ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මෙසේ පළමුවන සතියෙහි වජ්‍රාසනයෙහි ඵලසමාපත්තීන් වැඩහිඳ දෙවියන්ගේ සැක දුරු කෙරෙමි යි දෙවන සතියෙහි වජ්‍රාසනයෙන් ආකාශයට පැන නැගී මොහොතක් කල් යමාමහ පෙළහර දක්වා දෙවියන්ගේ සැක දුරු කොට ශ්‍රී මහා බෝධියට ඊසාන කොණට ආකාශයෙන් බැස ‘මට උපකාරී වූ මේ වජ්‍රාසනයට හා ශ්‍රී මහාබෝධියට ප්‍රිය වස්තුවක් පුදමි’යි සිතා ඇසිපිය නො සොල්වා අනිමිස ලෝචනයෙන් බෝ කඳ බලා සිට ඉන්‍දනීල මාණික්‍ය සඟළක් පුදන්නා සේ තමන්වහන්සේගේ පස්පෑයෙන් දිලියෙන ඇස් සඟළින් අනිමිස ලෝදන නම් පූජාවක් කොට සත් දවසක් ධ්‍යාන සුවයෙන් වැඩ සිටි සේක. ඒ වැඩ සිටි තැන දැන් අනිමිස ලෝචන නම් චෛත්‍යයක් වි ය.
මෙසේ වැඩසිටි තැනට හා වජ්‍රාසනයට හා අතුරෙහි පූර්ව සක්වළැ මුඛපාටයෙහි පටන් පශ්චිම සක්වළ මුඛපාටය දක්වා දෙවියෝ රුවන් සක්මනක් මැවූහ. මාගේ ස්වාමිදරුවෝ මෙසේ දෙවන සතියෙහි අනිමිසලෝචන පූජාවෙන් දවස් යවා තුන්වන සතියෙහි දෙවියන් මැවූ ඒ රුවන් සක්මනැ සක්මන් කළසේක. ඒ ස්ථානය දැන් රත්නචංක්‍රමණ චෛත්‍යය නම් විය.