කාන්තාවක් දැක ඈ දියෙන් ගොඩ නඟා ඈ කෙරේ කළ ලෝභයෙන් ධ්‍යානසුවය හැර ගොස් ඈ හා සමගින් වැස තොප [1]මොර වෙළෙඳාම් කොට එදා ජීවත් වූ සැටි මෙදා දැන් සඳහන් නැද්ද? තව ද පෙර තොප විනීල ජාතකයෙහි ස්වර්ණ හංසරාජ ව ඉපද පක්‍ෂීන් කෙරෙහි හීන වූ කපුටු ධේනුවක හා සමග සංවාසය කොට විනීල නම් පුතකු ලදින් ඒ කපුටුවා හා කපුටු ධේනුව නිසා එකාවනු ව ඇවිද එදා ජීවත් ව තොප ගත් දුක් මෙදා දැන් සඳහන් නැද්ද?
තව ද පෙර තොප [2]උම්මදන්ති ජාතකයෙහි රජව නුවර පැදකුණු කොට යන දා උම්මදන්තී නම් ස්ත්‍රියක දැක ඈ කෙරෙහි කළ ලෝභයෙන් කාමොන්මාද ව ආ පස්සෙහි රජගෙට ගොස් නොයෙක් විලාපයෙන් ඈ මත්තේ නොයෙක් ගී කියා එදා තොප ඇඬූලෙස් මෙදා දැන් සඳහන් නැද්ද? තව ද පෙර තොප වන මැදෙක ධ්‍යාන ලදින් වසන කල එක් දවසෙක රෑ ස්ත්‍රියක වැදහොත් ගේකට ගොස් දොර හරවා ඈ දොර නොරණ හෙයින් මුඬක් දී පලය ඔසවා බළල්ලායෙන් ගෙට වදනා වේලෙහි පය ගැසී මුඬය ගැලවී පලභාරය තොප පිට හී ඔබාගත් කල එදා තොප ගත් දුක් මෙදා සඳහන් නැද්ද? පෙර මෙසේ එකි එකී ස්ත්‍රියක් නිසා දුක් ගත්තා වූ තොප දැන් අප සසියයක් ප්‍රිය කාන්තාවන් දැක තද වන්නේ නො යෙදෙයි. හිමි‘ අපට දැන් කාමාස්වාද කරව”යි නොයෙක් ලෙස යාච්ඤා කළාහුය.
එ වේලෙහි ස්වාමිදරුවෝ නිශ්චලව කරුණා පිඩක් සේ වැඩ හිඳ සිතා වදාරණසේක්; “මා රාගාදි කෙලෙසුන් නසා ලොවුතුරා බුදුව තුන්ලෝ මුදුන් වූ පරිදි මේ ස්ත්‍රීහු නො දන්නාහු ය. මොවුන්ට මා අරාගී අද්වේෂි අමෝහී පරිදි හඟවාලමි”යි සිතාලා තමන් වහන්සේ මුඛ නමැති පද්මයෙන් සුවඳ ගඳ විහිදුවා අෂ්ටාඞ්ගසමුපෙත වූ මධුරනාදයෙන් වදාරනසේක් ‘නගිනි, කුමක් කියා වෙහෙසෙව්ද? තොපගේ තෙලෙ ස්ත්‍රී ලීලාව අවීතරාගී වූ, පුරුෂයන්ට ම සුදුසු බව මුත් මාසේ වීතරාගී වූ, වීතද්වේෂී වූ, වීතමෝහී වූ, නික්ලේශී වූ, ශාන්ත වූ, දාන්ත වූ, අමාමහනිවන් දුටුවානට සුදුසු සේ නොවෙයි” වදාරා:-
යස්ස ජිතං නාවජීයති - ජිතමස්ස නො යාති කොචි ලොකෙ,
තං බුද්ධමනන්තගොචරං - අපදං කෙන පදෙන නෙස්සථ.
.
යස්ස ජාලිනී විසත්තිකා - තණ්හා නත්‍ථි කුහිඤ්චි නෙතවෙ,
තං බුද්ධමනන්තගොචරං - අපං කෙන පදෙන නෙස්සථ.
යන මේ ගාථාද්වයෙන් තමන්වහන්සේ වීතරාගී බැව් හඟවා බණ වදාළ සේක. මාර ස්ත්‍රී ඒ බණ අසා අප තබා සදෙව්ලොව දෙවඟනෝ අවුදිනුත් මොහු කාමපාශයෙන් බදාගත නොහෙත් ම ය යි හැම කලකිරී බුදුන් වටාසිට තමන් සසියයක් දෙනාගේ එක් දහස් දෙසියයක් පමණ අත් බුදුන් දසාවට පොව පොවා ‘කොල සිද්ධාර්ථය! ඒකාන්තයෙන් තෝ මනුෂ්‍යයෙක් නො වේ ම ය. ලෙයි ගුණ රස නැති යක්‍ෂයෙක්හි ද? නොහොත් උන්මත්ත පුරුෂයෙක්හිද? නොහොත් තාගේ රුව මතුපිට රන්පොත්තකින් වසා ඇතුළත ගලකින් නිමියේ ද? නොහොත් තාගේ තෙල ශරීරය යකඳින් නිමවා රන්වන් කෙළේ ද? ඒකාන්තයෙන් තාගේ තෙල පස්කඳ මුත් සිතෙක් එහි දුරින් දුරු ම ය. ඉදින් අපි අවීතරාගී වූ යම් පිරිමියකු ඇසිල්ලකුත් දුටුමෝ නම් ඔහු අප වසඟ කොට ගනුමෝ ම ය. තා සේ වූ රූක්‍ෂ සිත් ගුණ නැති, අශ්‍රද්ධා පුරුෂයකු කරා අප ආ සේ ම නො යෙදෙයි. තා සේ වූ ගුණ නැතියන් කෙරේ ඉදින් තා කැමැත්තෝතිනුත් හිඳිනෝ කවුරුදැ”යි නින්‍දා බැණ, “අපගේ පියාණන් වහන්සේ ඔහු කාවිසිනුත් ජයගත නොහැක්කැ’යි කියව කියවා අප ආයේ නො යෙදෙයි. අපට වූ පරිභව ඉතා මහත. යම්හ නඟිනි” කියා එතෙකින් අන්තර්ධාන ව පැරද පලා ගියහ.